ඇන්ජලා ඇගේ කතාව චිත්‍රපටයකට ලියයි

gossiplanka image 1
 




ඇය අපේ රටේ ඉතා ම ජනප්‍රිය, සම්මානනීය රංගවේදිනියක, ගුවන්විදුලි නිවේදිකාවක මෙන් ම ප්‍රවීණ මාධ්‍යවේදිනියක ද වන ඇන්ජලා දමයන්ති සෙනෙවිරත්නයි. සිය සිනමා ජීවිතයේ පනස් වන වසර පසු කරන ඇය චිත්‍රපට තිස්හයක, වේදිකා නාට්‍ය විසිහයක, ටෙලිනාට්‍ය පනහක පමණ රංගනයෙන් දායක වී ඇත. ජීවිතයේ හැල හැප්පීම්, නින්දා අපහාස, ගැරහුම් සේ ම ආදරය, රැකවරණය, සතුට, සොම්නස ද නොඅඩුව අත්විඳි ඇය කලක් මෙරට මාධ්‍ය තුළ පුවත් මවන්නියක වූවාය. කරදර එනවිට සියල්ල එක පිට පෙළ ගස්වමින් ඇය අවසානයේ දරුණු වකුගඩු රෝගයකට ද ගොදුරු වූවා ය. ජීවිතයත්, මරණයත් අතර සටනක යෙදෙමින් යළි ඇය ජීවය ලැබුවාය. එහෙත් ඇය ජීවිත කාලය පුරාවට බෙහෙත් ගතයුතු බවට වෛද්‍යවරුන් උපදෙස් ලබා දී ඇත.


මේ වනවිට ඇය ජීවත් වන්නේ ඉතා සුළු මිනිස් වාසයක් සහිත වූ ගොවි බිම්, පශු සම්පත්, කාබනික ආහාර, නැවුම් කිරි ආහාර, සියයට සියයක් පිරිසිදු වාතාශ්‍රය, ගහකොළ සතා සිව්පාවා වෙසෙන, දවසේ වැඩි පැය ගණනක් රාත්‍රිය හිමි, සුන්දර මුහුදු තීරයට ද නුදුරු බටහිර රාජ්‍යයක ඉතාම සුන්දර කුඩා ගම්මානයකය. වෛද්‍යවරුන්ටත්, දෙවියන් වහන්සේටත් ස්තුති කරමින් ඇය ඉතා ම සැහැල්ලුවෙන්, සතුටින්, කායික හා මානසික සුවෙන් ද යුතුව ඒ සුන්දර ගම්මානයේ නිදහසේ කාලය ගෙවන්නී ය. ඇයගේ නීරෝගි බවට එම පරිසරය මහත් ඔසුවකි.


“ඇත්තට ම මේ ජීවිතය හරි ම සුන්දරයි, සැහැල්ලුයි, සරලයි. මේ අවට කිසිම ශ්‍රී ලාංකිකයෙක් නැහැ. සිංහල කතා කරන්න පුළුවන් කෙනෙක්වත් නැහැ. මේ ගමේ මගේ යාළුවෝ පස්දෙනෙක් ඉන්නවා. එයාලත් සිංහල අය නෙවෙයි. අපි පස්දෙනාම හෝ කිහිපදෙනෙක් හෝ එක්ක මම විවේක වෙලාවට එළියට ගිහින් කෑම ගන්නවා. එහෙම නැත්නම් එයාලා මගේ ගෙදරට ඇවිත් මම උයලා එයාලාට කෑම දෙනවා. එයාලා දැවිල්ලට කන්නේ නැති නිසා මම ටික ටික එයාලාට දැවිල්ල පුරුදු කළා. ඉඳහිට මුහුදු වෙරළේ ඇවිදින්න අපි යනවා. හරිම සැහැල්ලු, නිදහස් ජීවිතයක් මම ගත කරනවා. නිළියක් වුණා ම ලංකාවේ නම් ගෙදරින් එළියට යද්දි ලස්සනට අඳින්න ඕනේ. මේක්අප් දාන්න ඕනේ. මෙහේ ඒ කිසි දෙයක් අවශ්‍ය නැහැ. මම සිනමා තාරකාවක් කියලා කිසි හැඟීමක් මෙහේ අයටවත්, මෙහේ ජීවත්වෙද්දි මටවත් හැඟෙන්නේ නැහැ. මමත් මේ ගමේ සාමාන්‍ය පුරවැසියෙක් විතරයි. ඉතා ම සුන්දර පරිසරයක ආස්වාදය විඳිමින්, කිසි කෙනකුගේ කිසි ම බලපෑමකින් තොරව මම ඉතා ම සතුටින් ඉන්නවා. මගේ සියලු අසනීපවලට මේ පරිසරය, මේ ගහකොළ, සතා සිවුපාවුන්, කුරුලු නාදයන්, සීතල සුළඟ, වසවිස නැති ආහාර, ලස්සනින් පිරුණු මල් පුදුම සුවයක් ගෙන දෙනවා.


“මගේ දුව ශයරානා මට ලබාදුන්නාට මගේ පළමු ස්වාමිපුරුෂයාට ස්තුති වන්ත වෙනවා. අපි රණ්ඩු කරලා වෙන් වුණු අය නෙවෙයි. විවාහයෙන් දික්කසාද වෙලත් ටික කාලයක් යනතුරු ඔහුගේ මව මටත්, පුංචි දුවටත් ඉතා ම ආදරයෙන් ඒ නිවසේ රැකවරණය සහ සත්කාර ලබාදුන්නා. එරට නීතියේ හැටියට දික්කසාදයෙන් දියණිය අයිති පියාටයි. ඔහුට තවත් දරුවෝ හිටියා. ඒ වෙලාවේ රටේ නීතියටත් ගරු කරලා, මගේ ඕනෑකම ගැනත් හිතලා දුව මට ලබාදුන්නාට මං ඔහුට හැමදාමත් ස්තුති වන්ත වෙනවා. මගේ පියා හම්බන්තොට ගෙදර හිටියා. මං දරුවා එක්ක එහේ ගියා. තාත්තා සිත් වේදනාව සඟවා ගනිමින් මාවයි, දරුවාවයි භාර ගත්තා. එහේ මගේ දරුවා බලා ගන්න ලොකු පිරිසක් හිටියා. වැඩටත් කට්ටියක් හිටියා. දරුවා රැකවරණයට මගේ පියාගේ නිවසේ තියලා මම රැකියාවක් සඳහා කොළඹ ආවා. රෝයල් ජෝර්දාන ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ කැබින් කාර්ය මණ්ඩල සාමාජිකාවක් ලෙස ශයරානා කාලයක් සේවය කළා. එයා විවාහ වෙලා දැන් කැනඩාවේ ඉන්නවා. මගේ දෙවන විවාහයෙන් දියණියන් දෙදෙනෙක් ලැබුණා. එයින් වැඩිමල් දියණිය කෞෂි සංගීතඥවරියක් සහ ගායිකාවක් වුණා. ඇය ඔස්ටේ්‍රලියන් බෑන්ක් එකේ වරලත් ගණකාධිකාරිවරියක ලෙස රැකියාව කරනවා. ඇන්ටන් මාර්ක් සමග ඇය විවාහ වී අරියා සහ හසෙල් නමින් දියණියන් දෙදෙනකු ලැබුවා. ඔවුන් මෙල්බර්න්වල සතුටින් ජීවත් වෙනවා. මගේ බාල දියණිය පූර්ණි ඔස්ටේ්‍රලියාවේ හමුදා නිල ඇඳුම් සපයන ආයතනයක අලෙවි කළමනාකරු හැටියට සේවය කරනවා. ඇය මොරිෂියානු ජාතික ජෙරමි ලෝරිකෝට් සමග විවාහ වීමෙන් ටයි නමින් පුතෙක් ඉන්නවා. මම එයාලා තුන්දෙනාගේ ම ගෙවල්වලට විවේක ලැබෙන විදිහට යනවා. එයාලා පුදුම සතුටකින් ජීවත් වෙනවා. මුණුපුරු මිණිපිරියන් එක්ක කාලය ගත කිරීම හරි ම ආස්වාදජනකයි. එයාලා ළඟ මම හැමදාම වුණත් ඉන්නවා නම් පුංචි අය ගොඩාක් කැමැතියි. ඒත් මම වැඩි කාලයක් එක දිගට එයාලා එක්ක ඉන්නේ නැහැ. මම ජීවත්වන රටට හැකි ඉක්මනින් යනවා. මොකද මගේ ශරීර සෞඛ්‍ය රකින්නේ මම ජීවත් වන පරිසරය යි. 1996 දී එරාජ් අබේවර්ධන එක්ක මම විවාහ වුණා. ඔහු ගෞරවනීය සහ ජ්‍යෙෂ්ඨ හෝටල්කරුවෙක් වාගේ ම ඔහු බොහොම නිහඬ, කලබල නැති, මගේ සියලුම දරුවන්ට සහ මුණුබුරන්ට ආදරය කරන කෙනෙක් වුණා. මට වැරදුණු තැන් බොහෝමයි. කිසි කෙනෙක් මාව ආදර්ශයට ගන්න එපා. නමුත් මගේ ධෛර්ය පාඩමක් කරගන්න. මම ජීවිතයේ හැම අවස්ථාවකට ම ධෛර්යයෙන් මුහුණ දුන්නා. ගතින් සිතින් කඩා වැටුණා. ඒ හා සමානව ම මම සතුටින්, උද්දාමයෙනුත් සිටියා. මා ලැබූ ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් තියෙනවා. සමහර ජයග්‍රහණවලට සම්මාන ලැබුණා. අතින් අල්ලා පෙන්විය හැකි තෑගි ලැබුණා. ඒ කිසිවක් නැති සතුට පමණක් හිමි වුණු ජයග්‍රහණත් තියෙනවා. ඇත්තට ම මගේ ජීවිතය දිහා ආපහු හැරිලා බලද්දි චිත්‍රපටයක් වගෙයි. මේ සුන්දර, නිස්කලංක පරිසරයේ හුදෙකලාව සිටිමින් මම මගේ චිත්‍රපට කතාව ලියනවා. දෑස් පියවෙන්න කලින් මගේ ම කතාව සිනමා තිරයේ දකින්න මම ආසයි.තුෂාරි කළුබෝවිල

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post