මේ දිනවල ඇය අපට හමුවන්නේ ජාතික රූපවාහිනියෙන් විකාශය වන වරකත ටෙලි නාට්‍යයේ මහගල වලව්වේ ලොකු මැණිකේ ලෙස සහ හිරු නාලිකාවෙන් විකාශය වන රොන් සොයා ටෙලි නාට්‍යයේ රමනී ලෙස. තම රංග ප්‍රතිභාවෙන් රසික සිත් සතුටින් සැනසූ රංගන ශිල්පිනියක මෙන්ම නර්තන ශිල්පිනියක ලෙසද ඔබගේ ආදරය දිනා සිටින ඇය නමින් නිරෝෂා තලගල මහගල වලව්වේ ලොකු දුව තෘප්තිමත් බවින් හඬ අවදි කළා...
‘‘වරකත හි මගේ චරිතය ලොකු මැණිකේ එහෙමත් නැතිනම් මහගල වලව්වේ ලොකු දුවයි. මම හරිම ආසාවෙන් කළ තවත් එක චරිතයක්. කියන්න තේරෙන්නෙ නැති කියන්න අපහසු ලොකූ හැඟීම් ගොඩකට මැදි වුණ කෙනෙක්. පවුලේ සියලු වගකීම තමාගේ හිසමතට ගෙන සරලවම කිව්වත් තමන් කියන කෙනා අමතක කරලා වලව්ව වෙනුවෙන්, වලව් පෙළපත් අභිමානය වෙනුවෙන්, තමන්ගේ පරම්පරාව වෙනුවෙන්, තත්තා, නංගිලා වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළ ආදරණීය අක්කා කෙනෙක්. මේ කතාව ඉදිරියට නරඹර විට ඔබට දැනේවි ලොකු වේදනාවක් හිතේ දරාගෙන ජීවිතයට මුහුණ දෙන වෙනස් වූ චරිතයක් කියලා. මම ඒ චරිතය කරන්නේ හරිම ආදරයෙන්. මගේ ජීවිතයේදි මෙතෙක් කළ චරිත දෙස බලද්දි හැඟීම් දනවන හරිම එඩිතර කාන්තාවකගේ චරිතයක් තමයි මම නිරූපණය කරන්නේ. ඒ චරිතයට ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබෙන නිසා හරිම සතුටුයි.’’
මෙතරම් ප්‍රතිචාර ලබමින් සාර්ථක රංගනයක නිරත වන මහගල වලව්වේ ලොකු මැණිකේගේ චරිතය සඳහා අවස්ථාව ලබාදුන් වරකත ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා පිළිබඳ කතා කිරීමටද ඇය මෙය අවස්ථාවක් කර ගත්තාය.
‘‘මෙම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා ගැන කියන්න ටිකක් නොවෙයි ගොඩාක් දේවල් තියෙනවා. පළමුව මම ස්තුතිවන්ත වෙනවා මෙහි අධ්‍යක්ෂවරයා මිහිර සිරිතිලක අයියට මාව මේ චරිතයට තෝරා ගත්තට. මිහිර අයියා කියන්නේ මට සහෝදරයෙක්. ඔහුගේ මෙම නාට්‍ය නිසා මිහිර සිරිතිලක කියන කලාකරුවා මොන විදියේ කෙනෙක්ද කියලා ප්‍රේක්ෂකයා හඳුනා ගත්තා. මෙතෙක් මිහිර අයියා ඔබ අපි හැමදෙනාම හඳුනාගෙන සිටියේ ප්‍රහසන නළුවෙක් ලෙසයි ඔහු ඊටත් එහා ගිය හොඳ පද්‍ය හා ගද්‍ය රචකයෙක්. ඒ සියල්ලටම වඩා පිටපත් රචකයෙක් අධ්‍යක්ෂවරයෙක් ලෙසත් ප්‍රේක්ෂකයනට හඳුනා ගන්න පුළුවන් වුණා.’’
වරකත ටෙලි නාට්‍යයට අමතරව මේ දිනවල විකාශය වන අනෙක් නිර්මාණ ගැන පැවසීමටද ඇය අමතක නොකළාය.
‘‘මේ දිනවල විකාශය වන වරකත ටෙලි නාට්‍යයට අමතරව රොන් සොයා හිරු නාලිකාවේ විකාශය වන ටෙලි නාට්‍යයේ රමනි කියලා ටිකක් හාස්‍යට බර ජීවිතය පිළිබඳ බරක්පතලක් නැති සැහැල්ලුවෙන් ජීවත් වෙන ගැහැනියකගේ චරිතයක් නිරූපණය කරනවා. ඒ සඳහාත් ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා. මම ඉන්න ටෙලි නාට්‍යය මේ දිනවල විකාශය වෙන්නේ එපමණයි. ඊට අමතරව අලුත් නිර්මාණ වගේම භාගයට ඉවර කළ නිර්මාණ රැසක් තිබෙනවා. ඒ වගේම චිත්‍රපට කිහිපයකත් වැඩ ඉවර කළා.’’
නිතර නිර්මාණයන් තුළින් දක්නට නොලැබෙන්නේ චරිත තෝරා බේරා ගැනීම් කරන නිසාද අපි ඇසූ පැනයට ඇය ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.
‘‘නිතරම ටෙලි නාට්‍යවල පේන්න නැහැ කියල එකකුත් නැහැ. ඒ වුණාට තෝරා බේරා ගැනීමක් නම් කරනවා. මට සුදුසු මට ගැළපෙන සහ මට කරන්න පුළුවන් චරිත පමණයි භාර ගන්නේ. එහිදී මෙගා නාට්‍යද, නාට්‍යයේ ප්‍රධාන චරිතයද කියලා මම බලන්නේ නැහැ’’
රංගන ශිල්පිනියක් ලෙස ආරම්භයේ ලැබූ ජනප්‍රියත්වය මේ වන විටත් තබා ගැනීම පිළිබඳව ඇයට තිබුණේ මෙවන් කතිකාවතක්.
එදා වගේම අදත් එක ලෙස ජනප්‍රියත්වයට රඳවා ගැනීමේ විශේෂ රහසක් නම් නැහැ. මම තෝරා ගන්නේ මට කළ හැකි චරිත පමණයි. එවිට එම චරිතයට මගෙන් උපරිම සාධාරණයක් වෙනවා. මේ කාලය තුළ මම දායක වුණ නිර්මාණවල ප්‍රධාන චරිතයද මෙගා නාට්‍යද, කෙටි නාට්‍යද, සහාය චරිතයද, අප්‍රධාන චරිතයද කියල මට අඳාළ නැහැ. චරිතයක් විදියට මට යමක් කරන්න තිබෙනවද. එය මම කරනවා. 2008 තමයි මගේ රංගන ජීවිතයේ අරම්භය සටහන් වෙන්නේ. එදා සිට මේ වනතෙක් මම කළ බිසෝ කුමාරිහාමි, දේවි වැනි චරිත තුළින් නිරෝෂා තලගල අභිබවා රසික මනසට ආමන්ත්‍රණය කරන්න මට හැකි වුණා. එහෙම කළ නිසා තමයි කලක් නිහඬ වෙලා ඉඳලා නැවත ක්ෂේත්‍රයට ආවමත් රසිකයන් මාව ආදරයෙන් පිළිගත්තෙ.’’
‘‘මම මේ ක්ෂේත්‍රයට එන්නේ නර්තන ශිල්පිනියක් ලෙස. ඊට පසුව තමයි රංගන ශිල්පිනියක් වෙන්නෙ. ඒ සිදුවීම සිදුවෙන්නේ නිරායාසයෙන්මයි. රංගන ශිල්පිනියක් ලෙස ඉදිරි ගමනක් නොදැකපු මට මගේ දක්ෂතා දැකලා වෙළෙඳ දැන්වීමකට යොමු කරනවා. මට ඒ අවස්ථාව උදා කරල දුන්නේ මගේ ගුරුතුමිය. ඒ වෙළෙඳ දැන්වීම නිසා මම රංගන ශිල්පිනියක් වුණා. අහම්බෙන් රංගනයට ආවට මේ ගමන් මාර්ගයේ ටික දුරක් යද්දි අත්තට මට ආස හිතුණා .එහෙම වුණාට ජනප්‍රිය වෙන්න ආසාවක් මගේ හිතේ තිබුණේ නැහැ. හැබැයි විවිධ විවිධ චරිත තුළින් දක්ෂ වගේම වෙනස් රංගන ශිල්පිනියක් යන ගෞරවය ලබන්න මට ආස හිතුණා.’’
එක රැයෙන් ජනප්‍රිය වෙන්න බොහෝ දෙනා උත්සාහ කරද්දි නිරෝෂා බොහොම සෙමින් පැමිණි ගමන පිළිබඳ මතකය මෙසේ අවදි කළාය...
‘‘දැන් අලුතෙන් එන අයට ඕන වැඩේ හරියට කරන්න නොවෙයි, ප්‍රසිද්ධ වෙන්නයි. ඒ වුණාට අපේ කාලයේ ආව මම ඇතුළු බොහෝ රංගන ශිල්පිනියන්ට තිබුණේ කලාව තුළ ගමනක් යාමේ අවශ්‍යතාවයි. ඒක තමයි අපි සහ නවක පරපුර අතර වෙනස.සෙමින් සෙමින් ඒ විදියට ආව ගමනේ සතුට ආදරය ගෞරවය මම මේ වෙනකොට භුක්ති විඳිනවා.
මගේ මුළු ජීවිතයම මගේ දුව ඖව්දි අනුරංගනා. එයාගෙ අධ්‍යාපන කටයුතුවලට උදව් වෙමින් මගේ කලා කටයුතුත් සාර්ථක කර ගැනීම සඳහා මම මහන්සි වෙනවා. මගේ ලොකුම හීනය මගේ දරුවාගේ ජයග්‍රහණය’’ යැයි මේ කතාබහ අවසානයේ ඇය පවසා සිටියා.