රංගනයෙන් සිනමාවට වටිනාකමක් දීම මිළග බලාපොරොත්තුවයි -චතුරංග කොඩිතුවක්කු

gossiplanka image 1
 ඕනෑම ක්ෂේත්‍රයක දක්ෂයන්ට ඒ ක්ෂේත්‍රයේ තවත් ඉදිරියටම යන්න ලැඛෙන හොඳ උත්තේජනයක් විදිහට තමන්ට ලැඛෙන ඇගයීම් දැනෙන්න පුළුවන්. කලාව ඇතුළේත් ඒ වගේ දක්ෂයන් ඇගයෙන විවිධ අවස්ථා තියෙනවා. පසුගිය දිනෙක කලාකරුවන්ට ලොකු ආලෝකයක් එකතු වුණු සම්මාන රාත්‍රියක් පැවැත්වුණා. මෙවර සදැල්ලෙන් අප සමඟ කතා බහට එක් වූයේ එම රාත්‍රියේ වර්ණ ගැන්වුණු තවත් තරුණ කලා තරුවකි. ඔහු වසරේ ජනප්‍රියම නළුවා ලෙස රයිගම් ටෙලි සම්මානයට හිමිකම් කියූ චතුරංග කොඩිතුවක්කුයි.


ලාංකීය ටෙලි තිරය ඇතුළේ විවිධ දක්ෂතාවන්ගෙන් පුර්ණ වූ යහමින් හැඩරුව ඇති තරුණ රංගන ශිල්පීන් බොහොමයකි. ඒ අතරින් ජනප්‍රියම තලයෙහි ඉඩක් වෙන්කරවා ගැනීම පහසු නැත. නමුත් චතුරංග අද වන විට ඒ අපහසු ඉලක්කය ඉහළින්ම ජයගෙන සිටියි. ඒ සතුට වචන කරමින්ම කතා බහ ඇරඹිණ.

"ලබාගත් ජයග්‍රහණය ගැන ගොඩක් සතුටුයි. මේ සම්මානය ජනතා ජූයෙන් මට ලැබුණු දෙයක්. ඒ නිසා මට ඒක විශේෂ ජයග්‍රහණයක් වගේම ලොකු වටිනාකමක් තියෙන සම්මානයක්. ඕනෑම නළුවෙකුට, නිළියකට වගේම ඕනෑම කලාවක නියුතු වූවෙකුට ඒ කලාව ඇතුළේ වටිනාම දේ තමයි කලාකරුවට ලැබෙන ආදරේ. ඉතින් රයිගම් වගේ කලාකරුවන් ඇගයෙන ලොකු සම්මාන රාත්‍රියක ප්‍රේක්ෂකයන්ගේ වැඩිම මනාපය ඇතිව ජනප්‍රියම නළුවා වෙන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම නිහතමානී ආඩම්බරයක් දැනෙනවා."


 ක්ෂේත්‍රයට ඔබ තරමක නවකයෙක්. වෙනදාට මේ සම්මානවලට හිමිකම් කියූ බොහෝ දෙනා ක්ෂේත්‍රයේ බොහෝ පළපුරුද්ද ලත් අයයි. ඒ හැමෝම අභිබවා මේ ජයග්‍රහණයට එන්න ඔබට හැකිවීම ලොකු අවස්ථාවක් නේද?


"මම මේ ක්ෂේත්‍රයට ඇවිත් වසර 06ක් විතර වෙනවා. ඒ වසර ගණනාව ඇතුළේ ලැබුණු අත්දැකීම් එක්ක, මගේ දක්ෂතා තවත් දියුණු කරගනිමින් උනන්දුවෙන්, උත්සාහයෙන් ඉදිරියට ගොඩ නඟාගත්ත ගමනක් තමයි කලාව ඇතුළේ මට තියෙන්නේ. ඒ වගේම තමයි මට ගොඩක් හොඳ වෙනස් වෙනස් නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මම විශ්වාස කරනවා ඒ හැම දේමත් එක්ක තමයි මම මේ තැනට එන්න ඇත්තේ කියලා. ඉතින් කලාවට පිවිසිලා වසර හයක් වගේ කෙටි කාලයක් ඇතුළත මේ වගේ සම්මානයක් හිමිකර ගන්න අවස්ථාව ලැබීම ගැන සතුටුයි."


මේ ගමනට හයිය වුණු ලොකු පිරිසක් ඔබ වටා ඇති,


"මගේම සහෝදර සහෝදරියෝ වගේ මට හයිය වුණු ලොකු පිරිසක් ඉන්නවා. ඒ හැමෝගෙන්ම ලොකු ආදරයක් ලැබෙනවා. මම හැමදාම හිතනවා ඒ වගේ පිරිසක් ලබන්න මම හරිම වාසනාවන්තයි කියලා. ගමනට බාධා කරන පිරිසක් නැතිව ගමනට හයියක් වුණු යාළුවෝ පිරිසක් ඉන්න නිසා කලා ජීවිතේටත් ලොකු එළියක් ලැබෙනවා."


 චතුරංග මේ දිනවල සම්බන්ධ වෙලා ඉන්න නිර්මාණ ගැන වගේම ඉදිරි කලා කටයුතු ගැනත් මම විමසීමි.


"මේ වෙනකොට විකාශනය වන ජහුටා, රොන් සොයා වගේ ටෙලි නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙලා වැඩ කරන නිසා පුංචි තිරය පැත්තෙන් කාර්ය බහුලයි. ඒ වගේම මේ වෙනකොට සිනමා නිර්මාණ කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. සම්මානය ලැබීමත් එක්ක ඒ ආරාධනාවල වැඩි වීමක් තියෙනවා. මේ වසරේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක ඉදිරියේදී තෝරාගත් නිර්මාණ කිහිපයකට විතරයි සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ."


රයිගම් සම්මාන උලෙළේ සම්මානනීය වූ පළමු අවස්ථාව මෙය වුවත්, ඔහු මෙම වසරේ මුල් කාලයේදීත් වෙනත් සම්මාම රාත්‍රීන් කිහිපයකම ජයග්‍රහණ හිමි කරගෙන තියෙනවා. මේ ජයග්‍රහණය චතුරංග දකින්නේ ඔහු නිරූපණය කළ හැම නිර්මාණයකටම ආදරය කළ පිරිසගෙන් ලැබුණු ආදරයක් විදිහටයි,


"සම්මානය සඳහා නිර්දේශ වෙන්නේ ජහුටා ටෙලි නිර්මාණය එක්ක වුණත්, මගේ අනික් චරිතවලටත් ආදරය කරපු ලොකු ප්‍රේක්ෂක පිරිසක් සිටි නිසා ඒ හැමෝගෙම ආදරය එක්ක මේ සම්මානය ලැබෙන්න ඇති."


තම ඉදිරි බලාපොරොත්තු හැමදේම කලාව සමග ගොඩ නැගුණු දේවල් බව කතාබහ අවසන් කරමින් ඔහු අප හා පැවසුවා.



රංගන ක්ෂේත්‍රයෙන්ම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. අපේ ප්‍රේක්ෂකයන්ට හොඳ රසවින්දනයක් ලබා දෙන්න, ලංකාවේ සිනමාවට රංගනයෙන් හොඳ වටිනාකමක් දෙන බලාපොරොත්තුවයි මට තියෙන්නේ."


දුලක්ෂි ලියනගේ

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post