ලංකාවම හිනස්සන්න ප්‍රියා ඕං එනවා -ප්‍රියන්ත සෙනෙවිරත්න

gossiplanka image 1
 

වේදිකාව, පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ අපූරු රංගන ප්‍රතිභාවෙන් වර්ණවත් කරපු ඔහු, මේ දවස්වල කාගෙත් කතාබහට ලක්වෙන කාර්යබහුලම චරිතයක්. මේ දිනවල අතිසාර්ථකව තිරගත වෙන ‘වයිෆ්‘ චිත්‍රපටයෙන් ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දිනාගන්නා අතරේම, එළඹෙන අප්‍රේල් 17 වැනිදා ඉඳන් ‘සාජන් පුංචිසෝම‘ හරහා මුළු ලංකාවම හිනස්සන්නයි මේ සූදානම. ප්‍රියන්ත සෙනෙවිරත්න නම් ඒ අපූරු කලාකරුවාගේ අලු‍ත්ම වැඩකටයුතු වගේම, හැමෝම නොදන්න ජීවිතේ රස කතාත් එක්ක ‘හාට්’ අපේ කතාබහට ඔහුව එකතු කරගත්තා


ඉතිං ප්‍රියන්ත කොහොමද මේ ටිකේ වැඩ කටයුතු?

අවුරුදු කාලේ නිසා ඒ උත්සවවලට සහභාගි වෙනවා. මං රංගනයෙන් දායක වුණු ‘වයිෆ්’ චිත්‍රපටය සාර්ථකව තිරගත වෙනවා. ඒකේ ප්‍රවර්ධන කටයුතුවලට සහභාගි වෙනවා.

වේදිකාවෙන් දැන් ටිකක් ඈත් වෙලා වගෙයි පේන්නේ?

මේ දිනවල වේදිකාවෙන් ටිකක් ඈත්වෙලා ඉන්නේ කාර්යබහුලත්වය නිසා. ඒ නිසා තාවකාලිකව චුට්ටක් ඈත්වෙලා ඉන්නවා මේ දවස්වල.

වේදිකාව, සිනමාව සහ ටෙලිනාට්‍ය කියන්නේ වෙනස්ම ලෝක තුනක් වගේ. කොහොමද දැනෙන වෙනස?

ඇත්තටම අපූර්වත්වය තියෙන්නේ වේදිකාව මත. වේදිකා නාට්‍යයක සාර්ථක රංගන ශිල්පියෙක් වෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඔහු සෑහෙන්න දුරකට රංගනය ප්‍රගුණ කරපු කෙනෙක් වෙන්න ඕනෙ. චිත්‍රපට කලාවත් හරි අපූරු කලාවක්. ටෙලිනාට්‍යයකටත් වඩා සිනමාවේ මැජික් එක දකින්නේ අපි කාලයකට පස්සේ. ඒකේ තියෙන අපූර්වත්වය වෙනස්ම දෙයක්. ටෙලිනාට්‍යයක නම් ගොඩාක් වෙලාවට කරපු රංගනය ඒ මොහොතෙම හෝ සතියකින් හෝ බලාගන්න පුළුවන්.

හැමෝම බලන් ඉන්නේ අප්‍රේල් 17 වෙනකන්. මොකක්ද මේ ‘සාජන් පුංචිසෝම‘ කතාව?

ඇත්තටම ඒක හරි අපූරු ආරාධනාවක්. ප්‍රවීණ අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය මහත්මයා තමයි මට කතා කරලා කිව්වේ මේ වගේ වෙනස්ම විදිහේ සිනමා නිර්මාණයක් කරනවා, ඒකට සම්බන්ධ වෙන්න කියලා. එතුමා වගේ දැවැන්තයෙක්ගෙන් ලැබුණු ඒ ආරාධනය මම සැලකුවේ මගේ රංගන ජීවිතේ ලැබුණු ලොකුම භාග්‍යයක් විදිහටයි. ඉතින් පිටපත කියවද්දීම මට තේරුණා මේක නිකන්ම නිකන් චරිතයක් නෙවෙයි කියලා. ‘පුංචිසෝම‘ කියන්නේ පොලිසියේ රාජකාරියයි, තමන්ගේ ගෙදර දොරේ වැඩකටයුතුයි වගේම සමාජයේ තියෙන එක එක හැලහැප්පීම් මැද හිරවුණු මනුස්සයෙක්. ඒ හැලහැප්පීම් ඇතුළේ තියෙන හාස්‍යය තමයි මේ නිර්මාණය පුරාම දිවෙන්නේ. පොලිස් නිල ඇඳුමට ගරු කරන ගමන්ම, මිනිස්සුන්ව හිනස්සන්න පුළුවන් සුපිරිම හාස්‍යෝත්පාදක චරිතයක් විදිහට අප්‍රේල් 17 වැනිදා ඉඳන් ‘සාජන් පුංචිසෝම‘ ඔයාලව හමුවෙන්න එනවා.

රූගත කිරීමේදී අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?

ඔව්… අමතක නොවන සිදුවීම් නම් එමටයි. මම පොලිස් ඇඳුමින් සැරසිලා පාරේ ඉන්නකොට මිනිස්සු පුදුමෙන් බැලුවා මං වගේ පොඩි කෙනෙක් පොලිසියට කොහොමද බඳවාගත්තේ කියලා. නයෙක් එක්ක දර්ශන රූගත කිරීමක් තිබුණා. නයාව අතින් අල්ලන දර්ශන තිබුණා. ඒකේදි නයා මට බයවෙලා හිටියා. මම නයාට බයවෙලා හිටියා.

පොලිස් යුනිෆෝම් එක ඇන්දම වෙනස්ම පෞරුෂයක් එන්න ඇති නේද? මොකද හිතුණේ ඒ වෙලාවේ?

ඒක අපි හැමෝම ගරුකරන නිල ඇඳුමක්. මට හැම තිස්සෙම හිතුණා ඒකේ ගෞරවය රකින විදිහට වැඩ කරන්න ඕනෙ කියලා. ඒ හැඟීම තමයි තිබුණේ.


‘සාජන් පුංචිසෝම’ ටීම් එකෙන් ලැබුණු සපෝට් එක කොහොමද?

ඇත්තටම හොඳයි. රොඩ්නි වර්ණකුලසූරිය, මිහිර සිරිතිලක, ශ්‍රියන්ත මෙන්ඩිස්, මගේ බිරිඳ හැටියට හිටියේ දුලීකා මාරපන අපි ගොඩක් සහයෝගයෙන් වැඩ කළා.

පොලිස් චරිතයක් ඇතුළේ හිනාව මවන්න යන එක ලෙහෙසි වැඩක් නෙවෙයි නේද? ඒ චැලේන්ජ් එකට මුහුණ දුන්නේ කොහොමද?

ඒක හරිම අභියෝගයක්. ගෞරවනීය ආයතනයක වෙන සිදූවීම් තමයි යම්කිසි මට්ටමකට නිර්මාණයට ගොඩනගලා තියෙන්නේ. අපි ඒක සමබරව කරගන්න උත්සාහ කරන්න ඕනේ.ඒ ගෞරවය රැකෙන පරිදි.

මේ හැමදේකම පිටිපස්සේ ඉන්න ඔබේ පවුලේ හයිය ගැනත් මතක් කරමුද?

ඇත්තටම මගේ මේ හැම ගමනකම හයිය තමයි මගේ පවුල. මට පුහුණුවීම්වලට, රූගත කිරීම්වලට ඕන කරන ඒ නිදහස උපරිමයෙන්ම ගෙදරින් ලැබෙනවා. මගේ බිරිඳ තමයි මගේ ලොකුම ශක්තිය. ඇය හින්දු භාෂා ගුරුවරියක් විදිහට වගේම ගුවන්විදුලි සංස්ථාවේ හින්දි සේවයේ නිවේදිකාවක් විදිහටත් වැඩ කරනවා.

අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉවර කරලා දැන් උසස් අධ්‍යාපන කටයුතුවලට ලෑස්ති වෙනවා. පුතා විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙන ගන්නවා. ඉතින් ඒ දෙන්නත් මගේ වැඩකටයුතුවලට දෙන සහයෝගය වචනවලින් කියන්න බැහැ.

ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු?

විදෙස් සංචාර කිහිපයක් තියෙනවා. ප්‍රසංග සහ සංදර්ශන කිහිපයක් තියෙනවා. චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ‘සාජන් පුංචිසෝම’ ප්‍රදර්ශනය අරඹන්න තියෙනවා.


කල්ප මේනක පීරිස්

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post