මේ දිනවල ඔබ ගැන ගොඩදෙනෙක් කතාබහ කරනවා නේද?
ඔව්. ‘දොරකඩ දෙවොල’ ටෙලිනාට්‍යයේ ජීවනී චරිතය ප්‍රේක්ෂකයන්ට විතරක් නෙවෙයි මටත් දැනුණු චරිතයක්. ජීවනී නිසාම මමත් ටෙලිනාට්‍යය බලනකොට ජීවනීගේ රසිකාවක් කියලා කිව්වොත් හරි. කාලෙකට පස්සේ මට දැනුණු චරිතයක්. ඒ වගේම තෘප්තිමත් වැඩක් කළා. ප්‍රතිචාර නම් හොඳටම හොඳයි. ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂවරුන්ගෙන්, ශිල්පීන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් තියෙනවා.
ප්‍රේක්ෂකයන්ට ජීවනී මේ තරම්ම දැනෙන්න කලින්, නිළියක් විදිහට ඔයාට ඒ චරිතය මුලින්ම දැනුණේ කොහොමද?
චරිතයක් හොඳටම දැනුණම ඒ තුළ ජීවත් වෙන්න ගොඩක් පහසුයි. ජීවනී ග්‍රාමීයද, නාගරිකද කියන එක අදාළ නැහැ. අතීතයේ සිට අද දක්වාත්, අද සිට අනාගතය දක්වාත් ජීවනීලා සමාජයේ ජීවත් වෙනවා. ගැහැනිය තුළ තියෙන හැඟීම් දැනීම් හැම ලක්ෂණයක්ම ජීවනී තුළ තියෙනවා. බිඳවැටෙන තැන්, නැවත ගොඩනැගෙන තැන් ඒ හැම දෙයක්ම මම හිතන්නේ අපිට ගැහැනු විදියට අඩු වැඩි වශයෙන් විඳින්න වෙලා තියෙනවා කියලා. අවංක ආදරය තුළ ජීවිතය වරදින්නත් පුළුවන්. ඒ විදියට ජීවිතය වැරැදුණු ගැහැනියක් විදියට ජීවනීගේ චරිතය මම දකිනවා.
‘දොරකඩ දෙවොල’ පමුදිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා කියලා මම කිව්වොත්?
100%ක්ම හරි. මොකද මම මීට පෙර ටෙලිනාට්‍ය කිහිපයකම වැඩ කළා. මම රඟපාන්න කලින් නිවේදිකාවක් ලෙස රූපවාහිනී නාලිකාවල කටයුතු කළා. දැනටත් කටයුතු කරනවා. මම වැඩ කරපු අනෙකුත් ටෙලිනාට්‍යවලට වඩා ‘දොරකඩ දෙවොල’ ටෙලිනාට්‍යය මට විශේෂ වුණා. එයට හේතුව රංගනය තදින්ම දැනුණා. මට මාවම හඳුනාගන්න ලැබුණා. රංගනය පැත්තට මගේ අවධානය වැඩි වුණා. විශේෂයෙන්ම ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ ලලිත් රෝහිත එදිරිසිංහ අයියට මම ස්තුතිය පුදකරනවා ජීවනී චරිතයට මාව තෝරාගත්ත එකට. මෙතැනින් එහාට මම රංගනයට විශේෂ අවධානයක් දෙමින් මගේ ජීවිතය හදාගන්නවා.
පමුදි රංගනය හැදෑරුවද?
රංගනය හැදෑරීමක් අවශ්‍යයි. එය සමාජයේ චරිත තුළින්, ගුරුවරයෙක් යටතේ හැදෑරීමක් වෙන්න පුළුවන්. මෙතැනදී මට මුලින්ම විශේෂ වුණේ මගේ තාත්තා. දීපාල් අපෝන්සු. ඔහු මාධ්‍ය ක්ෂේත්‍රයේ ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල කෙනෙක්. ඔහුගේ ආභාෂය හරහා ලැබුණු දේවල්, මම අත්දැකපු දේවල් මට පන්නරයක් වුණා. පසුව මම සෝමලතා සුබසිංහ මහත්මියගේ ‘ප්ලේ හවුස්’ එකට සම්බන්ධ වුණා. එතැනදී කෞෂල්‍යා ප්‍රනාන්දු, ප්‍රසන්න මහගමගේ, චන්දන අලුත්ගේ, මයුර පෙරේරා, නිලංක දහනායක වගේ ගුරුවරු යටතේ රංගනය හැදෑරීම කළා.
පසුකාලීනව ඔබව අගැයීමට ලක්වුණා නේද?
44 වැනි ජාතික යෞවන නාට්‍ය උළෙල 2025 කෙටි නාට්‍ය අංශයේ හොඳම නාට්‍යයට හිමි සම්මානය මගේ නාට්‍යයට හිමිවුණා. ‘ද ගෙස්ට්’. ඒ වගේම ඒ නාට්‍යය වෙනුවෙන් හොඳම නිෂ්පාදනය, හොඳම රචනය ඇතුළු සම්මාන රැසක් හිමිවුණා.
ඔබේ ආදරණීය පියාගේ නිර්මාණ සඳහා සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණේ නැද්ද?
තාත්තගේ නිර්මාණ කිහිපයකට මම සම්බන්ධ වුණා. ඔහුගේ නවතම ටෙලිනාට්‍යය ‘බලන් ඉන්න’ නාට්‍යයේ මම ප්‍රධාන චරිතය රඟපානවා. එය මට වෙනස්ම අත්දැකීමක් වුණා. එතැනදී මම දුව ලෙස නෙවෙයි, රංගන ශිල්පිනියක් ලෙසයි තාත්තා මාව තෝරාගත්තේ.
ඔබ සිනමා අධ්‍යක්ෂවරියක් වීමට සූදානම් වෙන බව ආරංචියි?
ඒක තමයි මගේ හීනය. ඒ වෙනුවෙන් තමයි මම පොඩි දේවල් කරමින් අත්දැකීම් ලබන්නේ. මේ වනවිට මම වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිනමා සහ රූපවාහිනී නිෂ්පාදන තාක්ෂණ උපාධිය හදාරමින් ඉන්නවා. අනාගතයේදී මගේ අතින් සිනමා නිර්මාණයක් එළිදක්වන්න බලාපොරොත්තුවක් තියෙනවා.
වසන්ත විතාරණගේ