දුමී වන්නිආරච්චි නර්තනයට අත්පොත් තියන්නෙ වයස අවුරුදු හතරෙදි. එතැනින් පටන්ගත් ගමන අද වනතුරුත් ඇය නොනැවතී ඉදිරියට යනව.විශේෂම දේ වෙන්නෙ රංගන ක්‍ෂේත්‍රයේදි ඇයට ලැබෙන චරිතත් නර්තනයට සම්බන්ධ වීම. ‘අලුත් සර්’ ටෙලි නාට්‍යයේ හංසිගෙ චරිතය තමයි හොඳම උදාහරණය. හැබැයි ඒ චරිතයේ වෙස්ටර්න් ඩාන්සර් කෙනෙක් වුණාට දුමී කියන්නෙ උඩරට නර්තන ශිල්පිණියක්.තව විස්තර ගොඩක් තියෙනව.අපි එකින් එක අහල බලමු.
දුමී මේ දවස්වල ටෙලි නාට්‍ය දෙකකින් ප්‍රේක්‍ෂකයන් හමුවට එනවා?
ඔව්, මේ දවස්වල ‘දොරකඩ දෙවොල’ සහ ‘අලුත් සර්’ කියන ටෙලි නාට්‍ය දෙකට මම රංගනයෙන් දායක වෙනවා. ඇත්තටම කියන්න සතුටුයි, මේ චරිත දෙකටම ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනව. ඒකට හේතු තමයි, මේ චරිත දෙක හරහා ශානර දෙකක රංග පරාසයන් දෙකක් නියෝජනය කරන්න මට අවස්ථාව ලැබිල තියෙනව. ඒක මට ලොකු අභියෝගයක්.
පත්මලතාගෙ ඉරණම ළඟදිම විසඳෙයි?
ඔව්, මම හිතන්නෙ තව එපිසෝඩ් විස්සකින් විතර මුළු කතාවෙම ඉරණම විසඳේවි බොහෝ දුරට.
මේ වගේ චරිත මුණගැසිල තියෙනවද?
පත්මලතා වගේ චරිතයක් සැබෑ ජීවිතයේදි මට මුණගැසිල නැහැ. නමුත් මගේ මනසින්, අහල තියෙන දේවල්වලින් සහ පිටපත තුළින් නිර්මාණය කරගත් පත්මලතා කෙනෙක් තමයි මේ ඉන්නෙ.
දුමී චරිතය වෙනුවෙන් ලොකු- කැපකිරීමක් කළා?
මගේ රංගන ජීවිතය තුළ මෙතෙක් කළ ලොකුම කැපකිරීම කළේ පත්මලතා වෙනුවෙන්. මොකද මේ වෙනුවෙන් මගේ බර කිලෝ දහයත් දොළහත් අතර වැඩිකරගත්තා. මේ චරිතයේ ස්වභාවයත් එක්ක මට ඕන වුණා ලොකු වේට් එකක් දෙන්න. ඒ වෙනුවෙන් මගේ ස්වභාවය හරි මදි කියන දේ දැණුන නිසා චරිතයට යම් අසාධාරණයක් වෙයි කියල තමයි මේ විදිහට වෙනස් වුණේ.
‘අලුත් සර්’ එක්ක ආදරයක පටලැවෙන්න යන නර්තන ශිල්පිණිය ගැන කතා කළොත්?
මේක වෙස්ටර්න් ටයිප් හිපොප් ඩාන්සිං ගර්ල් කෙනකුගෙ චරිතයක්. පත්මලතාගෙ චරිතයත් එක්ක ගත්තාම හංසි කියන්නෙ හාත්පසින්ම වෙනස් චරිතයක්. සුපුන් රත්නායක අයියට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන මේ චරිතය මට ලබාදීම ගැන.
දුමී කියන්නෙත් හොඳ නර්තන ශිල්පිණියක්.
ඇයට මුකුත් වුණේ නැහැ. තාමත් ඉන්නව. වෙනත් චරිතයකට උඩරට නර්තන ශිල්පිණියව පාවිච්චි කරන්න වුණොත් දුමීගෙ තව කෑලි තියෙනව. වෙනස් විදිහෙ දෙයක් කරන්න පුළුවන්. පත්මලතා නිසා දුමී ළඟ හිටපු නර්තන ශිල්පිනියට මුකුත් වුණේ නැති වුණාට දුමීගෙ සිතුම් පැතුම්වලට යම් බලපෑමක් වුණා. මෑත කාලයේ මට කේන්ති යන්නෙත් පත්මලතාට කේන්ති යන විදිහට.
ලැබෙන ආරාධනා ගැන අදහස මොන වගේද?
ඇත්තටම මේ ලැබෙන ආරාධනා ගැන ගොඩක් සතුටුයි. මේ තාක් මගේ රංගන ජීවිතයේ වේට් එකක් ඇතිව කරපු චරිතයක් තියෙනව නම් ඒ දොරකඩ දෙවොලෙ පත්මලතාගෙ චරිතය. ඒ වගේම මගේ හැරවුම් ලක්‍ෂ්‍යය විදිහට මම දකින්නෙත් මේ චරිතය. මගේ දක්‍ෂතාව මුළු රටක් වගේම අධ්‍යක්‍ෂවරු, නිෂ්පාදකවරු, පිටපත් රචකයන් දැක්කෙ මේ චරිතය හරහා. ඒ වෙනුවෙන් ලලිත් රෝහිත අයියට ගොඩක් ස්තූතිවන්ත වෙනව.
මේ වනවිට මට චිත්‍රපට තුනකට වගේම ටෙලි නාට්‍ය කිහිපයකටත් ආරාධනා ලැබිල තියෙනව. නමුත් මගේ සීමාව තුළ තියෙන වෙනස් විදිහේ චරිත තෝරාගන්න තමයි මම නිතරම උත්සාහ කරන්නෙ. ඒ වගේම මිහිරාන් අයියගෙ මියුසික් වීඩියෝ එකකටත් සම්බන්ධ වුණා. ඒක මේ වෙනකොට අවුට් වෙලා තියෙනව. පොඩි ෂෝට් වීඩියෝ එකක් වගේ, හරිම ලස්සනයි.
මෙහෙමයි, මම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලෙ විවිධ කම්කටොළුවලට මුහුණ දුන්නා. ඉන් බාහිරව විෂය සම්බන්ධව ලැදිකමින්, ආදරයෙන් ඒ ටික කළා. එදා පොඩියට, පොඩි වයසින් පටන්ගත්ත දුමී, අද නිර්මාණය කරන චරිත එක්ක ගත්තාම මම හිතනව මම ලබපු අධ්‍යාපනය, මගේ දෙමව්පියන්, මගේ පවුල මට ලොකු හයියක් වෙලා තියෙනව කියල. ඒ වගේම තවත් දුර යන්න තියෙනව. ඒ ගමනත් හිමින් යනව.
ඇත්තටම මගේ හීනය තියෙන්නෙ සිනමාවෙ. මම අධ්‍යාපනය ලබන්නෙත් ඒ හා සම්බන්ධව.
පවුලෙන් ලැබෙන සහයෝගය මතක් නොකරම බැහැ?
ඔව්, මගේ මේ ගමනෙ සාර්ථකත්වයේ රහස වෙන්නෙ මගේ පවුල. මගේ අම්මා අදටත් මගේ පස්සෙන් ඉන්නව. මගේ තාත්තා තමයි මගේ ලොකුම ෆෑන්. මගේ අයිය හැම වෙලාවෙම මගේ දේවල් බලල කමෙන්ට්ස් දෙනව. මට වයස අවුරුදු හතරෙ පටන් නර්තනය සම්බන්ධව ඉගෙනගන්න යොමු කරනව. ඉන් පස්සෙ රන්වල බලකායෙන් වගේම මහාචාර්ය මුදියන්සේ දිසානායක මහත්මයා යටතේ නර්තනය හදාරනව. අනතුරුව විශ්වවිද්‍යාලයට යොමුවෙන තුරු මට දෙමවුපියො කිව්වෙ, කලාවට යන්න, හැබැයි ඉගෙනගෙන යන්න කියල. මාව දැනුමින් සන්නද්ධ කළ එක තමයි මගේ පවුලෙන් මට ලැබුණ ලොකුම දායාදය.
සමාජමාධ්‍යයට අකමැතිද?
වර්තමානයේ සෝෂල් මීඩියා පැත්තට වැඩිපුර යොමු වෙන්න ඕන කියන තැනට මේ ක්‍ෂේත්‍රය ඇවිත් තියෙනව. නමුත් මම එහෙම ලොකුවට සෝෂල් මීඩියාවල දකින්න ලැබෙන චරිතයක් නෙමෙයි. ඒකට විශේෂ හේතුවක් නැහැ. නමුත් මගේ පෞද්ගලික ජීවිතය තුළ සෝෂල් මීඩියාවලට නිරාවරණය වෙන්න මම කැමති නැහැ. ගොඩක්ම මගේ එකවුන්ට් එක ඇතුළෙ ශෙයාර් වෙන්නෙ වැඩක් විදිහට කරපු දේවල් විතරයි.මහේෂ් එදිරිසිංහඡායාරූප – උදිත උමේෂ්