ගිහාන් ප්‍රනාන්දුව අපිට මේ දවස්වල මුණගැසෙන්නේ රංජන් රාමනායකගේ ඕ. අයි. සී. ගඩාෆි සිනමා නිර්මාණයේ මජර දේශපාලනඥයකුගේ චරිතයකින්. හැබැයි මිනිස්සු සැබෑ ලෙස දකින මජර දේශපාලනඥයාගේ චරිතය ඔහු හරි අපූරුවට තිරයට අරගෙන ඇවිත් තියෙනවා. ඉතිං ගිහාන් ප්‍රනාන්දුට මේ වෙලාවේ ඉඩක් වෙන්කරන්න ඕනෑ කියලා අපි අදහස් කළා.
ගිහාන් කොහොමද රන්ජන්ගේ ඕ. අයි. සී. ගඩාෆි චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ලංකාවේ එක එක ශානරවල චිත්‍රපට තිරගත වෙනවානේ. ඉතිං රංජන් අයියාගේ ශානරය වෙන එකක්. එයාගේ හැම චිත්‍රපටයක්ම බොහොම ජනප්‍රියත්වයට පත්වෙච්ච චිත්‍රපට. මොනවා වුණත් අපිට පිළිගන්න වෙනවා ලංකාවේ මේ මොහොතේ ජනප්‍රිය ගණයේ සුපර් ස්ටාර් රන්ජන් රාමනායක කියලා. ඉතිං මේ චිත්‍රපටයටත් ඉතාම හොඳ ප්‍රතිචාර තියෙනවා.
අපි වෘත්තියමය රංගන ශිල්පීන් හැටියට එකම ශානරයක චිත්‍රපට හෝ ටෙලිනාට්‍යවල රඟපාන්න කියලා එකක් නැහැ. ලෝකයෙත් එහෙමයි. විවිධ ගණයේ චිත්‍රපට හම්බවෙනවා. මේක මම රඟපෑ වෙනස් චිත්‍රපටයක්.
දේශපාලන පෙරළියත් එක්ක මෙැවනි දේශපාලනඥයකුගේ චරිතයක් රඟපාන්න කියලා ආරාධනා කළහම මොකද හිතුණේ?
ඇත්තටම මම රංජන් අයියාව හුඟාක් කාලයක සිට දන්නවා. ඒ වුණාට එයාගේ චිත්‍රපටයකට ආරාධනාව ලැබුණේ පළමු වතාවට. ඉතිං එයා චිත්‍රපටයේ පිටපත ගැන මගෙත් එක්ක කතා කරලා මෙහෙම චිත්‍රපටයක් තියෙන්නේ කියලා කිව්වහම බොහොම කැමැත්තෙන් භාරගත්තා. මොකද රංගන ශිල්පියෙක් කියන්නේ ඕනෑම අභියෝගයක් භාරගන්න පුළුවන් චරිතයක් වෙන්න ඕනෑ. ඉතිං චිත්‍රපටය කළාට පස්සේ හුඟාක් අය කියනවානේ ඒ මම නෙමෙයි, මගේ ශරීරය නෙමෙයි, ඩමියක් පාවිච්චි කළේ කියලත් කියනවානේ. ඒ වගේ මෝඩ කතා කියන්න නම් අපි රඟපාන්න එන්නේ නැතිව ඉන්න ඕනෑ. මම හිතනවා අපි රඟපානවා කියන විෂය තෝරාගෙන තියෙන්නේම නිදහසේ අපිට ලැබෙන ඕනෑම චරිතයකට සාධාරණයක් ඉෂ්ට කරන්න. මේකත් ටිකක් ආන්දෝලනාත්මක චරිතයක්. හැබැයි චිත්‍රපටය නරඹන මිනිස්සු දන්නවා මේ ඉන්නේ ගිහාන් ප්‍රනාන්දු නෙමෙයි. ඒ ඇමැතිවරයාගේ චරිතය තමයි නිරූපණය කරන්නේ කියලා. ඒක ලංකාවේ සත්‍ය වශයෙන් තිබිච්චි කාරණාවක්. ඔය වගේ දේශපාලනඥයෝ ලංකාවේ ඉඳලා තියෙනවා. ඉස්සරහට දේශපාලනය කරන අය මොන මොන විදිහට හැසිරෙයිද කියලා කියන්න අපිට හිතාගන්න බැහැ. දේශපාලනඥයෙක් කියන්නේ අමුතු මිනිහෙක් නෙමෙයි. මේ සමාජයේම ඉන්න මනුස්සයෙක් තමයි.
මේ චිත්‍රපට බලපු දේශපාලනඥයෝ එහෙම ඔබට කතා කළාද?. එවැනි සිදුවීම් තියෙනවාද?
තවම නම් නැහැ. විවිධ දේශපාලන පක්ෂවල ඉන්න දේශපාලනඥයෝ හුඟදෙනෙක් මම අඳුරනවා. හැබැයි එහෙම කෙනෙක් නම් තවම හම්බවුණේ නැහැ. මම එහෙම කෙනෙකුගේ ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
රඟහල අතහරින්නම හිතෙන්නේ නැති පාටයි ?
අතහරින්නේ කියන්නේ දැන් ඉස්සර තරම් වැඩකරන්න ඕනේ නැහැ කියලා හිතෙනවා. ඉස්සර නම් දවස් තිහම වැඩකරපු කෙනෙක්. දැන් ඉතිං මගේ ජීවිතයෙත් මගේ ප්‍රශ්න හුඟාක් ඉවරයි. දරුවෝ එහෙම විවාහවෙලා හින්දා බොහොම නිදහසේ මගේ ජීවිතය ගත කරන්නේ. ඒ වුණාට වේදිකාවෙන් නම් අයිවෙන්න හිතෙන්නේම නැහැ. සති අන්තියේ වේදිකා නාට්‍යයක රඟපෑවේ නැතිනම් නිකං හරියට කෑම කෑවේ නැහැ වගේ එකක් තමයි දැනෙන්නේ. මේ දවස්වල අලුත් නාට්‍යයකත් පුහුණුවීම් පටන් ගන්නවා.
සරත් කරුණාරත්න මගේ මිත්‍රයා අලුත් නාට්‍යයක් පටන්ගන්නවා. ඒ නාට්‍යයේ පුහුණුවීම් කටයුතු පටන්ගන්නවා. අගෝස්තු මාසයේ 15 වැනිදා තමයි නාට්‍යයේ මංගල දර්ශනය පැවැත්වෙන්නේ. ‘මේ පාර ඉවරයි’ තමයි නාට්‍යයේ නම.
මේ පාර ඉවරයි දේශපාලන ප්‍රහසනයක්ද?
පොලිටිකල් කතාන්දරයක් තමයි ඒකෙත් තියෙන්නේ. කලිනුත් ඒ වගේ නාට්‍ය ලංකාවේ කරලා තියෙනවා ඇති. ඒ වුණාට මෑතකදී ඒ වගේ නාට්‍ය අත්දැකීමක් විඳගන්න ලැබිලා නැහැ කියලා මට හිතෙනවා. වේදිකාව ටිකක් වෙන විදිහේ හරඹයක් කරන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. ලේසි නැහැ. ඕනෑම නාට්‍යයක් ලේසි නැහැ. මහන්සිවෙන්න ඕනෑ. හැබැයි මේකටත් චමිලා පීරිස්, පබෝධා සංදීපනී, ජෙනට් ඇන්තනී වගේ රූපවාහිනියේ ජනප්‍රිය චරිත කිහිපයක් මේකත් එක්ක එකතුවෙලා ඉන්නවා.
අපූරු දේශපාලන චරිත ඔබ හරි අපූරුවට වේදිකාවට අරගෙන එනවානේ. මේවා දැකලා දේශපාලනඥයෝ ඡන්දය ඉල්ලන්න කියලා කියපු අවස්ථා නැතිද?
ඡන්ද ඉල්ලන්න කියලා විවිධ පක්ෂවලින් ආරාධනා ගණනාවක් තිබුණා. ඒ වුණාට මගේ පාත් එක ඒක නෙමෙයි. අපි ඉපදෙද්දිම අපිට සමාජය වෙනුවෙන් මේ දේවල් කරන්න කියලා දීලයි එවන්නේ. කලාකරුවෝ කියන්නේ හැම වෙලාවේම මිනිස්සුන්ගේ පැත්තේ ඉන්න අය. සාමාන්‍යයෙන් මොන පක්ෂයකින් දේශපාලනය කරන්න ගියත් දේශපාලනඥයකුට සියයට පනස් එකක් හෝ පනස් දෙකක් වගේ කැමැත්තක්නේ තියෙන්නේ. හැබැයි කලාකරුවෙකුට මේ රටේ මිනිස්සු සියයට අනූවක්ම කැමැතියි. ඒ ආදරය කැමැත්ත නැතිකර ගන්න මම කැමැති නැහැ. මට විවිධ පක්ෂවලින් ලැබුණ ආරාධනා ඒ අයත් එක්ක බොහොම සුහදශීලීව කතාබහ කරලා ප්‍රතික්ෂේප කරලා තියෙනවා.
ඡන්දේ ඉල්ලලා මේ තියෙන ආකර්ෂණය නැතිකරන්න වුවමනා නැතිද?
ඒක මම රන්ජන් අයියාට පවා නිරන්තරයෙන් කියලා තියෙන එකක්. පොලිටික්ස් තියෙන්නේ තමන් කරන ආර්ට්වල කියලා. ඕ. අයි. සී. ගඩාෆි චිත්‍රපටයෙත් ඒකම තමයි සිද්ධවෙන්නේ. රන්ජන් අයියා සමහර වෙලාවට පාර්ලිමේන්තුව ඇතුලේ දේශපාලනඥයෙක් විවේචනය කළහම ඔහුත් එක්ක රණ්ඩුවට හරි නැතිනම් ඔහුව බලය ආපු වෙලාවක හිරේ දාන්න වගේ තමයි බලාගෙන ඉන්නේ. හැබැයි ඔහු කලාකරුවෙක් හැටියට ඔහුට කියන්න තියෙන දේ නිදහසේ චිත්‍රපටයකින් කළහම ඒක මුළු රටම වැළඳගන්නවා. ඒකට කාටවත් විරුද්ධවෙන්න බැහැ. මොකද ඒ කියන්නේ ඇත්ත හින්දා. මේ චිත්‍රපටයත් එහෙම දේශපාලන ප්‍රහසනයක් තමයි. ඒකෙත් දේශපාලන චරිතය මට කරන්න හම්බවුණ එක ගැන ඇත්තටම සතුටුවෙනවා.
පළමු වතාවට තමයි රංජන් එක්ක වැඩකරන්නේ?
ඔව්. ඔව්. දේශපාලනඥයන්ගේ තියෙන ඒ මජරකම නිදහසේ ඉදිරිපත් කරනවා කියන්නේම හරි සුන්දරයි. ඒ චරිතය මම හරි ආසාවෙන් කළා. මම හිතන්නේ දුෂ්ටයෙක් කවදාකවත් ඒ දේවල් කරන්නේ දුෂ්ටයෙක් කියලා හිතාගෙන නෙමෙයිනේ. ඔහු ඔහුට සාපේක්ෂව සාධාරණ හේතු කියනවා. ඒක අනෙක් අයටනේ පේන්නේ ඔහුව විලන් කෙනෙක් විදිහට. ලෝකයේ විලන්ලා නැහැ. ලෝකයේ ඉන්නේ මිනිස්සු. ඉතිං ඒ මිනිස්සු තමන් කරන දේ විශ්වාස කරලා එයාගේ සතුට වෙනුවෙන් ඒක කරනවා. හැබැයි ඒක සමාජීය වශයෙන් ගත්තහම සමාජයට ඒක පෙනෙන්නේ දුෂ්ට ක්‍රියාවක් හැටියටයි.
දුෂ්ට දේශපාලනඥයාගේ චරිතය තිරයට අරගෙන එද්දී තිරයේදී හරි අපූරු ආදරයක් හම්බවෙනවා නේද?
ඒක තමයි රංජන් අයියා කියන්නේ. ඒක සුවිට්ව ප්ලේ කරන්න කියලා. විලන් කෙනෙක් කියන්නේ රැවුල උඩට කරකවාගෙන ඉන්න මුහුණ දරුණු මිනිහෙක් නෙමෙයි.