මගෙන් පස්සේ මගේ උරුමය කුලසඳුට බාරයි -ජනක් ප්‍රේමලාල්

gossiplanka image 1
 


වර්ෂ 1984දී සිය පියා වූ සිරිසේන ප්‍රේමලාල් රචනා කළ ‘අබුද්දස්ස කෝලම‘ නාට්‍ය නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරමින් වේදිකා කලාවට පිවිසි සම්මානනීය, ප්‍රවීණ නාට්‍යවේදී ජනක් ප්‍රේමලාල් 1988 වසරේදී සිය දෙවැනි නාට්‍ය වේදිකා ගත කරන්නේ ‘රාජ කපුරු‘ ලෙසිනි. එහි ‘සුවඳ සබන් ඇඟ ගාලා‘ ගීතය පසු කලෙක ප්‍රසංග වේදිකාව, ගුවන්විදුලිය, රූපවාහිනිය ආක්‍රමණය කළත් අදටත් මේ ගීතය මේ නාට්‍යයෙන් දුරස්වී නැත. ඊට හේතුව මේ ගීතය ඇතුළත් ‘රාජ කපුරු‘ නාට්‍යය ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් අදටත් වේදිකාගත වීමය.


“1984 වසරේදී යෞවන නාට්‍ය උලෙළට ‘අබුද්දස්ස කෝලම‘ නාට්‍ය ඉදිරිපත් කළාම හොඳම රචනය, අධ්‍යක්ෂණය, නිළිය, නළුවා, සංගීතය, අංග රචනය, වේදිකා පසුතල නිර්මාණය කියන සම්මාන හතම හිමි වුණා. 1988 දී මම ‘රාජ කපුරු‘ නාට්‍ය කළා. ඒ නාට්‍යය රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසන් වටයට තේරිලා සම්මාන තුනක් ලැබුණා. මේ නාට්‍ය දෙකේම ආරම්භක ශිල්පීන් අඛණ්ඩව අදටත් එම චරිතම රඟපානවා. වයසින් වැඩි වීම චරිතවල ප්‍රාගුණ්‍ය වැඩිවීමට හේතු වෙලා තියෙනවා හැරෙන්නට මේ ශිල්පීන් වයසට ගිය බවක් නම් වේදිකාවේදී කාටවත්ම මෙතෙක් දැනිලා නැහැ. සමහර නාට්‍යවල ශිල්පීන් නොයෙකුත් හේතු මත අතරමඟදී නාට්‍ය දමා යනවා. මිය ගිය ශිල්පීන්, අසනීප වී ඔත්පල වූ ශිල්පීන්, විදේශගත වූ ශිල්පීන් හැර අනෙක් කිසිදු ශිල්පියෙක් මා එක්ක අමනාප වෙලා අතරමඟදී මගේ නාට්‍ය හෝ මාව හැර දමා ගිහින් නැහැ. වාදක මණ්ඩලයත් මංගල දර්ශනයේදී භාවිත කළ භාණ්ඩම වාදනය කරමින් අදටත් මගේ නාට්‍ය සමඟ බැඳී සිටිනවා. මම දන්න විදිහට නම් වසර හතළිස් දෙකක් එකම නාට්‍යයක, එකම චරිත සමඟ රැඳී සිටි වෙනත් නාට්‍යයක් ලංකාවේ නැහැ. ඒ බැඳීම මගේ නිර්මාණවල ශක්තියයි. මේ ශක්තිය අපි ඔක්කොම හොරණ නාට්‍ය කණ්ඩායම නිසයි. අපි හැමෝම හොරණ සහ හොරණ අවට පිරිසයි. අපේකම, ගමේකම අපි හැමෝටම තියෙනවා. මගේ නාට්‍යවල අඛණ්ඩතාවයට තවත් හේතුවක් වන්නේ නාට්‍යයේ සියලු දේ සිදු වන්නේ ඒ අවස්ථාවේදීම නැතහොත් සජීව ලෙසයි. පටිගත කළ ශබ්ද, පටිගත කළ සංගීත ගායන වාදන මගේ නාට්‍යවල නැහැ. වේදිකා නාට්‍යයක් නම් සජීවීව විය යුතුයි. ප්‍රේක්ෂකයින්ගේ විශ්වසනීයත්වය ආරක්ෂා වන්නේ එවිටයි. රසවත් බව පවතින්නේත් සජීව දේ තුළයි. නැටුමක්, ගැයුමක්, වැයුමක් වුණත් එහෙමයි. ඇස් දෙකෙන් ඒ මොහොතේ දකින අහන තරම් රසයක්, හැඟීමක් වෙන මාධ්‍යයකින් ගන්න බැහැ. කටහඬක් වුණත් මයික්‍රෆෝනයකින් ඇහෙනවාට වඩා සජීව ලෙස ඇහෙද්දී දැනෙන හැඟීම හරි වෙනස්. මොන තාක්ෂණය ආවත් ඒ හැඟීම් දෙන්න තාක්ෂණයට කවදාවත් බැහැ. කොතරම් බාධක ආවත් වේදිකා නාට්‍ය පවතින්නේ මේ සජීවී බව නිසයි.“


දක්ෂ නාට්‍ය පිටපත් රචකයකු සහ ගුරුවරයකු වූ සිරිසේන ප්‍රේමලාල් සහ ගුරුවරියක වූ දයා වීරක්කොඩි යුවළට දාව හොරණ කරන්නාගොඩදී උපත ලද ලොකුපතිරගේ ජනක් ප්‍රේමලාල් සිය මව උගන්වමින් සිටි ගෝවින්න කනිෂ්ට විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේය. එම කාලයේදීම ඔහුගේ පියා ගෝවින්න මහා විද්‍යාලයේ ගුරුවරයෙකු වශයෙන් කටයුතු කරමින් එම පාසලේ දරුවන් උදෙසා නාට්‍ය පුහුණු කිරීම් ආදියෙහි ද නියැළුණේය.


“ඒ කාලේ සෑම පාසල් නිවාඩුවක්ම ලබා දුන් දවසේ පාසල්වල විවිධ ප්‍රසංග පැවැත්වුණා. ඒක සංවිධානය කළේ මගේ තාත්තා. පාසලේ ළමයින්ට තාත්තා පොඩි පොඩි නාට්‍ය හදලා පුහුුණු කරවලා විවිධ ප්‍රසංගයට ඉදිරිපත් කළා. ළමයි නාට්‍ය, ගීත ගායනා, නැටුම්, කථිකත්වයන් ආදිය ඉදිරිපත් කරමින් තම කුසලතා එළි දක්වලා බොහොම සතුටින් පාසල් නිවාඩුවට පෙර දිනය ගත කළා. වර්තමානයේ පාසල්වල මේ තත්ත්වය නැහැ. අද පාසලක නිවාඩු දෙන දවසට, විභායක් අවසන් වන දවසට පොලිස් ආරක්ෂාව දෙන්නත් සිදුවී තිබෙනවා. ඒ දවස්වලට ළමයි හැසිරෙන ආකාරය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මේකට හේතුව ළමයින්ගෙන් කලාව, සෞන්දර්ය ඈත් කර දැමීමයි. ළමයින් තරගයකට ඇද දාලා මනස යන්ත්‍ර බවට පත් කරලා තියෙනවා. වැඩිහිටි පරපුර මේ පිළිබඳ වගකියන්න ඕනෑ. මගේ තාත්තා ගෝවින්න මහා විද්‍යාලයේ ළමයින්ට නාට්‍ය පුහුණු කරවනවා. ඒක බලන්න ගෝවින්න කනිෂ්ඨ විද්‍යාලයේ ඉදලා පාසල ඇරුණු ගමන් මම තාත්තාගේ පාසලට දුවගෙන යනවා.


කලාවේ තෝතැන්නක් වූ හොරණ ශ්‍රීපාලි විද්‍යාලයට පහේ පත්තියේදී ඇතුළත් වන ජනක්ගේ නාට්‍ය ආශාව තව තවත් වර්ධනය කරන්නටත්, එය පෝෂණය කරන්නටත් ශ්‍රීපාලි විද්‍යාලය හේතු සපයන්නට විය. මෙරට නාට්‍ය කලාවේ ප්‍රවීණයින් රැසක් ගුරුවරුන් ලෙස සිටි හොරණ විද්‍යාරත්න විද්‍යාලයට නව වැනි ශ්‍රේණිය සඳහා ඇතුළත් වූ ජනක්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වන්නේ හොරණ විද්‍යාරත්න විද්‍යාලය යි.


“ළමා නාට්‍ය කලාවේ පියා ලෙස සලකන චන්ද්‍රසේන දසනායකයන් ළමා නාට්‍ය සඳහා ළමයින් පුහුණු කළ පාසල හොරණ විද්‍යාරත්න විද්‍යාලය යි. ධර්මසිරි බණ්ඩාරනායක, හේමසිරි ලියනගේ, ඩග්ලස් සිරිවර්ධන, ලාල් කුලරත්ත වැනි ප්‍රවීණයින් අධ්‍යාපනය ලැබූ පාසල මෙය යි. ධර්මසිරි බණ්ඩාරනායකයන් සමඟ නාට්‍ය කළ ආරියපාල පතිරාජ මහතා ඒ වන විටත් පාසලේ ගුරුවරයෙකු ලෙස සිටියා. නාට්‍යයක් කරමු කියලා එතුමාගෙන් ඉල්ලීමක් කළ වෙලාවේ ‘ළමයින්ගෙන් නාට්‍ය කරන්න බැහැ, නාට්‍ය කරන්නේ නළුවෝයි‘ කියලා පාසලෙන් පස්සේ ඔහු නාට්‍ය පාසලක් පටන් ගත්තා. නාට්‍ය කරන හැටි ළමයින්ට ඉගැන්නුවා. පුහුණුවෙන් පස්සේ ළමයි නළුවෝ වුණා. පුහුණුව ලැබූ ළමයින් සම්බන්ධ කරගෙන ‘කතාවක් අතර හදියක්‘ කියලා නාට්‍යයක් ඔහු කළා. ඒ නාට්‍ය සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගත්තා. ප්‍රධාන චරිතය රඟපෑවේ මම. අතීතයේ පාසලට තිබුණු නාට්‍ය සම්බන්ධ ප්‍රසිද්ධිය මේ ජයග්‍රහණයත් සමඟ යළිත් පාසලට ලැබෙන්න පටන් ගත්තා. විද්‍යාරත්නෙන් අලුත් නළුවෙක් බිහිවෙලා කියලා ප්‍රසිද්ධ වුණා. ඒ වන විට මම උසස් පෙළ වාණිජ විෂය ධාරාවන් හදාරමින් සිටියා. උසස් පෙළ සමත් වෙලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව දේපළ පරිපාලනය සහ තක්සේරු විද්‍යාව සම්බන්ධයෙන් උපාධිය සම්පූර්ණ කරලා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරු නිලධාරියකු වශයෙන් රාජකාරි ජීවිතය ආරම්භ කළා. එයින් වසර දෙකක ඇවෑමෙන් ගුරු පත්වීමක් හදාගෙන මම උගත් හොරණ විද්‍යාරත්න විද්‍යාලයේම ආර්ථික විද්‍යා ගුරුවරයා බවට පත් වුණා. මගේ ගුරු ජීවිතයේ අති විශාල ගෝල පිරිසක් මට ඉන්නවා. වසර තිහක සක්‍රිය ගුරු ජීවිතයට සමු දීලා වයස අවුරුදු පනස් පහෙන් විශ්‍රාම අරන් සම්පූර්ණයෙන්ම මම නාට්‍ය කලාවට යොමු වුණා.“


මුල් නාට්‍ය දෙකෙන් පසුව ජනක් කළ ‘රජ ගහේ නාඩගම‘ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ ගාමිණි අම්බලන්ගොඩ රංගවේදියාගේ අභාවයත් සමඟ එම නාට්‍යයත්, මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියකට සම්බන්ධ ව කළ ‘සක්වළ කැලඹිලා‘ නාට්‍ය එම ව්‍යාපෘතිය අවසන නතර වුණි.


‘ආඬි හතයි කැඳ හැළියයි‘, ‘මේක අපේ ආණ්ඩුවක්‘ කියන නාට්‍ය දෙක වේදිකාගත කෙරෙනවා. මගේ කලා ජීවිතයට මේ වසරේ වසර පනහ සම්පූර්ණ වීම නිමිත්තෙන් ‘සත්තුන්ගේ උසාවියක්‘ නාට්‍යය පාසල් දරුවන් ඉලක්ක කරලා නිර්මාණය කළා. මේ වගේ නාට්‍ය බලන්න අද පාසල් දරුවෝ නැහැ. ඉගැන්වීම්වලට බාධා වෙනවා කියලා පාසල් වේලාවේදී දැන් පාසල්වල නාට්‍ය පෙන්වන්නේ නැහැ. පාසල තුළ ප්‍රවේශ පත්‍ර අලෙවි කරන්නත් බැහැ. පාසල ඇරුණු ගමන් සහ සති අන්ත දිනවලදී ළමයි අමතර පන්තිවලට දුවනවා. විෂයය නිර්දේශයට නාට්‍ය කලාව තිබුණත් ළමයින්ට නාට්‍යයක් බලන්න විදිහක් නැහැ. ඒ නිසා ප්‍රශ්නවලට උත්තර ලියන්න ඉගෙන ගෙන විභාගයට ලියලා, විද්‍යුත් තිරයක් මතින් ප්‍රශ්නවලට අදාළ වන නාට්‍ය කොටස පමණක් අවශ්‍ය නම් බලලා උත්තරය ලියලා ලකුණු රැස් කරවනවා හැරෙන්නට අද දරුවන්ට සුවදායී අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. පාසලේ ගුරුවරයා මුළු නාට්‍යයම ඉගැන්නුවත් ළමයාට ඕනේ ප්‍රශ්නෙට උත්තරය විතරයි. පහේ පන්තිවල ඉඳලා ළමයින් අද හුරු කරවලා තියෙන්නේ ඒ විදිහට යි. මේ නිසා ළමයි වෙනුවෙන් නාට්‍ය කළාට ඒ නාට්‍ය බලන්න ළමයි එන්නේ නැහැ.“


රටේ පවතින ආර්ථික, සමාජයීය හා ස්වාභාවික තත්ත්වයන්ට අමතරව පුද්ගල ජීවන රටාවේ නොයෙකුත් ඇබ්බැහිකම් සහ කාර්ය බහුලත්වයන් ද නාට්‍ය කලාවේ ප්‍රගමනයට බාධාවක් වී පවතී. 2019 පාස්කු ප්‍රහාරයේ පටන් ඊශ්‍රායල් ඉරාන යුද්ධය දක්වා ඇති වූ විවිධ බාධාවන් මිනිසා අත්‍යවශ්‍ය සේවාවන් ඉටු කර ගැනීම සඳහා පොළඹවන නමුත් නාට්‍ය නැරඹීම වැනි විනෝදාස්වාදයන් සඳහා මුදල් වියදම් කිරීම සීමා කර ඇත. මේ නිසා නාට්‍ය නිර්මාණකරුවන් තරමක අසීරු තත්ත්වයට පත්ව ඇත.


“අපේ රටේ නාට්‍යකරුවෝ තමන්ගේ නිර්මාණ කරන්නේ ස්වෝත්සාහයෙන් මිස ඒ සඳහා අනුග්‍රහ දක්වන්න කවුරුවත් නැහැ. ඉතාම අඩු මිලකට නාට්‍ය පෙන්වූ ලුම්බිණි රංග ශාලාව අද නාට්‍ය ප්‍රේක්ෂකයින් නොයන තැනක් බවට පත් වෙලා. වායු සමනය නොකළ ශාලාවලට යන්න අද ප්‍රේක්ෂකයින් කැමති නැහැ. එහෙම ශාලාවල ගාස්තුව නාට්‍ය නිෂ්පාදකවරුන්ට දරා ගන්න අමාරුයි. නාට්‍ය ප්‍රවේශ පත්‍රවල මිල වැඩි වුණාමත් ප්‍රේක්ෂකයින් නාට්‍ය බලන්න යන්නේ නැහැ. ඒ වගේම නාට්‍යයක් බලලා ගෙවල්වලට යන්න පොදු ප්‍රවාහන සේවාව සක්‍රිය නැහැ. රාත්‍රී කාලයේ ගමනේ යෙදෙන පිරිසක් නැති නිසා පාඩුවට බස් දුවන්නේ නැහැ. ඒ නිසා රෑ වෙද්දි බස් නැහැ. තමන්ගේ වාහනයක නාට්‍ය බලන්න එන අයට වාහන නවතා තබන්න ආරක්ෂිත ස්ථාන නැහැ. පාරක් අයිනේ වාහනය නවත්තලා ගිහින් නාට්‍ය බලලා එද්දි වාහනයේ කෑලි ගලවලා. මේ සියලු අර්බුද නිසා නාට්‍යකරුවන්, සිනමාකරුවන් තැළී පොඩිවී පීඩාවට පත්වී සිටිනවා. ශාලා ගාස්තු හෝ ශිල්පීන්ට ගෙවන්නට තරම් ප්‍රමාණවත් මුදලක් ඇතැම් දිනවලදී ප්‍රවේශපත් අලෙවියෙන් නොලැබුණත් නාට්‍යයක් අවසානයේ ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාරත්, පෞද්ගලික මුදලින් හෝ වියදම් පියවලා ශිල්පීන් සමඟ සතුටින් නි‍ෙවස කරා පැමිණෙද්දී ලබන මිත්‍රශීලී බවෙහි ආස්වාදයත් නිසා ඊළඟ දවසටත් අපි නාට්‍ය වේදිකාගත කරනවා.“


ජනක් රූපවාහිනි නාට්‍ය රංගනයට පිවිසෙන්නේ ‘හත්පණ‘ කතා මාලාවේ සුවඳාගේ චරිතයෙනි. පසුව ‘සිව් මංසල‘ නාට්‍යයේ උප ප්‍රධාන චරිතයක් රඟපෑ ඔහු ‘සඳගිරි පව්ව‘ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ය. ස්වයංජාත, කටු ඉඹුල, කරුවල ගෙදර, ගිරිකුළ යන ටෙලි නාට්‍යවල සිය රංග ප්‍රතිභාවට සිග්නීස්, සුමති, රයිගම්, රාජ්‍ය ආදි සම්මාන උලෙළවලදී ජනක් ප්‍රේමලාල් නම් වූ ප්‍රතිභාපූර්ණ රංගවේදියා වෙත හොඳම නළුවා ලෙසින් ටෙලි සම්මාන පිරිනැමිණි. 1993 දී විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ ‘ගුරු ගෙදර‘ චිත්‍රපටයෙන් ඇරඹි සිනමා රංගනය බහු භාර්යා, ඉන්ද්‍රඛීලය, සලෙලු වරම, සුවඳ දැනුනා ජීවිතේ, වස්සානයේ සෙනෙහස, ආලෝකෝ උදපාදි, කාල, නිදහසේ පියා ඩී. එස්, සුපර්ණා, තානාපතිලගේ ගෙදර, නිම් හිම් වැනි චිත්‍රපට ගණනාවක් ඔස්සේ චරිත රැසකට අවතීර්ණ වන්නට ඉඩ සලසා දී තිබුණි. මේ දිනවල ද ජාතික රූපවාහිනියේ විකාශය වන ‘වරකත‘ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපාමින් ජනක් ප්‍රේක්ෂකයින් වෙත සමීප වී සිටින්නේ ය. තවත් නාට්‍ය කිහිපයකම ඔහු මේ දිනවල සිටින අතර ඉදිරියේදී විකාශය වීමට නියමිත නාට්‍ය කිහිපයක ම රූගත කිරීම්වල නිරත ව සිටින්නේ ය.


“මගේ නිර්මාණවලින් මම අලුත් අය රංග කලාවට එක් කළා. මේ වෙද්දී මගේ මුණුපුරා කවිනු කුලසඳු මගේ නාට්‍යවල වාදක මණ්ඩලය සමඟ එක්ව සහාය වාදන ශිල්පියෙක් හැටියට සම්බන්ධ වෙනවා. එයා මගේ දුවගේ පුතා. එයාට දැන් වයස අවුරුදු දහතුනයි. කොළඹ ආනන්ද විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව හදාරනවා. එයා නිසා මම සීයා කෙනෙකුගේ ආඩම්බරය විඳිනවා. මගෙන් පස්සේ මගේ උරුමය කුලසඳුට බාරයි. මගේ පුතාත් විවාහකයි. එයා නම් ලංකාවේ නැහැ. එදා මෙදා තුර මගේ දිවියට යෝධ ශක්තියක් ගෙන දුන් ආදරණීය බිරිඳ අදටත් මගේ අම්මාවත්, තාත්තාවත් රැක බලා ගනිමින් ගෘහිණියගේ කාර්යයන් නොපිරිහෙලා ඉටු කරනවා. මගේ මල්ලි යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයෙක් හැටියට සේවය කරලා විශ්‍රාම අරන් දැන් හොරණ පෞද්ගලික ආයතනයක පරිපාලන කටයුතු කරන නිසා එයාත් කාර්ය බහුලයි. මල්ලිගේ බිරිඳයි, මගේ බිරිඳයි මගේ අම්මා, තාත්තා බලා ගන්නවා. අම්මාටයි, තාත්තාටයි වයස අවුරුදු අනූ හතයි. දෙදෙනා ම හොඳ සනීපෙන් සහ සතුටින් ඉන්නවා. එයාලා ගුරුවරු හැටියට පාසල් දරුවන් වෙනුවෙන් කළ අවංක සේවාව නීරෝගිමත් සහ ප්‍රීතිමත් විශ්‍රාම දිවියට හේතු වෙලා තියෙනවා. අපි කරන හොඳ නරක අපට ම ආපසු අයිති වන බව ඒ දෙන්නා අපට ආදර්ශයෙන් පෙන්වා දෙනවා.“

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post