ශෙනායා වැන්හොෆ් මේ දවස්වල අලුත්ම ටෙලියකින් දකින්න ලැබෙනවා. ටෙලිකාස්ට් වෙන්න පටන් අරගෙන තවම සතියක් වගේ වෙන්නෙ. නමුත් ශෙනායා නම් කියන්නෙ ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනව කියල.අපි වැඩි විස්තර ඇයගෙන්ම අහල බලමු.
ශෙනායා, අලුත්ම වැඩේ ගැන විස්තර ටිකක් කියමු?
‘ඇත්තටම මං ඔයාට ආදරෙයි’. ඒක තමයි මගේ අලුත්ම වැඩේ. මේ වැඩේට මට ආරාධනා කරන්නෙ ධනුෂ්ක අයියා. මොකද මම ඔහු එක්ක මීට කලින් ‘හිත ළඟ හිනැහුනා‘ ටෙලියෙ වැඩ කළා. ඒක තමයි මාව මේ ක්‍ෂේත්‍රයට ගෙනාපු මුල්ම නිර්මාණය. තමන්ගෙ ව්‍යාපාරය හොඳින් කරගෙන යන චරිතවත් ගැහැනියක් තමයි මේ වතාවෙ මගේ චරිතය වෙන්නෙ. රූගතකිරීම්වලත් ලොකු- රිස්ක් එකක් ගන්න තරම් දෙයක් නැති නිසා අපි ලස්සනට වැඩ ටික කරගෙන යනව.
‘ඇත්තටම මං ඔයාට ආදරෙයි’ මේ නිර්මාණය ගැන අදහස මොන වගේද?
පසුගිය 11 වැනිදා තමයි මේ නිර්මාණය ටෙලිකාස්ට් වෙන්න පටන්ගත්තෙ. දැනටමත් බොහෝ පිරිසක් ආසා කරනව වගේම ආදරේ කරනව කියල අපිට දැනගන්න තියෙනව. ඉතිං හරිම සතුටුයි අපේ කණ්ඩායමේ හැමෝටම. ඉදිරියේදී තවත් බොහෝ පිරිසක් මේ නිර්මාණය ආදරෙන් වැළඳගනීවි කියල මම විශ්වාස කරනව.
ධනුෂ්ක ගැනත් කියන්න යමක් ඇති?
ධනුෂ්ක අයියගෙ මම දැකපු විශේෂම දේ තමයි පිළිවෙළ. ඒ වගේම වැඩකරන්නත් පහසුයි. අපිට හැමදේම කියලදීල, උගන්වල සහයෝගෙන් වැඩකරනව.
පවුලෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
මට අක්කල තුන්දෙනෙක් ඉන්නව. ඔවුන්ගෙන් ඉතාමත් හොඳ සහයෝගයක් ලැබෙනව. වැඩක් ලැබුණාම මම එයාලට ඒ විස්තර කියනව. නමුත් මම ඒකට සම්බන්ධ වෙනවද නැද්ද කියල එයාල තීරණය කරන්නෙ නැහැ. මොකද ඒ තුන්දෙනාම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ නැති නිසා. ඒ තීරණ ගන්නෙ මමමයි.
සුහර්ෂි සහ ශෙනායා එක වගේද?
ඒක සමාන අසමාන කරන්න මට තේරෙන්නෙ නැහැ. තමන්ගෙ ව්‍යාපාර කටයුතු, තමන් කරන ජොබ් එක හරියට කරන එක නම් මම හිතනව මට සමානයි කියල.
ජනප්‍රිය වෙන්න හීන දැක්කද?
ඔව්, ඇත්තටම ඒක දැන් මගේ හීනයක්. නමුත් කවදාවත් නිළියක් වෙනව කියන හීනය මම දැක්කෙ නැහැ. පාසල් වේදිකාවකටවත් ගොඩනොවුණ මම අද මේ තැන ඉන්නෙ අහම්බයකින්. කවදහරි දවසක ප්‍රේක්‍ෂකයන්ට මතක හිටින චරිතයක් වෙලා, අදට වඩා ජනප්‍රිය තැනකට යන්නයි මගේ බලාපොරොත්තුව.
ඇත්තටම ඒකෙ රහසක් නැහැ. නමුත් මම මේන්ටේන් වෙනව. මගේ කොණ්ඩයට මම හරි ආදරෙයි. ඒකට නම් ගොඩක් සාත්තු කරනව. විලාසිතාවලටත් ගොඩක් ආසයි. ඒත් ඉතිං ටිකක් විතර සීමාසහිතව.
කැමති චරිත එහෙමත් ඇති?
ඔව්, මෙතෙක් මට ලැබිල නැති, කැමති චරිත ගොඩක් තියෙනව. සමහරවිට මගේ පෙනුම නිසා එකම විදිහේ චරිත ලැබෙනව ඇති. නමුත් මම ආසයි වෙනස් විදිහේ චරිත ලැබෙනවනම්.
අලුත් ටෙලියෙ බිරිඳකගේ චරිතය අභියෝගයක් නෙමෙයි?
ඇත්තටම බයක් දැණුනෙ නැහැ. මොකද වෙනස් විදිහේ චරිත ලැබෙනවනම් අභියෝගයක් විදිහට මම භාරගන්නව.
මේ අතර තවත් අලුත් වැඩක් එලියට ආවා?
ඔව්, ඒ ‘කොළඹ කට්ටිය’ කියන ටෙලි නාට්‍යය. කලින් ‘සල්ලි පොක-ුරු’ ටෙලි නාට්‍යයෙන් පස්සෙ මට ලංකාවෙන් යන්න සිදු වුණා. ඉතිං නැවතත් මට ඒ චාන්ස් එක අරගෙන දුන්නට සද්ධා සර්ටයි, ශිවා සර්ටයි, චේතනී මිස්ටයි ගොඩක් ස්තූතිවන්ත වෙනව.
ඇත්ත ජීවිතයේ ෂූටිං යනව ගෙදර එනව වගේ නිළියකගේ චරිතයක් තමයි මේ නිර්මාණයේ මට ලැබිල තියෙන්නෙ. මොකද මේ ටෙලිය ඇතුළෙත් තියෙන්නෙ ටෙලියක්.
මේ ආරාධනයත් විශේෂ වෙන්න ඇති?
ඔව්, මේ ආරාධනය ලැබුණාම ගොඩක් සතුටු හිතුනා. මායාවී ෂූටිං යන අතරතුර තමයි මට මේ ටෙලි ඩ්‍රාමා දෙකටම ආරාධනා ලැබෙන්නෙ. නමුත් මම හිතුවෙ නැහැ සද්ධා සර්වත් ශිවා සර්වත් නැවත මට වැඩකට කතාකරයි කියල. මොකද මගෙ හිතේත් පොඩි අවුලක් තිබුණ, අතරමගදි ගිය නිසා මට නැවත වැඩකට කතාකරන එකක් නැහැ කියල.
ශෙනායා ඉලක්ක සපුරාගෙනද?
මම හිතනව තවම මම මට ඕන තැනට ගිහින් නැහැ කියල. ඉතිං මට තව ඉදිරියට යන්න තියෙනව. ඒ වෙනුවෙන් තමයි මම දැන් වැඩ කරන්නෙ.
අහම්බයකින් රංගන ක්‍ෂේත්‍රයට ආවෙ නැතිනම් අද මොනව කරයිද?
ඇත්තටම මම ආසාවෙන් හිටියෙ පෙර පාසල් ළමයින්ට උගන්වන්න. ඒ නිසා බොහෝ දුරට මම ඒ මාර්ගය තෝරාගෙන තියෙන්න පුළුවන්.
දැන් නර්තනයෙන් ඈත් වෙලාද?
ඔව්, නර්තනයෙන් දැන් ගොඩක් දුරට ඈත් වෙලා. වෙලාවකට අපරාදෙ කියලත් හිතෙනව. නමුත් දැන් මට තියෙන කාලවේලාවත් එක්ක නර්තනය පැත්තට ගියොත් ඒක මැනේජ් කරගන්න බැරිවෙයි කියලත් හිතෙනව.
සිනමාව පැත්ත ගැන කතා කළොත්?
මම දැනට සම්බන්ධවෙලා තියෙන්නෙ එක චිත්‍රපටයකට විතරයි. ඇත්තම කිව්වොත් සිනමාවට ලැබෙන ආරාධනා ගොඩක් අඩුයි.
මෙතෙක් ලැබුණ චරිත ගැන අදහස මොන වගේද?
මම දැනට ටෙලි ඩ්‍රාමා පහකට හයකට විතර සම්බන්ධවෙලා තියෙනව. ඒ අතරින් සල්ලි පොක-ුරු හැරුණාම අනෙක් හැම නිර්මානයකදිම ලැබුණෙ එක වගේ චරිත.
ශෙනායා වැන්හොෆ් කියන්නෙ මොන වගේ කෙනෙක්ද?
ශෙනායා කියන්නෙ ගෙදරට වෙලා පාඩුවේ ඉන්න කැමති කෙනෙක්. ඒ වගේම මං හරි කැමතියි ෆිල්ම්ස් බලන්න, කෑම හදන්න වගේ දේවල්වලට.
මහේෂ් එදිරිසිංහඡායාරූප – සඳමාලි විමලසේන