වීදුරුතිර වගේ නිර්මාණයක් ආයෙ බිහි වෙන්නෙත් නැතිවේවි- චතුරංග කොඩිතුවක්කු

gossiplanka image 1
 

චතුරංග කොඩිතුවක්කු මේ දිනවල පුංචි තිරයේ නිතර දකින්න ලැබෙන චරිතයකි. වීදුරුතිර ටෙලි නිර්මාණයේ ආන්දෝලනාත්මක චරිතයක් නිරූපණය කරමින් සමාජයේ දැඩිව කතාබහට ලක්වුණු ඔහු පසුගියදා පැවැති රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රියේ ජනතා ආදරය ඉහළින්ම දිනාගත් රංගන ශිල්පියා ලෙස සම්මානිත විය. මෑතකදී විකාශය ඇරැඹුණු KNOCK OUT ටෙලි නිර්මාණයේ බොක්සිං ක්‍රීඩකයකු ලෙස මෙන්ම රොන් සොයාහි සල්ලිකාර ව්‍යාපාරික පුතා ලෙසද ඔබ හමුවට එන ඔහු ජනප්‍රියම ටෙලි නිර්මාණය බවට පත්වුණු ජහුටාහි හංසයාය. අද අපේ කතාබහ ඔහු සමඟිනි.


මෙවර රයිගම් ටෙලීස් සම්මාන උලෙළේ ජනප්‍රියම නළුවා ඔබ. ප්‍රථමවරට ඔබ ලැබූ ඒ අත්දැකීම කොහොමද?


ඇත්තටම මට ගොඩක් සතුටුයි වගේම නිහතමානී ආඩම්බරයක් දැනෙනවා. ජනප්‍රියම සම්මානය කියන්නේ ප්‍රේක්ෂක ආදරය. මට මේ ජයග්‍රහණය ලබා දුන්නේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්. පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල ඔවුන්ගේ ආදරය කොතරම්ද කියන එක මං දැක්කා. සජීවීව හමුවුණ වෙලාවලත් ඒ වගේම ආදරයක් ලැබුණා. ඒ වෙනුවෙන් මං මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට වගේම මාව දායක කරගත් නිර්මාණ අධ්‍යක්ෂවරුන්ට සහ සහෝදර රංගන ශිල්පීන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.


ජයග්‍රහණයට හේතු වෙන්න ඇත්තෙ මොන භූමිකාව කියලද ඔබට හිතෙන්නෙ?


එක චරිතයක් කියලා එහෙමම කියන්නත් අමාරුයි. චරිත ගණනාවක්ම විකාශය වුණා. විශේෂයෙන්ම වීදුරුතිර ටෙලි නිර්මාණය ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වුණා. ඒ වගේම දැනට විකාශය වන ටෙලිනාට්‍ය චරිතත් ඊට හේතුවෙන්න ඇති කියලා හිතනවා.


ජහුටා කියන්නෙ ඔබට සුවිශේෂී අත්දැකීමක්. දුශේනියි ඔබයි හමුවන පළමු අවස්ථාව නේද?


ජහුටා කියන්නේ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයක්. ඔහුත් එක්ක වැඩකරන්න ලැබෙනවා කියන්නෙම ලොකු අත්දැකීමක්. ජහුටා ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගිය නිර්මාණයක් වගේම දුශේනියි මායි එකට රංගනයෙන් දායක වන පළමු අවස්ථාව. දුශේනි කියන්නෙත් ඉතාම දක්ෂ රංගන ශිල්පිනියක්. හංසයා කියන චරිතය සාර්ථක කරගන්න ඇයගෙන් ලැබුණු සහයත් අතිවිශාලයි. අපි දෙන්නා වගේම ජහුටා නාට්‍යත් එදා ජනප්‍රියම සම්මානයෙන් පිදුම් ලැබුවා. මේ සතුට අධ්‍යක්ෂවරයා ඇතුළු මුළු කණ්ඩායමේම කැපවීමේ ප්‍රතිඵලයක් කිවුවොත් හරි.


වීදුරුතිර නිමාවට පත්වුණත් අදටත් බොහෝ දෙනාගේ කතාබහට ලක්වන ටෙලි නිර්මාණයක්. ඒ ගැන මොකද හිතෙන්නේ?


ඔව්. වීදුරුතිර සමාජයේ ලොකු කථිකාවතක් නිර්මාණය වුණු ආන්දෝලනාත්මක ටෙලි නිර්මාණයක් බවට පත්වුණා. ඒ වගේ නිර්මාණයක් නම් ආයෙ බිහි වෙන්නෙත් නැතිවේවි. විකාශයෙන් පසුවත් මා වටා අතිවිශාල ප්‍රේක්ෂක පිරිසක් එකතු වුණා. ආදරයට වගේම දෝෂාරෝපණයටත් ලක් වුණා. බැණුම් අහපු අවස්ථා ඕනතරම් තිබුණා. එය බොහෝ දෙනෙකුගේ හදවතට කතා කරපු මාතෘකාවක් බවට පත්වුණා කිවුවත් හරි. වීදුරු තිර කණ්ඩායම ගත් උත්සාහය සාර්ථක වුණා කියලයි මං හිතන්නේ.


විකාශය ඇරඹුණු KNOCK OUT ගැන මොකද හිතෙන්නේ?


KNOCK OUT කියන්නේ මෑතකදී දකින්න නොලැබුණු වර්ගයේ ටෙලි නිර්මාණයක් කිව්වත් හරි. ඒ ගැන වැඩිදුර කතා නොකර මං කැමැතියි ඒ ගැන කතාකරන්න ප්‍රේක්ෂකයන්ටම භාර දෙන්න.


වැඩිපුරම ප්‍රතිචාර ලැබුණු චරිතය මොකක්ද කියලා ඇහුවොත්?


වීදුරු තිර සචිත්‍රට තමයි වැඩිපුරම ප්‍රතිචාර ලැබුණේ ඒ වගේම ජහුටාහි හංසයා සහ රොන් සොයාහි ආදේශ්. ඒ චරිත තුන තමයි මට හිතෙන විදිහට වැඩිපුරම ආදරය ලබපු චරිත. ඒ වගේම මං මුලින්ම දායක වුණු හදවතේ කතාවක් ටෙලි නිර්මාණයේ නිමේෂ් කියන්නෙත් ඒ වගේම ප්‍රේක්ෂක ආදරයක් ලැබුණු චරිතයක්.


ප්‍රේක්ෂකයන්ට නිතරම ඇස ගැටීම රංගන ශිල්පියකුට අවාසියක් නොවේද?


ඒක මං දකින්නෙ මෙහෙමයි. සාර්ථක නිර්මාණ ලැබුණෙ නැතොත් නම් නිතර දකින්න ලැබීම අවාසියක් වේවි. ඒත් සාර්ථක නිර්මාණවලට දායක වෙන්න අවස්ථා ලැබුණොත් නම් මං හිතන්නෙ නෑ අවාසියක් වේවි කියලා. මොකද ප්‍රේක්ෂකයන් හරි ආසයි අපිව දකින්න. මේ දිනවල මගේ නාට්‍ය පහක් විකාශය වෙනවා. ඒ පහම බලන අයත් ඉන්නවා. හැම චරිතයකටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මට නම් තාම එහෙම අවාසියක් වෙලා නැහැ. නමුත් ඉදිරි කාලෙදි නම් මට ටෙලිනාට්‍ය ප්‍රමාණය සීමා කරන්න වේවි.


සිනමාවේ ඔබේ දායකත්වය කොහොමද?


මේ වෙද්දි සිනමාවටත් ආරාධනා ලැබිල තියෙනවා. නමුත් ඒව තාම පටන්අරන් නැහැ. ලබන අවුරුද්දේ වගේ සිනමාවටත් පය තියන්න හැකියාව ලැබේවි කියල මං හිතනවා.


දැන් නම් කොහොමත් තරුණියන්ගෙන් ගැලවීමක් නැතුව ඇති. ආදරයට ඉඩක් තියේද?


තරුණියන්ගෙන් විතරක් නෙවෙයි භේදයක් නැතුව හැමෝගෙන්ම වගේ නොඅඩුව ආදරය ලැබෙනවා. ඒකට මං ගොඩක් සතුටුයි. ආදරයටත් ජීවිතේ ඉඩක් තියෙනවා. නැත්තෙ නැහැ. හරි කෙනෙක් හමුවුණොත් මාත් ආදරය කරාවි. එහෙම නැති වුණොත් ආදරයට කොමාවක් තියලා මං මගේ ඉදිරි වැඩකටයුතු කරගෙන යාවි.


පහුගිය දිනවල ඔබ ජපානයේ සංචාරයකත් නිරත වුණා. ඒ ගැනත් තොරතුරු කියමුද?‍


ජපානයේ ගියේ නම් අවුරුදු කුමරා කුමරිය තරගයක විනිශ්චය මණ්ඩලය සඳහා සහභාගි වීමට ලැබුණු ආරාධනයකට. හේමාල් රණසිංහ, දිනක්ෂි ප්‍රියසාද්, තරින්දි ප්‍රනාන්දුත් ඒ සංචාරයට සහභාගි වුණා. ඒක හරිම ලස්සන වැඩක්. ඒ වගේම ජපානය කියන්නේ මං යන්න ආසම හරිම සුන්දර රටක්. ඒක මගේ එක හීනයක්. මේ අවස්ථාවේ ඒ හීනයත් සැබෑ වුණා. ඒකටත් මට ගොඩක් සතුටුයි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post