ඔස්ට්‍රේලියාවේ චිත්‍රපටයක් ෂූට් කරන්න අදහසක් තියෙනවා -ප්‍රදීප් ධර්මදාස

gossiplanka image 1
 


කලාව යනු හුදෙක් විනෝදාස්වාදයම නොව, සමාජයේ ගැඹුරු ස්තරයන් ස්පර්ශ කරන කැඩපතක් බව ඔහු නිරන්තරයෙන්ම විශ්වාස කරයි. රූප රාමු පෙළක් තුළ ජීවිතයේ රිද්මය සොයා යන ඔහු, ලාංකේය ප්‍රේක්ෂකයාට නවමු අත්දැකීමක් තිළිණ කළ නිර්මාණකරුවෙකි. ප්‍රදීප් ධර්මදාස නම් වන ඔහු සිය නිර්මාණ චාරිකාවේ නවතම සන්ධිස්ථානයන් පිළිබඳ රසඳුනට කීවේය.


මේ දවස්වල ඔබ දකින්නත් නැති තරම්?


මේ දවස්වල සුපුරුදු පරිසරයෙන් ටිකක් ඈත්වෙලා වෙනස්ම ජීවිතේකට හුරු වෙමින් ඉන්නවා. අවුරුදු දෙකකට විතර ඔස්ට්‍රේලියා ආවා.


මාධ්‍යවේදියෙක්, රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂවරයෙක් විදිහට මෙතෙක් ආ ගමන් මඟ සිහිපත් කළොත්?


මුලින්ම මම මාධ්‍යවේදි­‍ෙයක්. 2000 වසරේ ඉඳන් අවුරුදු 7ක් විතර ස්වර්ණවාහිනියේ මාධ්‍යවේදියකු විදිහට වැඩ කළා. ඒත් මට ඕන කළේ නිවේදකයෙක් වෙන්න. කොහොමහරි මාධ්‍යවේදියා නිවේදකයාගේ කාර්යයත් කළා. බොහෝ වෙලාවට මම ස්වර්ණවාහිනියේ නිෂ්පාදන අධ්‍යක්ෂවරයෙක් විදිහටයි වැඩ කළේ. දේශපාලන, කාලීන සිදුවීම්, ප්‍රවෘත්ති වගේ වැඩසටහන් එක්ක ඇත්තටම ඕන වුණේ අධ්‍යක්ෂවරයෙක් වෙන්න. මට ඕන වුණා චිත්‍රපටයක් කරන්න. ඒත් ඊට කලින් ටෙලිනාට්‍ය කිහිපයක් කරන්න ඕනේ කියල හිතලා ඒකට ලෑස්ති වෙමින් ඉන්න අතරේ තමයි රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ. මුල්ම රංගන අත්දැකීම ලැබුවේ ‘නිල් අහස වගේ‘ ටෙලි නාට්‍යයේ නිරෝශා පෙරේරා සමඟින් ප්‍රධාන චරිතයට එක්වෙමින්. මේක අපි දෙන්නගෙම පළමුවැනි ටෙලිනාට්‍ය. ඒත් එක්කම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘අම්මාවරුනේ‘ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා. මගේ පළමුවැනි චිත්‍රපටයේම මාලනි ෆොන්සේකා එක්ක රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒක හාමුදුරු කෙනකුගේ චරිතයක්. එතැන තමයි මගේ රංගන ජීවිතයේ ආරම්භය.


ඔබ රංගනයෙන් දායක වූ චරිත ආවර්ජනය කළොත්?


මුලින්ම ‘නිල් අහස වගේ‘. ඊළඟට ‘සඳගලතැන්න’ ජාතික රූපවාහිනියේ ගියේ. ඒ දෙකම ගොඩක් ජනප්‍රිය වුණා. ඊට පස්සේ ‘මයිමී’, ‘රොන්’, ‘දිව්‍යාදරී’ වගේ ටෙලිනාට්‍ය 13ක විතර රඟපෑවා. ‘අයාල්’ ටෙලි නාට්‍යයට රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානය ලැබුණා. ඒ අවුරුද්දේ ජනප්‍රියම නාට්‍යය බවට පත් වුණේ සඳගලතැන්න. අන්තිමටම වගේ රඟපෑවේ ‘රොන්’ ටෙලි නාට්‍යයේ. ඒක අධ්‍යක්ෂණය කළෙත් මම.


‘අම්මාවරුනේ‘ චිත්‍රපටය ඔබගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වොත් ?


ඒක මෙහෙමයි, ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන්නේ ආසියාවේ ෆිල්ම් මාස්ටර් කියල හඳුන්වන චරිතය. මුලින්ම ඔහුගේ චිත්‍රපටයක රඟපාන්න ලැබෙනවා කියන්නෙම වාසනාවක්. එහිදී මට රංගනය වගේම අධ්‍යක්ෂණය ගැනත් ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුණා. ඒ කාලේ මං තාරුණ්‍යයට එළැඹුණා විතරයි. ඒ වගේ වයසකදී ප්‍රවීණයන් රැසක් එක්ක වැඩ කරන්න ලැබීමම ලොකු අත්දැකීමක් වුණා. ඒ වගේම මගේ කුලුඳුල් රංගනය ජනාධිපති සම්මාන උලෙළේ හොඳම සහාය නළුවා විදිහට ජයලත් මනෝරත්න, සනත් ගුණතිලක කියන දැවැන්ත චරිත එක්ක නොමිනේට් වෙන්න ලැබීමම විශාල ජයග්‍රහණයක්.


කලාකරුවෙක් විදිහට රංගන ජීවිතේ අමතක නොවන අත්දැකීම් ඇති නේද?


එහෙම අත්දැකීම් නම් ගොඩක් තියෙනවා. එකක් කියන්නම්. මගේ පළමුවැනිම නාට්‍යයේ ගයනි කෝච්චියට පනින්න යන සීන් එකක් තිබුණා. මම පස්සෙන් දුවන් ගිහින් බේරගන්න ඕන. එදා වැස්ස දවසක්. එන කෝච්ච්යට තමයි දැන් පනින්න තියෙන්නේ. ගයනි දැන් කෝච්චියට මුහුණට මුහුණලා යනවා. ඇත්තටම ඒක හරිම අමාරු වැඩක්. කෝච්චිය ආවා කියපු විදිහට පළමුවැනි ටේක් එක ගත්තා. ඊළඟට දෙවැනි ටේක් එක ගන්න ප්ලෑන් කරලා කෝච්චිය එන වේලාව බලලා අපි ලෑස්ති වුණා. කෝච්චිය ඈතින් එනවා. ගයනි දැන් ඉදිරියට යනවා. මට තියෙන්නෙ පිටිපස්සෙන් දුවල ගිහිල්ලා එයාව ඇදලා අරන් කෝච්චි පාරෙන් එළියට දාන්න. කෝච්චිය දැන් ළඟටම එනවා, ගයනි යනවා දැන් කවුරුත් කියන ඒවා එයාට ඇහෙන්නෙ නෑ. ගයනි කෝච්චිය එන ඉස්සරහට යන්නේ ඇස් පියාගෙන. කෝච්චිය එන්න එන්නම ළං වෙනවා. මට පැනලා එයාව බේරගන්න තියෙන දුරයි කෝච්චිය එන දුරයි බැලුවම එන්න එන්නම ළං වෙනවා. කලින් ගිය කෝච්චිය නෝමල් එකක්. නමුත් දෙවැනි වර එන කෝච්චිය එක්ස්ප්‍රස් එකක්. අපි ඒ බව දැනගෙන හිටියේ නෑ.. මම දුවල ගිහිල්ලා ගයනිව උස්සලා දාන එකයි කෝච්චිය එන එකයි අතර තිබුණේ තත්පරයක දෙකක විතර වෙනසක්. ගයනි එදා නූලෙන් බේරුණේ. මේ ළඟදි ඇය පත්තරේකට කියලා තිබුණා, “ප්‍රදීප් තමයි මාව මරණෙන් ගලව ගත්තෙ“ කියලා. ඒ සිද්ධිය කවදාවත් මට අමතක වෙන එකක් නැහැ.


වර්තමානයේ ක්ෂේත්‍රයට එන නවකයන්ට මොනවද කියන්න තියෙන්නේ?


මුලින්ම රඟපෑම ගැන අධ්‍යයනයක් කරන්න ඕන. ස්වයං අධ්‍යයනය තමයි මූලිකම දේ. රංගනය කියන්නේ ලොකු විෂයක්. ඒකෙන් තාම අපි දන්නෙත් අංශුමාත්‍රයක් විතරයි. ඒ නිසා පුළුවන් තරම් අධ්‍යයනය කරන එක තමයි කරන්න තියෙන්නේ. ඒක තමන්ගේ වටපිටාවෙන්, සමාජයෙන්, අභ්‍යාසවලින්, චිත්‍රපට බැලීමෙන් වර්ධනය කරගන්න පුළුවන්. අලුත් පරම්පරාවේ දක්ෂ අය ඉන්නවා. එහෙම දක්ෂකමක් නැති අයත් ඉන්නවා. සමහර අයට පුළුවන් වගේ පෙණුනට හරියට ඒක අධ්‍යයනය කරන්නේ නෑ. එතකොට හිස් කියල පේනවා.


අවසාන වශයෙන් ඉදිරි කලා කටයුතු ගැන සඳහන් කළොත්?


ඉදිරියේදී චිත්‍රපට කිහිපයක් කරන්නයි මූලිකවම මං අදහස් කරගෙන ඉන්නේ. මේ දවස්වල ලංකාවෙන් පිට ඉන්න නිසා පොඩ්ඩක් හිර වුණා. මෙහේ නිර්මාණ කරන්න කාල වේලාව හදාගන්න අමාරුයි. ඒ වගේම ලංකාව එක්ක සම්බන්ධ වෙන්නත් අමාරුයි. බලාපොරොත්තු කිහිපයක් තියෙනවා. ඔස්ට්‍රේලියාවේ චිත්‍රපටයක් ෂූට් කරන්නත් අදහසක් තියෙනවා. අධ්‍යක්ෂණය තමයි පුමුඛ. සිනමාව කියන්නේ පොඩි කාලේ ඉඳලම මට තිබුණු හීනයක්. මම තවම කරල තියෙන්නේ එක චිත්‍රපටයයි. තවත් කිහිපයක් කරන්න ඕනෙ කියන බලාපොරොත්තුව තියෙනවා

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post