මේ තරම් නරක සහාය අධ්‍යක්ෂවරයෙක් මට හමුවෙලා නැහැ-කුසල් මධුරංග

gossiplanka image 1
 

වේදිකාව සහ පුංචි තිරය මත තම රංගන හැකියාව අපූරුවට සිත්තම් කළ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියකි. නමින් කුසල් මධුරංග නම් වූ ඔහු මේ දිනවල ඔබට හමුවන්නේ දෙරණ නාලිකාවෙන් විකාශය වන කොළඹ කට්ටිය ටෙලිනාට්‍යයේ දිලේෂ හෙවත් දිල්ලා ලෙසිනි. ඔහුගේ නවක තතු පිළිබඳ කතාබහ කිරීමට පිනිපලස සමගින් මේ ලෙස එකතුවුණා.




මේ දිනවල උදයසිරි වික්‍රමරත්නගේ හරිම බඩු තුනක්, ධර්මප්‍රිය ඩයස්ගේ මම නොවෙයි වෙන කෙනක් සහ චාලක රත්නසූරියගේ සඳුදා වැටෙන්නේ සිකුරාදට වේදිකා නාට්‍ය රංගනයන් සමග ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා. ඊට අමතරව තවත් වේදිකා නාට්‍ය දෙකක පුහුණු වීම් සිදුවෙනවා. ඉන් එකක් චාලක රණසූරියගේ පෝරකේක මඟුල් ගෙයක් සහ රට බයිලා වේදිකා නාට්‍ය දෙක. ඉන් රට බයිලා වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය මැයි මස 24 දින ගාල්ල හෝල් දී ගෝල් ශාලාවේදී පැවැත්වෙනවා. වේදිකාවේ තොරතුරු එහෙම වෙද්දි මම රඟපාන අලුත්ම ටෙලි නාට්‍ය කොළඹ කට්ටිය මේ දිනවල විකාශය වෙනවා.




කොළඹ කට්ටිය ටෙලිනාට්‍යයේ චරිතය සහ ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර ගැන ඔහු මෙසේ පවසනවා.




මේ දවස්වල කොළඹ කට්ටිය. හොඳ ප්‍රතිචාර ලැබනවා. එහි මගේ චරිතය සහාය අධ්‍යක්ෂවරයා. එදිනෙදා ජීවිතයෙදී මට හැමදාම සහාය අධ්‍යක්ෂවරයා මුණගැහෙනවා. මගේ රංගන ජීවිතයට නම් මේ තරම් නරක සහාය අධ්‍යක්ෂවරයෙක් හමුවෙලා නැහැ. මේ සහාය අධ්‍යක්ෂවරයාගේ නම දිලේෂ. ඒ වුණාට හැමෝම කතාකරන්නෙ දිල්ලා කියලා. නාට්‍යට සහ තම රාජකාරියට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරන චරිතයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මේ වන විට ඒ සඳහා ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේක්ෂකයන්ට වඩා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අපේම අයගෙන් ලැබෙන ප්‍රතිචාර වැඩියි. ඒ ගැන ගොඩාක්ම සතුටුයි.




ජයප්‍රකාශ් සිවගුරුනාදන් නම් ටෙලිනාට්‍යය අධ්‍යක්ෂවරයා පිළිබඳ ඔහුට තිබෙන්නේ මෙවන් කතිකාවතකි.




පාර දිගේ ටෙලිනාට්‍යයට කලින් මම ටෙලිනාට්‍යය කීපයකටම සම්බන්ධ වුණා. නමුත් කුසල් මධුරංග කියන නළුවා ප්‍රේක්ෂකයා හඳුනා ගන්නේ ජනප්‍රිය වෙන්න පාර දිගේ ටෙලිනාට්‍යයෙන්. රංගන ශිල්පියකු ලෙස මගේ ජීවිතය ආලෝකයෙන් බබළනවා නම් එහි ගෞරවය හිමි විය යුතු එකම කෙනා සිවගුරුනාදන් මහතා. මොකද මම රඟපාන වගේම සම්මානණීය වුණ හැම ටෙලිනාට්‍යයක්ම වගේ ඔහුගේ නිර්මාණ. මාව නළුවකු ලෙස ගොඩනැගීමේ දැවැන්ත මෙහෙවර කළේ ඔහුයි. ඒ වගේම සිවගුරුනාදන් මහතා කියන්නේ හරිම සොඳුරු අධ්‍යක්ෂවරයෙක්.




නව පරපුර ප්‍රවීණයන්ට ගරු කරන්නේ නැහැ. එම චෝදනාවට ඔහු මෙවැනි පිළිතුරක් ලබා දුන්නා.




කලාව පිළිබඳ හරියට තේරුම් නොගත් අත්ලොස්සක් නවකයන්නෙන් එහෙම වෙන්න පුළුවන්. නමුත් මම ඇතුළු නූතනයේ සිටින බහුතරයක් රංගන ශිල්පීන් ප්‍රවීණයන්ට ගරු කරනවා. ඇතැම් අය කීපදෙනකුගෙන් සිදුවන මේ අතපසුවීම නිසා සමස්ත නවක පරපුරටම චෝදනාව එල්ලවෙනවා. මේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන් සතුව දැවැන්ත අද්දැකීම් සහ දැනුම් සම්භාරයක් තිබෙනවා. එමගින් නවකයන්ට බොහෝ දේ ඉගෙනගන්න පුළුවන්. මේ ක්ෂේත්‍රයේ සාර්ථක ඉදිරි ගමනක් යන්න අවශ්‍ය නම් ප්‍රවීණයන්ට විතරක් නොවෙයි සියලු දෙනාම එකිනෙකාට ගරුකර ගැනීම කළ යුතුයි. 


එහෙම ගරු කිරීම තුළ කලාවේ ඉදිරි පැවත්ම සහ සාර්ථකත්වය රඳා පවතිනවා.




සර්ථකත්වයට පත් වීම එකම හීනය කරගත් ඔහු ඒ සඳහා ප්‍රගුණ කළ යුතු ගුණාංග පිළිබඳ මෙසේ පවසනවා.




මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න නම් සාර්ථක වෙන්න නම් ඉවසීම ප්‍රගුණ කරන්න ඕන. ඒවගේම පිළිවෙළට තමන් කරන කාර්ය කැපවීමෙන් කිරීමත් අත්‍යවශ්‍යයි. ඒ සඳහා ලබා දෙන අවධානය පිළිබඳවත් සැලකිලිමත් වීම අවශ්‍යයි. තමා කරන කාර්ය මනා අවබෝධයෙන් ප්‍රායෝගික පුහුණුවීම් කරමින් ඉදිරියට යා යුතුයි.




තරුණ රංගෙන ශිල්පියකු ලෙස වර්තමාන සිනමාව වේදිකාව ටෙලිනාට්‍යය පිළිබඳ පවතින්නේ මෙවැනි කියැවීමකි.




කලින් යුගයන්ට වඩා මේ වෙද්දි මෙම ක්ෂේත්‍ර තුනම සමද්තයක් ලෙස සාර්ථක වෙනස්වීමක් සිදු වෙමින් පවතිනවා. ඒ ගැන සතුටක් තිබෙනවා. අපේ වැඩිහිටියන් සිනමාවේ වේදිකාවේ පුංචි තිරය තුළ. ස්වර්ණමය යුගයන් සාර්ථක යුගයන් ගැන කතාකරනවා. අපිට එවැනි නිර්මාණය දැක බලා රසවිදීමේ අවස්ථාව පහුගිය කාලයේ තිබුණේ නැහැ. නමුත් මේ වන විට ඒ තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා. ඒ ගැන අප්‍රමාණ සතුටක් දැනෙනවා. ඉදිරියේදීත් මේ සාර්ථකත්වය මේ අයුරින්ම පවතී කියලා විශ්වාස කරනවා.




කලාව නිසා තම ජීවිතයට එක් වූ වටිනාකම පිළිබඳ කතා කිරීමටද අමතක කළේ නැහැ.




කලාව නිසා මගේ ජීවිතයට ලැබිය යුතු ගොඩාක් වටිනාකම් ලැබුණා. මම පාසල් යන කාළේ සිටම කළේ කලාව. මේ වනතුරු ජීවත්විම සඳහා කිසිම රැකියවක් කරල නැහැ. මේ තමයි මගේ පළමු සහ එකම රැකියාව. මගේ ජීවිතය ආලෝකය කරා ගමන් කළේ කලාව නිසායි. ඒ වගේම කලාව අත්නොහැර අල්ලාගෙන සිටීම නිසා තමයි මේ ආශීර්වාද මට ලැබුණේ. මේ මොහොත වෙද්දි කෙනෙක් මාව පිළිගන්නවා නම් යම් තැනක ඉන්නවා නම් ඒ සියලු දේ ලැබුණේ කලාව නිසාමයි කියල මම අභිමානයෙන් කියනවා.




කලා කටයුතු වෙනුවෙන් අම්මා අප්පච්චි ගෙන් ලැබෙන සහයෝගය ගැන මෙසේ පැවසුවා.




රඟපාල හරියන්නේ නෑ වෙන රැකියාවක් සොයාගන්න. ඔය කරන වැඩේ නවත්වලා තමගේ දියුණුවට යමක් කරන්න කියලා දොස් අහපු අතීතයක් මට තියෙනවා. එදා මම රඟපාන්න යනවා කිව්වම මෙහෙම නළුවෙක් වෙයි කියලා මවුපියන් හීනයකින්වත් හිතන්න නැතිව ඇති. නමුත් ඒ සියල්ල එක මොහොතක වෙනස් වනවා. ඒ තමයි පාර දිගේ ටෙලිනාට්‍යයේ බණ්ඩා ගේ චරිතය එයින් පස්සේ ගෙදරින් මට දොස් කියන එක නැවත්තුවා. මේ වන විට ඔවුන්ගේ සහයෝගය සහ ආශිර්වාදය නොඅඩුවම ලැබෙනවා.




 ජීවත් වීම සඳහා ආදරය අත්‍යවශ්‍යයි. මේවනවිට මම පෙම්වතෙක් නොවෙයි. ඒ දේවල් කොහොම වෙයිද මොනව වෙයිද කිය්න්න දන්නේ නැහැ. එක එක කාලවලදි මට පෙම්වතියන් ඉඳල තියෙනවා නමුත් ජීවන සහකාරිය වෙන්න සුදුසුයි කියලා හිතට දැනෙන කෙනෙක් හමුවෙලා නැහැ. මගේ එකම හීනය සිනමා පටයක රගපෑමේ අවස්ථාව ඉක්මනින්ම උදා කරගෙන මේ ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් ඉදිරියට යාමත් යැයි කතාබහ අවසන් කරමින් ඔහු පැවැසුවා. 

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post