නිහාරි පෙරේරා රටක් හඳුනාගන්නෙ රිදම් ඔෆ් ද ගිටාර් සිනමා නිර්මාණයෙන්. එතැන් පටන් ඇයට සිනමාවට ආරාධනා ගලාඑන්න පටන්ගත්තා. ඒ අනුව බිහි වුණ නිර්මාණ කිහිපයක් අතරින් ‘සූරිය සුළඟ’, මේ දිනවල රටපුරා සිනමාහල් සිසාරා හමනව. ඒ අතර අපි නිහාරි එක්ක මේ ගැන කතාබහ කළා.
නිහාරි, මේ දවස්වල ‘සූරිය සුළඟ’ බොහොම හොඳින් හමාගෙන යනව?
ඔව්, ‘සූරිය සුළඟ’ කියන්නෙ මගේ තිරගත වන තුන් වැනි සිනමා නිර්මාණය. ඇත්තටම මේ නිර්මාණය මගේ දෙවැනි එක. නමුත් තිරගත වෙන්නෙ තුන් වැනි එක විදිහට. පළමු එක වුණේ ‘රිදම් ඔෆ් ගිටාර්’. අපිට දැනගන්න ලැබුණ විදිහට දැනටමත් ගොඩක් තැන් හවුස් ෆුල්. ප්‍රේක්‍ෂකයො තවම චිත්‍රපටය බලන්න පටන් ගත්ත විතරයිනෙ. ප්‍රතිචාර මොන වගේද කියල ඉදිරියේදී වඩා හොඳින් දැනගන්න පුළුවන් වෙයි. දැනට ලැබෙන ප්‍රතිචාර නම් ඉතාමත් හොඳයි.
කොහොමද මේ අවස්ථාව ලැබෙන්නෙ?
මට මේ ආරාධනය ලැබෙන්නේ ප්‍රියන්ත කොළඹගේ ස්ර්ගෙන්. එතුමා තේජා සර්ගෙනුත් මං ගැන අහල තිබුණා. ඒ අයගේ රෙක්මන් කිරීමත් එක්ක, ස්ක්‍රීන් ටෙස්ට් එකකට පෙනී සිටීමෙන් පස්සෙ මට මේ නිර්මාණයේ තරුෂි වෙන්න අවස්ථාව ලැබෙනව.
තරුෂි මොන වගේ කෙනෙක්ද?
තරුෂි කියන්නෙ ආදරේට ගොඩක් ආදරේ කරන, ඉක්මනටම හිත උණුවෙන, විශේෂයෙන්ම සිදත්ට ගොඩක්ම ආදරේ කරන කෙනෙක්. තරුෂි සිදත්ට ආදරේ කරන්නෙ පවුලේ අයගෙ විරුද්ධත්වයත් එක්ක. එතැනින් පස්සෙ ඇතිවන නොසිතූ විරූ ප්‍රශ්න ගොඩක් එක්ක තරුෂිගෙ සහ සිදත්ගෙ ආදරය ගලාගෙන යන විදිහ තමයි මේ නිර්මාණයේ තියෙන්නෙ. ඇත්තටම මේ දෙන්නට මොකද වෙන්නෙ කියල දැනගන්න නම් චිත්‍රපටය බලන්නම ඕන.
මේඝ සමග වැඩ කරන පළමු අවස්ථාව?
ඔව්, සූරිය සුළඟ මගින් තමයි මම මේඝ අයියව දැනගන්නෙ. අපි දෙන්නගෙ සීන්ස් ගොඩක් හොඳින් කරගන්න ලැබුණෙ ඔහුගෙන් ලැබුණ සහයෝගය නිසා. ඒක වචනවලින් කියන්න බැහැ. මමත් ක්‍ෂේත්‍රයට අලුත් කෙනෙක්. අත්දැකීම් ගොඩක් නැහැ. ඒ නිසා ඔහුගෙ සහයෝගය නොවෙන්න මගේ චරිතය මේ තරම් සාර්ථක වෙන්නෙ නැහැ.
චිත්‍රපටය සම්පූර්ණයෙන් නැරඹුවාට පස්සෙ දැණුන හැඟීම මොන වගේද?
මේ නිර්මාණය ඉක්මනින්ම ප්‍රේක්‍ෂකයාන් අතරට ගෙන එන්න ලැබීම ඇත්තටම සතුටුයි. මොකද ගොඩක් බාධක මැද තමයි අපි ෂූටිං කටයුතු සිදුකළේ. නමුත් අවසන් ප්‍රතිඵලය දකින්කොට අපි සාර්ථකයි කියල දැණුනා.
නිහාරිට තරුෂි අභියෝගයක් වුණාද?
ඔව්, ඇත්තටම මට තරුෂි අභියෝගයක් වුණා. මොකද තරුෂි කියන්නෙ හරිම ඉමෝෂනල් කැරැක්ටර් එකක්. ඒ වෙනුවෙන් මූණ ඉදිමෙන්න අඬපු අවස්ථා තියෙනව. සමහර අවස්ථාවල මුළු දවසම අඬනව. එහෙම වෙලාවට මට බ්‍රේක් එකක් ගන්න සිදු වුණ අවස්ථාත් තියෙනව.
සිනමා නිර්මාණ තුනක් එක දිගට තිරගත වුණා?
ඔව්, ඇත්තටම කෙටි කාලයක් තුළ සිනමා නිර්මාණ කිහිපයකටම දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒක ගොඩක් අයට ලැබෙන්නෙ නැති අවස්ථාවක්. මම හිතනව ඒ අවස්ථාව මම උපරිමයෙන් ප්‍රයෝජනයට ගත්තා කියල. ඒ වගේම මාව විශ්වාස කරල අවස්ථාව ලබාදීපු ඩිරෙක්ටර්ස්ලට වගේම ප්‍රඩියුසර්ලටත් මම ස්තූතිවන්ත වෙන්න ඕන.
සිනමා නිර්මාණ කිහිපයක් තිරගත වෙන්නත් තියෙනව?
ඔව්, මම රංගනයෙන් දායක වුණ චිත්‍රපට හතරක් තිරගත වීමට නියමිතව තියෙනව.
දැන් පැසිපන්දු ක්‍රීඩාවෙන් ඈත් වෙලාද?
මේ දවස්වල නම් ක්‍රීඩාවලින් ඈත් වෙන්න සිදු වුණා. මොකද නිර්මාණයක් භාර ගත්තාම මම සියයට සියයක්ම ඒකට මූලිකත්වය දෙන්න ඕන. ඒ වගේම නැෂනල් ලෙවල් එකෙන් ක්‍රීඩාවක් කරද්දි ඒකටත් සියයට සියයක් තැන දෙන්න ඕන. පසුගිය ටිකේ චිත්‍රපට නිසා ටුවර්ස් ගොඩක් මගහැරුණා. ඒකටනම් දුකයි. නමුත් චිත්‍රපට බලද්දි මං ගැනම සතුටුයි. නිර්මාණවලට සම්බන්ධ වුණාට ක්‍රීඩාව නවත්තන්න අදහසක් නැහැ.
තවමත් ජාතික කණ්ඩායම නියෝජනය කරනවද?
ඔව්, ජාතික කණ්ඩායමේ පූල් එකේ ඉන්නව.
රංගන ක්‍ෂේත්‍රයට එන්න කලින් කොහොමද ජීවිතේ ගෙවුණෙ?
රංගන ක්‍ෂේත්‍රයට එන්න කලින් මගේ ජීවිතේ ගෙවුණෙ ක්‍රීඩාවත් එක්ක. ක්‍රීඩාව නිසා මෙතෙක් දුරට මම නමක් හදාගත්තනම් ඒ අජිත් සහ ශිවශක්ති සෙල්වරාජ් යන කෝචර්ස්ල දෙන්න නිසා. ඔවුන් මට දුන්න ගුරුහරුකම් නිසා. ඒ වෙනුවෙන් මේ වෙලාවෙ මම ඔවුන් දෙපළට ස්තූතිවන්ත වෙනව.
පැසිපන්දුවෙන් ලබපු ජයග්‍රහණ ගැන කතා කළොත්?
ඇත්තටම අපි ගොඩක් ජයග්‍රහණ ලබාගෙන තියෙනව. නමුත් ඒ ගැන ලොකුවට කතා වෙන්නෙ නැහැ. එක දෙයක් මතක් කළොත්, යූත් ඔලිම්පික් තරගයට සහභාගි වුණා වගේම මම ඒ කණ්ඩායමට නායකත්වය දුන්නා. ඒ වගේම කොමන්වෙල්ත්, ඒෂියා කප් වගේ ගොඩක් ටූනමන්ට්වලට සහභාගි වෙලා තියෙනව.
ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙනවද?
ඇත්තටම මට ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න වෙලාවක් නැහැ. සිනමාවේ රංගනයට අමතරව ස්පෝර්ට් එකකුත් මම කරනවනෙ. නමුත් හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම භාරගන්නව.
නිහාරි වේදිකාවට බොහොම කැමතියි?
ඔව්, මම වේදිකා නාට්‍යයකට සම්බන්ධවෙලා හිටියා. නමුත් ඒ අතර ආපු චිත්‍රපටයක් නිසා වේදිකාවෙන් ඈත් වෙන්න සිදු වුණා. මොකද වේදිකාව කියන්නෙ පහසු තැනක් නෙමෙයි. ෆුල් ටයිම් වගේ අපි ඒකට කාලය යොදවන්න ඕන.
වෘත්තිය විදිහට මොන ක්‍ෂේත්‍රය තෝරාගනීවිද?
මට රඟපාන්න පුළුවන්තාක්කල් මගෙන් සිනමාවට දෙන්න තියෙන දේ දෙනව. ඒ වගේම ක්‍රීඩාව නවත්තන්න නම් මගේ අදහසක් නැහැ. ඒ නිසා මම මේ ක්‍ෂේත්‍ර දෙකේම ඉදිරියටත් වැඩ කරයි.
මහේෂ් එදිරිසිංහඡායාරූප – උපුල් නිශාන්ත