මේ දවස්වල විකාශය වන ටෙලිනාට්‍ය අතරින් ‘අහංකාර ආදරේ’ ටෙලියට විශේෂ ජනප්‍රියත්වයක් හිමිවෙලා තියෙනවා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. ඒ ලස්සනම ලස්සන ටෙලියේ වීරයට, එහෙමත් නැත්නම් සුරූපී තාරාට ආදරය කරන පෙම්වතාට එහෙමත් නැත්නම් වීරයාට රඟපාන්නේ ජනප්‍රිය ටෙලි මෙන්ම සිනමා නළු සචින් ලියනගේ.
ටික කාලයක් ටෙලි තිරයෙන් ඈත්වෙලා වාගේ හිටපු සචින් ආයෙම ආලින්දයේ සිනමාව පිනවන්න ටෙලි තිරයට ආවෙත් ‘අහංකාර ආදරේ’ ටෙලියෙනුයි. ඇයි සචින් ඒ විදියට ටෙලිවලින් ඈත්වෙලා හිටියේ? ටෙලිනාට්‍ය කිහිපයක්ම රිජෙක්ට් කරපු සචින් ‘අහංකාර ආදරේ’ ටෙලියෙන් ආයෙම රංගනයට එක්වුණේ ඇයි? අහන්න තියෙන ඒ හැම දෙයක්ම සචින්ගෙන්ම අහගන්න හිතාගෙනම ‘හාට්’ එකට ඔහුට ඇරයුම් කළා.
කොහොමද සචින් ඉතින් මේ දවස්වල ජීවිතේ?
ජීවිතේ සතුටින් ඔහේ ගලාගෙන යනවා. කලා කටයුතු අතර පොඩ්ඩක් කාර්යබහුල වෙලා ඉන්නවා.
‘අහංකාර ආදරේ’ ටෙලියට ප්‍රතිචාර බොහොමයිලු නේද?
ඔව්. හිතාගන්න බැරි තරමට ‘අහංකාර ආදරේ’ ප්‍රේක්ෂකයන් හරිම සතුටින් භාරගෙන තියෙනවා. හිතන විදියට මේ දවස්වල ලංකාවේ ජනප්‍රියම ටෙලි අතරින් ‘අහංකාර ආදරේ’ පළමු තැන ඉන්නවා.
තව අලුත් ටෙලියක සහ චිත්‍රපට කීපයක වැඩ අතරයි ඔබ මේ දවස්වල ඉන්නේ?
අලුත් ටෙලියෙ වැඩ නම් සම්පූර්ණයෙන්ම ඉවරයි. එය ළඟදීම විකාශය වේවි. චිත්‍රපට දෙකක වැඩකටයුතු ආරම්භ වුණා. ජුනි මාසය වනවිට එක් චිත්‍රපටයක රූගත කිරීම් ආරම්භ වෙනවා. එය ‘විසල් ආදරේ’ට පසුව මට ලැබෙන දෙවැනි චිත්‍රපටයයි. කොහොමත් ඒ චිත්‍රපට දෙකම 2027 වසරේදී තිරගත වේවි කියලා හිතනවා.
අලුත් ටෙලිය සහ චිත්‍රපට දෙක ගැන ටිකක් කතාකරමුද සචින්?
තවම ඒවට නම් දාලත් නැහැ. ඒවා කොහොම වෙයිද කියන්න දන්නෙත් නැහැ. ඒ නිසා අපි ඒ ගැන කතා කිරීම පසුවට කල් තබනවා නම් හොඳයි වගේ.
මෑතක් වනතුරු සචින් රංගනයෙන් මඳක් ඈත්වෙලා හිටියා?
පොඩි රිලැක්ස් එකක් ඕනෙ වුණා කියලා කිව්වොත් තමා හරි. හැම දේකින්ම ටිකකට ඈත්වෙලා පැත්තකට වෙලා හිටියා. ඇත්තටම කියනවා නම් ඒ රිලැක්ස් වීම තුළ මම මාව හොඳින් කියෙව්වා. මට ඕනෙ මොනවද කියන එක තේරුම් ගත්තා.
ඒ අතර ඔබ ටෙලි ඩ්‍රාමා කිහිපයක්ම රිජෙක්ට් කළා කියලත් ආරංචි වුණා?
ඒක ඇත්ත. ටෙලි පිටපත් කිහිපයක්ම රිජෙක්ට් කළා. මට ඒවා හිතට හරිගියේ නැහැ. දැනුණේ නැහැ. ඉතින් භාරගත්තේ නැහැ.
‘අහංකාර ආදරේ’ ටෙලි පිටපත භාරගත්තේ එය හිතට දැනුණු නිසාද?
හරියටම හරි. ‘අහංකාර ආදරේ’ ටෙලිය වෙනස් යමක් කරන්න පුළුවන් නිර්මාණයක් බව දැනුණා. ඒ නිසා රිලැක්ස් එකට තිත තියලා ‘අහංකාර ආදරේ’ ටෙලියේ අංජනගේ චරිතයට පණ දුන්නා.
ඔබ හිතුවා වගේම ‘අහංකාර ආදරේ’ ඔබටත් ප්‍රේක්ෂකයන්ටත් තදින්ම හිතට දැනුණා?
පළමු කොටසේ ඉඳලා ‘අහංකාර ආදරේ’ ඉතා ආදරණීය ආකර්ෂණීය ටෙලිනාට්‍යයක් වුණා. ප්‍රේක්ෂකයන් එය සතුටින් වැලඳ ගත්තා. ඒ වගේම කොහොමත් මට විශ්වාසයක් තියෙනවා ආදරවන්තයගේ චරිතය මට සාර්ථකව කරන්න පුළුවන් කියලා.
‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලිය තුළද ඔබ අතිශයින්ම ජනප්‍රිය වුණේ ඒ නිසාද?
බොහෝවිට එහෙම වෙන්න ඇති. අනෙක එය පෙම්වතකු වගේම දුෂ්ටයාද අතර දිවෙන ද්විත්ව චරිත රංගනයක්. මම හිතන විදියට නිර්වාන්ටයි අනුත්තරටයි මම සාර්ථකව මුහුණ දුන්නා. නිර්වාන් අනුත්තරට වඩා හාත්පසින්ම වෙනස් චරිත නිරූපණයක්. බැල්ම, හිනාව, ගමන බිමන, කටහඬ ඒ හැම එකම වෙනස්නේ. ඒ වෙනස මම සාර්ථකව පටලවා ගැනීමකින් තොරව ඉදිරිපත් කළා. මහේෂ් රත්සර මද්දුම ආරච්චිට වගේම ධනුෂ්ක රත්නායකටත් මම අදටත් ස්තුති කරනවා මාව ඒ සඳහා තෝරාගත්තට.
‘විසල් ආදරේ’ චිත්‍රපටය ඔබට ලැබුණේ ‘කියාදෙන්න ආදරේ තරම්’හි රංගනය නිසයි?
අනිවාර්යයෙන්ම ඒක එහෙමයි. ඔවුන් ඒ චරිත රංගනය දිහා බලලා හිතුවා ‘විසල් ආදරේ’ පෙම්වතාගේ චරිත නිරූපණය මට පුළුවන්ය කියලා. අනෙක ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලියත් ඒ දවස්වල හුඟක් හිට් වෙලානේ තිබුණේ.
ඔබ වාසනාවන්තයි. ඔබේ පළමු චිත්‍රපටයත් අතිශයින්ම සාර්ථක වුණා?
ෆිල්ම් හෝල්වලට ප්‍රේක්ෂකයෝ එන්නේ නැති කාලෙකයි ‘විසල් ආදරේ’ ආවේ. ඒත් නොහිතූ විදියට විසල් ආදරේ වටා ප්‍රේක්ෂකයන් එක්රොක් වුණා.
බොහොමයක් ටෙලි නළුවන්ට හීනයක් වෙච්ච සිනමාව ඔබට හරි පහසුවෙන් ලැබුණා. එහෙම නේද?
නැහැ. ඒ සිතුවිල්ල සම්පූර්ණයෙන්ම වැරැදියි. මම සිනමා රංගනයට ආවේ යම් ජර්නියක් හරහායි. කිසිවක් මට ලේසියෙන් ලැබුණේ නැහැ කියලයි මම හිතන්නේ.
ඔබ ඔබේ රංගන ජීවිතය ගැන තෘප්තිමත්ද?
මෙහෙමයි. මට ලැබෙන චරිත රංගනයට මම සාධාරණයක් කරනවා. ඒ වගේම හිතේ කොනක පොඩි බලාපොරොත්තුවක් තියෙනවා චරිතාංග නළුවෙක් ලෙස සංකීර්ණ චරිත නිරූපණයකට මැදිවෙන්න. අන්න එහෙම අවස්ථාවක් ලැබුණු දවසට මම එවැනි චරිත රංගනයකට දායක වීම තුළ මට මා ගැන ලොකු සතුටක් දැනේවි.
එහෙම අවස්ථාවක් ලැබුණොත් ඔබ රඟපාන්න කැමැත්තක් දක්වන ප්‍රවීණයෙක් ඉන්නවද?
එහෙම දෙයක් ගැන නම් තවම හිතලා නැහැ. හැබැයි හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා සමග ටෙලියක හෝ චිත්‍රපටයක රඟපාන්න ආසාවෙන් හිටියා.
කනගාටුයි ඔබේ හීනය බොඳවී යෑම ගැන?
හීනය සම්පූර්ණයෙන්ම බොඳව ගියේ නැහැ කිව්වොත් හරි. මොකද කියනවා නම් චිත්‍රපටයක ටෙලියක රඟන්න බැරි වුණාට මම නිළි රැජින සමග වේදිකා රංගනයක යෙදුණා. ඔස්ටේ්‍රලියාවේ කරපු මියුසිකල් ෂෝ එකකදි තමයි ඒ අවස්ථාව ලැබුණේ. මාස එකහමාරක් අපි එහිදී එකට ඒ සංදර්ශනය වෙනුවෙන් එකම වේදිකාව බෙදාගත්තා. ඇය වැනි ප්‍රතිභාපූර්ණ සම්මානනීය ප්‍රවීණ රංගනවේදිනියක් සමග මම කපල් ඩාන්ස් එකකට සහභාගි වුණා. මම හිතන්නේ මගේ ජෙනරේෂන් එකේ කිසිම කලා ශිල්පිනියකට හෝ ශිල්පියෙකුට එවැනි භාග්‍යයක් උදාවී නැහැ. ඇත්තටම මම ඒ අතින් හරි වාසනාවන්තයි.
ඉතින් සචින් අනාගත බලාපොරොත්තු ගැනත් කතා කරමුද ටිකක්?
දැනට තියෙන එකම බලාපොරොත්තුව තමයි දීර්ඝකාලීනව සිනමාවට ප්‍රවිෂ්ට වීම. අවස්ථාව ලැබුණොත් ඒ සඳහා ප්‍රේක්ෂකයාට මතක හිටින මගේ හිතට දැනෙන හොඳ නිර්මාණයක් දෙකක් කරන්නත් කැමැත්තක් තියෙනවා.
ඒ කියන්නේ ඔබ ටෙලි තිරයෙන් සමුගන්නයි අදහස?
එහෙම අදහසක් නැහැ. ටෙලි කලාව කියන්නේ අපි ප්‍රේක්ෂකයන්ගේ ආලින්දයට ඔවුන්ව හමුවෙන්න යෑමයි. ඒ ගමන තුළ අපි ඔවුන්ව නිතර හමුවෙනවනේ. ඒ සමීප බව අහිමි කරගන්න කැමැති නැහැ.