යූටියුබ් සෙට් එකක් දාල කරපු ෆිල්ම් එකක් ළඟදීම හෝල්වලට එන බව දැන් ගොඩක් දෙනෙක් දන්නව. ඒ සෙට් එක අතර ඉන්න එකම නිළිය තමයි ලෝචනා ජයකොඩි. එහෙම නැත්නම් ලෝචි.
ෆිල්ම් එක එන අතරතුර හැමෝම දන්න ලෝචි ගැන නොදන්න දේවල් ටිකක් ඔබට කියන්න අපි හිතුවා. ඉතිං ඒ වෙනුවෙන් අපි ඇයත් එක්ක පොඩි චැට් එකකට සෙට් වුණා.
ලෝචි, ‘ඒක තමයි මේක’ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය බලපු අය මොකද කිව්වෙ?
එදා ඇවිත් හිටපු ගොඩක් දෙනෙක් කිව්වෙ ස්ටෝරිය හිතාගන්න බැරි එකක්, කතාව ගොඩක් ලස්සනයි කියල. ඒ වගේම අපේ අයටත් එක එක්කෙනාට වෙන වෙනම ප්ලේ කරන්න පුළුවන් විදිහට කතාව හදල තිබුණා කියලත් කිව්වා. මේ වගේ ගොඩක් හොඳ ප්‍රතිචාර තමයි මාධ්‍ය දර්ශනය දවසෙ අපිට ලැබුණෙ.
දුරකතන තිරයේ දකින ඔබ, රිදී තිරයේ ඔබටම දැකගන්න ලැබුණ අවස්ථාව මොන වගේද?
මම මුලින්ම කළේ ටික් ටොක්. ඊට පස්සෙ තමයි යූටියුබ් එකට එන්නෙ. මේ දේවල් පටන් අරගෙන දැන් අවුරුදු දහයක් විතර වෙනව. නමුත් ෆිල්ම් එකක රඟපාන්න ඕනා කියන දේ කවදාවත් මම හිතුවෙ නැහැ. එහෙම වුණත් පුළුල් තිරයේ මම මාවම දකිනකොට ඇත්තටම ගොඩක් සතුටුයි වගේම ආඩම්බරයි. දැන් මම ෆිල්ම් එකකත් ඉන්නවනෙ කියන හැඟීම මට දැණුනා.
මේ ඔබේ පළමු චිත්‍රපටය?
ඔව්, මීට අමතරව තවත් චිත්‍රපටයකට සම්බන්ධ වුණා. බොහෝ දුරට මේ අවුරුද්දෙ තිරගත වේවි. මීට කලිනුත් ආරාධනා ලැබුණා. නමුත් විවිධ හේතු නිසා භාරගත්තෙ නැහැ. ටෙලි නාට්‍ය භාරගනිද්දිත් ගොඩක් පරිස්සම් වෙනව. මොකද මම කරන වැඩකට පාඩුවක් වෙනවනම් කිසිම වැඩකට සම්බන්ධ වෙන්නෙ නැහැ.
‘ඒක තමයි මේක’ට එකතු වෙන්න හිතුවෙ?
ඇත්තටම මම ‘ඒක තමයි මේක’ චිත්‍රපටයට සම්බන්ධ වුණේ ජනයි ප්‍රියයි නිසා. එයාල මගේම අයියල වගේ. අපි රටවල්වල සංචාරය කරනව, ඒ වගේම අපි තුන්දෙනාගෙ ෂෝ එකක් කරනව. විශේෂයෙන්ම මටත් ලොකු ආසාවක් තිබුණා මේ සෙට් එකත් එක්ක වැඩ කරන්න.
කොහොමද මේ ආරාධනය ලැබෙන්නෙ?
මුලින්ම මට සුරංග අයියා කතා කළා. ෆිල්ම් බලල තිබුණට මම එයා ගැන ලොකුවට දැනගෙන හිටියෙ නැහැ. අපේ ෆීල්ඩ් එකේ නෙමෙයිනෙ. මට කතා කළාට පස්සෙ මම යූටියුබ් එකේ එයා ගැන හොයල බැලුවට පස්සෙ තමයි හරියට හඳුනාගත්තෙ. ඊට පස්සෙ මට සිරිලුත් කතාකරල කිව්වා, අපි ඔක්කොම ඉන්න වැඩක් කරනව කියල. ජනයි ප්‍රියයි අයියල දෙන්නත් කතා කරල කිව්වා එකම කෙල්ලෙකුගෙ චරිතයයි තියෙන්නෙ, ඒකත් තියෙන්නෙ ඔයාගෙ නමින් නිසා ඔයාමයි කරන්න ඕනෙ, අපිත් ඉන්නවනෙ, වරෙන් කියල.
යූටියුබර්ස්ල හත් දෙනෙක් එක නිර්මාණය රඟපෑම මොන වගේ අත්දැකීමක්ද?
ඇත්තටම ඒක රඟපෑව කියන්නත් බැහැ. අපි ඉන්න විදිහම තමයි. හරිම සතුටින්, විනෝදෙන්, සුන්දරව ගෙවපු කාලයක් සහ මම ආසාවෙන් වැඩකරපු දවස් ටිකක් තමයි ගෙවුනෙ.
යූටියුබ් එකේ දාපු සෙල්ලම් රිදී තිරයේත් දාන්න පුළුවන් වුණාද?
ඇත්තටම මට ඒක ටිකක් අමාරු වුණා. මොකද අපි යූටියුබ් එකේදි ටිකක් ඕවර් සහ දඟලනව වැඩිනෙ. මම සාමාන්‍ය විදිහට කතා කරද්දිත් අතපය හොල්ලන කෙනෙක්. ඒ නිසා රිදී තිරයේ චරිතය රඟපාන එක අභියෝගයක් වුණා. නමුත් කොහොම හරි මාව පාලනය කරගෙන හිටියා.
සුරංග එක්ක වැඩ කරන එක පහසු වුණාද?
සුරංග අයියා අපි කාගෙවත් ඇක්ටින් හදන්න ගියේ නැහැ. පිටපතටම නැතිව තමන්ගෙ විදිහට කරන්න අපිට නිදහස දුන්නා.
ලෝචි ඉදිරියේදී සිනමා නිළියක් වෙයිද?
පුංචි කාලෙ නිළියක් වෙන්න ඕන කියන ආසාව තිබුණා. නමුත් දැන් මම යූටියුබ් එක හරහා ඒක කොහොමත් සපුරගෙනනෙ ඉන්නෙ. ඒ නිසා ඇත්තටම සිනමා නිළියක් වෙන්න ඕනා කියල මට ආසාවක් නැහැ.
මේ අවුරුදු දහයට බැණුම් අහපු අවස්ථාත් ගොඩක් ඇති?
අපෝ ඔව්, අදටත් එහෙම දේවල් නැතිව නෙමෙයි. ඒවා මම එච්චර ලොකුවට ගන්නෙ නැහැ. මොකද ඒවා බල බල හිටියනම් අද ලෝචි කියල කෙනෙක් නැහැ.
ඇනුම් බැණුම් මැද ආපු ගමන පහසු වුණේ නැහැ?
ඔව්, ඒක පහසු නැහැ. නමුත් මම හිතන්නෙ එහෙම තියෙන්නත් ඕන. බාධක මැද ගලනකොටනෙ ගඟක් වුණත් ලස්සන. ප්‍රශ්නයක් ආවාම ඒකට මුහුණ දීලා උත්තරත් හොයාගෙන ටිකෙන් ටික තමයි මේ ගමන ආවෙ. ජීවිතේ සිදු වුණ කිසිම දෙයක් ගැන පසුතැවෙන්නෙ නැහැ.
ප්‍රශ්න මැද මේ ගමන නවත්තන්න හිතුනෙ නැද්ද?
ඇත්තටම එහෙම මේ දේවල් අතහරිනවා කියන ඔප්ෂන් එක මගේ ළඟ තිබුණෙම නැහැ. හැම වෙලාවෙම හිතුවෙ මම කොහොම හරි මේ ගේම ගහනව කියල.
ලෝචි ජොබ් එකක් කළාද?
ඔව්, මම ඩාන්සිං කරන අතරතුර ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් හැටියට සේවය කළා.
යූටියුබ් එකට සම්බන්ධ වීම අද දකින්නෙ කොහොමද?
යූටියුබ් එකට සම්බන්ධ වීම කියන්නෙ මම හොඳම කාලෙ ගත්ත හරිම තීරණයක්. අද වෙනකොට මිලියන දෙකක ස්ථිර ප්‍රේක්‍ෂක පිරිසක් මට ඉන්නව. රටවල් දාහතක විතර සංචාරය කරන්න ලැබිල තියෙනව. මේ හැමදේම මට ලැබුණෙ යූටියුබ් නිසා.
හොඳට වගේම නරකටත් සමාජ මාධ්‍ය මුල් වෙනව?
ඔව්, සෝෂල් මීඩියා කියන දේ හරිම පරිස්සමින් පාවිච්චි කරන්න ඕන. අද තරුණ පරම්පරාව මේවාට ඇබ්බැහි වෙලා. තමන්ගෙ ගෙදර අයත් එක්ක, යාළුවො එක්ක ගෙවන කාලය ගොඩක්ම අඩු වෙලා. බස් එකක් ගියත් අපි දකින්නෙ ෆෝන් එක ඔබ ඔබ ඉන්න අය. ඒ නිසා හැම වෙලාවෙම තමන්ගෙ ජීවිතේ හොඳ දේවල් මිස් කරගන්නෙ නැතිව හරයක් තියෙන දෙයක්, ජීවිතේට යමක් ගන්න තියෙන දෙයක් බලන්න. ක්‍රියේටර්ස්ලත් හොඳ දේවල් විතරක් කරල තැනකට යන්න උත්සාහ කරන්න කියලයි මම කියන්නෙ.
මහේෂ් එදිරිසිංහඡායාරූප – චාරුක පෙරේරා