‘නොකවුට්’ කියන්නෙ ආලෝකාට වෙනස්ම ආලෝකයක් ගෙනාපු ටෙලියක්. ඒ වගේම මෙතෙක් ලැබුණ චරිත අතරින් රිද්මි කියන්නෙ වෙනස්ම චරිතයක්. ඉතිං මේ ටෙලිය බලන නොබලන හැමෝම වෙනුවෙන් ‘මීවිත’ අපි ආලෝකා ගැන වැඩි යමක් දැනගන්න මේ විදිහට කතාබහක යෙදුණා.
ආලෝකා, රිද්මි මොන වගේ චරිතයක්ද?
රිද්මි කියන්නෙ දඩබ්බර, සරල, තියෙන දෙයින් සෑහීමකට පත්වෙන්න පුළුවන්, කාට වුණත් ගහන්න යන නමුත් තමන් ආදරය කරන කෙනා වෙනුවෙන් පණ වුණත් දෙන්න පුළුවන් චරිතයක්.
කොහොමද ආලෝකාට මේ අවස්ථාව ලැබෙන්නෙ?
මට මේ අවස්ථාව ලැබෙන්නෙ රුවන් කුඩලිගම අයියා හරහා. ඔහු සමග මීට කලින් වැඩ කරල තියෙන නිසා ඒ දැනහැඳුනුම්කමත් එක්ක ඔහු කතාකරල කිව්වා නංගි මේ වගේ චරිතයක් තියෙනව අපි කරමු කියල.
ආලෝකාත් රිද්මි වගේද?
නැහැ... නැහැ... ආලෝකා ඒ වගේ නපුරු නැහැ. පොඩි පොඩි තරහ යන අවස්ථාවන් තිබුණත් රිද්මි තරම් නැහැ.
සෙට් එකේ අත්දැකීම මොන වගේද?
ගොඩක් වෙලාවට මට ෂූටිං වැටිල තියෙන්නෙ මුහුද ආශ්‍රිත බේරුවල ප්‍රදේශයේ. හරිම සුන්දර අත්දැකීමක්. ඔවුන් කතාකරන භාෂාව වගේම අඳින පළඳින විදිහත් වෙනස්. අලුත් අලුත් අයව මුණගැහෙනව. ගමේ අයගෙනුත් ඉතා හොඳ සහයෝගයක් ලැබෙනව.
‘නොකවුට්’ ගැන ඔබේ අදහස?
‘නොකවුට්’ කියන්නෙ වෙනස්ම කතාවක්. ඒකෙ ටේලර් එක වුණත් කරල තියෙන්නෙ ෆිල්මින් ටයිප් එකට. මමත් වැඩ කරන්නෙ හරි ආසාවෙන්.
අධ්‍යක්‍ෂවරයාගෙ ප්‍රතිචාරය කොහොමද?
රුවන් අයියගෙන් අපිට ඉතාමත් හොඳ සහයෝගයක් ලැබෙනව. ඒ වගේම අපිට ගොඩක් නිදහස දීල තියෙනව.
වරාය පරිසරයත් එක්ක ඔට්ටු වෙන්න පුළුවන්ද?
අපි ෂූටින් කරන්නෙ වරාය ආශ්‍රිතවනෙ. මේ දවස්වල නම් ගොඩක් රස්නෙයි. සමහර වෙලාවට දරාගන්නත් බැරි තරම්. අපිට අපහසුවකට තියෙන්නෙ දේශගුණික ප්‍රන්නෙ විතරයි.
ස්කූටි පදින්න අමුතුවෙන්ම පුරුදු වෙන්න සිදු වුණා?
ඔව්, ෂූටිංවලට කලින් ඉඳන් මට ස්කූටි පදින්න පුළුවන්. නමුත් කාලෙකින් පැදපු නැති නිසා ටිකක් බැලන්ස් නැති ගතියක් තිබුණා. හැමදෙනාගෙම සහයෝගයෙන් ඒක යන්තම් ගොඩදාගන්න පුළුවන් වුණා.
මේ වගේ චරිතයක් ලැබෙන්නෙ පළමු වතාවට?
ඔව්, මේ වගේ දඩබ්බර චරිතයක් මට ලැබෙන්නෙ පළමු වතාවට. මොකද මීට කලින් ගොඩක් වෙලාවට ලැබුණෙ අහිංසක චරිත. එහෙම බලනකොට මේක
හාත්පසින්ම වෙනස් චරිතයක්.
වෙනත් කලා වැඩකටයුතු?
සාලින්ද අයියගෙ ‘එහෙව් හිතක ආදරයක්’ ටෙලි නාට්‍යයේ ෂූටිංවලට සම්බන්ධවෙලා ඉන්නව.
ආලෝකා මොන වගේ චරිතයක්ද?
ආලෝකා කියන්නෙත් රිද්මි වගේම සරල කෙනෙක්, තියෙන දෙයින් සතුටු වෙනව. ලොකු බලාපොරොත්තු නැහැ. නමුත් පොඩි පොඩි හීන ටිකක් තියෙනව. ඒවාට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නව.
ගමේ හිටියනම් මොනව කරයිද?
ගමේ ඉඳල අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට ගියා නම් ලෝයර් කෙනෙක් හරි ටීචර් කෙනෙක් හරි වෙයි. නමුත් මගේ කැමැත්ත ආසාව තිබුණෙ මේ පැත්තට නිසා කලාවට එන්න පුළුවන් වුණා.
ලෝයර්ට වඩා රංගන ශිල්පිනිය හොඳයි කියල දැන් හිතෙනවද?
ඔව්, මොකද පොඩි කාලෙ ඉඳන්ම මම නටනවා, සිංදු කියනවා, නිවුස් කියනවා. ඒක මගෙ ඇඟේ තිබුණා. අනෙක් කාරණය තමයි, කෙනකුට ලෙහෙසියෙන් මේ ක්‍ෂේත්‍රයට එන්න බැහැනෙ. ඒ නිසා අද ඉන්න තැන ගැන සතුටුයි.
ආලෝකා දැන් ගමේ යන්නෙ නැද්ද?
විවේකයක් ලැබුණ ගමන් මම ගමේ යනව. මට ඉන්නව සුරතල් සතුන් ටිකක්. ඒ අයත් එක්ක වගේම පවුලේ අයත් එක්ක සතුටින් කාලය ගතකරල ආපහු කොළඹ එනව.
විලාසිතා ගැන අදහස මොන වගේද?
මම විලාසිතා කරනව. නමුත් මට පහසු ඇඳුම් තමයි නිතරම තෝරා ගන්නෙ.
නිතරම උත්සාහ කරන්නෙ සරලව ඉන්න?
ඔව්, අපි හැමෝම මිනිස්සුනෙ. නිර්මාණයක රඟපෑවා කියල ඒක වෙනස් වෙන්න විදිහක් නැහැනෙ. මං හිතන්නෙ ගොඩක් අය සරල ජීවිතයකට කැමතියි.
නිළියක් විදිහට මේන්ටේන් වෙන්න ඕන නැද්ද?
නිළියක් විදිහට අපි අපි ගැන හිතන්න ඕන. අපේ රූපය ගැන හිතන්න ඕන. ඒක හරි. එහෙමයි කියල මම නිළියක්, කවුරු එක්කවත් වැඩි සම්බන්ධයක් ඕන නෑ කියන තැනක මම නැහැ.
ආලෝකා රඟපාන්නෙ කැමරාව ඉදිරියේ විතරයි?
ඔව්, හරියටම හරි.
ඔබම තෝරාගත් ක්‍ෂේත්‍රය, අද දකින්නෙ කොහොමද?
රංගන ක්‍ෂේත්‍රයේ විතරක් නෙමෙයි, ඕනෑම ක්‍ෂේත්‍රයක අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් අපි දැනගෙන, ඉගෙනගෙන එනවනම් රඳාපැවැත්මක් තියෙනව.
කැපිලි කෙටිලි තිබුණද?
ඒවාත් ඔනෑම තැනක තියෙනව. වැඩිය හිතන්නෙ නැතිව අපේ ගමන අපි යනවනම් ඒ දේවල් අදාළම නැහැ.
සිනමාවට අලුත් ආරාධනයක් ලැබුණා?
ඔව්, ආකාෂ් තාරුක මල්ලිගෙ චිත්‍රපටයකට සම්බන්ධ වුණා. ඉදිරියේදී රූගතකිරීම් කටයුතු සිදුවෙයි.
මහේෂ් එදිරිසිංහ