ලෝකයේ තාක්ෂණික දැවැන්තයාගේ කතාවේ අලුත්ම පරිච්ඡේදය ආරම්භ වෙමින් පවතී; ඒ, දශක එකහමාරක් තිස්සේ ඇපල් සමාගම මෙහෙයවූ දැවැන්ත හස්තය සිය පාලන බලය නව පරපුරකට භාරදීමට තීරණය කිරීමත් සමඟිනි.
වසර පහළොවක අසමසම නායකත්වයකින් පසු, 65 හැවිරිදි ටිම් කුක් ලබන සැප්තැම්බර් 01 වැනිදා ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) ධුරයෙන් සමුගැනීමට නියමිතය. ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස එම පුටුවට පැමිණෙන්නේ 2021 වසරේ සිට සමාගමේ දෘඩාංග ඉංජිනේරු අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ 50 හැවිරිදි ජෝන් ටර්නස් ය. කෙසේ වෙතත් ටිම් කුක් සමාගමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් නොවන අතර, ඔහු ඇපල් හි විධායක සභාපතිවරයා (Executive Chairman) ලෙස නව භූමිකාවකට පිවිසෙනු ඇත.
නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්වන ජෝන් ටර්නස් යනු ඇපල් සමාගමට කිසිසේත්ම ආගන්තුකයෙකු නොවේ. පසුගිය වසර විසිපහ පුරාවටම සමාගමේ නිෂ්පාදන සංවර්ධන අංශයේ සිටිමින් නිහඬ පෙරළියක් කළ ඔහු, අතිශය ජනප්‍රිය වූ 'ඇපල් එයාර්' වැනි නවීන උපාංග නිර්මාණය කිරීමේ පිටුපස සිටි ප්‍රධාන මොළකරුවෙකු ලෙස සැලකේ. මෙතෙක් තිරයෙන් පිටුපස සිටි මේ නිහඬ දක්ෂයාට, දැන් ලෝකයේ වටිනාම සමාගමේ අනාගතය තීරණය කිරීමේ අතිමහත් වගකීමක් පැවරී තිබේ.
ටිම් කුක් සිය පාලන සමය තුළ ඇපල් සමාගම රැගෙන ගිය ගමන හුදෙක් ව්‍යාපාරික ජයග්‍රහණයක් පමණක් නොව, එය ඉතිහාසගත ආශ්චර්යයකි. 2011 දී ඩොලර් බිලියන 350ක්ව තිබූ ඇපල් සමාගමේ වෙළෙඳපොළ වටිනාකම, ඔහුගේ දැක්ම යටතේ ඩොලර් ට්‍රිලියන 4 දක්වා අදහාගත නොහැකි ලෙස වර්ධනය විය. එය සියයට දහසකටත් වඩා වැඩි අතිවිශාල වර්ධනයකි. එමෙන්ම, 2011 වසරේදී ඩොලර් බිලියන 108ක් වූ සමාගමේ ආදායම 2025 වන විට ඩොලර් බිලියන 416ක් දක්වා ඉහළ ගිය අතර, ලොව පුරා ඇපල් අලෙවිසැල් සංඛ්‍යාව ද 500 සීමාව පසු කළේය. මේ දැවැන්ත සාර්ථකත්වය වෙනුවෙන් පසුගිය වසරේදී පමණක් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කුක් වෙත ඩොලර් මිලියන 74.6ක, එනම් රුපියල් කෝටි 600කට අධික වේතනයක් හිමිවිය.
නව විධායක සභාපතිවරයා ලෙස ටිම් කුක් මින් ඉදිරියට ලොව පුරා විවිධ රටවල රාජ්‍ය නායකයන් සහ ආණ්ඩු සමඟ ඇපල් සමාගමේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ තීරණාත්මක මෙහෙයුමට නායකත්වය දෙනු ඇත. මෙම පරිපාලනමය වෙනසත් සමඟින් ටර්නස්ගෙන් හිස්වන දෘඩාංග ඉංජිනේරු අංශයේ ප්‍රධානියා ලෙස ඔහුගේ නියෝජ්‍ය නිලධාරියා වූ ටොම් මාරියේබ් පත්වන අතර, නව ප්‍රධාන දෘඩාංග නිලධාරියා (Chief Hardware Officer) ලෙස ජොනී ශ්‍රූජි පත් කර තිබේ.
සියල්ල මෙලෙස පෙළගැසෙද්දී මතුවන ප්‍රධානතම ගැටලුව වන්නේ, ටිම් කුක් විසින් ගොඩනැගූ මේ ඩොලර් ට්‍රිලියන 4ක දැවැන්ත අධිරාජ්‍යයේ බර දරාගැනීමට ජෝන් ටර්නස්ට හැකිවේද යන්නයි. නව නායකත්වය යටතේ ඇපල් සමාගම තවදුරටත් ලෝකයේ නවෝත්පාදනයේ කිරුළ දරා සිටීවිද, නැතහොත් මේ දැවැන්ත පාලන වෙනස ඔවුන්ගේ අනාගත ගමනාන්තය මුළුමනින්ම වෙනස් කරාවිද යන්න කාලය විසින් ලෝකයටම තහවුරු කරනු ඇත.