නිර්මාණයට කතා කරද්දී මම ‘කැලෑහඳ’ කියවලාවත් නෑ -දසුනි සෙනෙත්මා

gossiplanka image 2
 

දසුනි සෙනෙත්මා කියන්නේ පුංචි තිරය ඔස්සේ හැමෝගෙම ආදරය දිනාගත්ත චරිතයක්. නර්තනයෙන්, රංගනයෙන් ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව ලබන දසුනි ලාංකේය සිනමාවටත් එකතු වී අවසන්. මේ දිනවල බොහෝ දෙනා කතාවෙන්නේ රහසේම පායා ආ කැලෑහඳ සිනමා නිර්මාණය ගැන. එදා එහි රුක්මණී දේවි රඟපෑ මාලිනිගේ චරිතය මෙදා රිදී තිරයේ මවන්නේ දසුනි සෙනෙත්මායි. අද අපේ කතාබහට එක්වන්නේ ඇයයි.


මේ දවස්වල දසුනි ගැන වැඩියෙන්ම කතා වෙන්නේ කැලෑහඳේ මාලිනී නිසා. කොහොමද මේ අවස්ථාව ලැබෙන්නේ?


කැලෑහඳ නිෂ්පාදනය කරන්නේ රවී ලියනගේ සර්. මං මෙගා ස්ටාර් හි ඩාන්ස් කරනවා දැකලා මේ චරිතෙත් ඩාන්සින් එක්ක යන නිසා සර්ගේ වයිෆ් තමයි සර්ට මා ගැන කියල තියෙන්නේ. ඊට පස්සේ රවී සර් සුනිල් සර්ට කියලා. ඒ විදියටයි මට මේ චරිතය ලැබෙන්නේ.


නර්තනය නිසා ජීවිතේට වටිනා අවස්ථා ලැබෙනවා නේද?


ඇත්තෙන්ම ඔව්. මෙගා ස්ටාර් හි ඩාන්ස් කරන අතරතුර මගේ කකුල ආබාධයකට ලක්වුණා. ඒත් මම තරගය අතහැරියේ නැහැ. කකුල කැඩිලත් මං නැටුවා. එදා ඒ නර්තන අංගය තමයි රවී සර්ගේ වයිෆ් දැකලා තිබුණේ. රිහසල් එකේදි මගේ කකුල යම් ආබාධයකට ලක් වුණා. මම දැනගෙන හිටියෙ නැහැ කකුල කැඩිලා කියලා. අයිස් තියලා කකුල බැන්ඩේජ් කරගෙන මං හවස තරගයට ඉදිරිපත් වුණා. ඒ තරග වටය ඉවර වෙනවත් එක්කම මට අමාරු වුණා. හොස්පිටල් ගෙනිච්චටත් පස්සේ තමයි හරියටම දැන ගත්තේ මගේ කැකුල කැඩිලා කියලා. එදා මට ලොකුම අභියෝගයක් වුණේ කොහොමද මම ඉදිරි තරග වටවලට යන්නේ කියන එක. මම මගේ ජිවිතේ වැඩියෙන්ම ආදරේ කරන්නේ නර්තනයට. ඒ නිසා මම ඒ අභියෝගය ගත්තා. එක වටයකදී ගල් බැන්ඩේජ් එක පිටින්ම ඒකට අදාළ ඩාන්සින් ඇක්ට් එකක් හදලා අපි කළා. හමුදාවේ අයට ගෞරවයක් වෙන විදියට ලලිත් සර් එක්ක කන්සෙප්ට් එකක් හැදුවා. නර්තනය කියන්නේ මගේ ජීවිතේට ලැබුණු මිල කළ නොහැකි තෑග්ගක්.


මාලිනී වෙන්න ලැබුණු එක ගැන අද මොකද හිතෙන්නේ?


මම හිතන්නේ මට මාලිනී වෙන්න ලැබුණු එක මගේ රංගන ජිවිතේ ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් වෙයි කියලා. මාලිනී කියන චරිතය ඉතාම ගැඹුරු ආදරණීය කාන්තාවකගේ චරිතයක්. ඒ ගැන මට වචනයෙන් කියලා නිම කරන්න බැරි තරම් සතුටක් වගේම ගෞරවයක් තියෙන්නේ.


1953දී මුල් වරට රුක්මණී දේවි රඟපෑ චරිතයක් ප්‍රතිනිර්මාණය කරන්න ලැබීම මොන වගේ අත්දැකීමක් වුණාද?


රුක්මණී දේවිය රඟපෑ භූමිකාවක් මට ලැබුණා කියන්නේ ලොකු ගෞරවයක් වගේම ලොකු අභියෝගයක්. මොකද මේ වෙද්දි ඒ සිනමා නිර්මාණයේ කිසිදු සංරක්ෂිත වීඩියෝ පටයක් නැහැ. ඒ නිසා ඒ චරිතේ ගැන හොයාගන්න කිසිදු හෝඩුවාවක් තිබුණෙ නැහැ. රවීන් අයියා, නෙතු අක්කා, සේමිණි ආන්ටි, දුලීකා ආන්ටි අපි එකතු වෙලා පිටපත කියවලා, සුනිල් සර්ගෙන් අහගෙන ගොඩක් රිසර්ච් කරලා මේ චරිතය ගොඩනඟා ගත්තේ.


අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එක්ක වැඩ කරන එක පහසු වුණාද?


ඇත්තෙන්ම පහසු වුණා. සුනිල් සර්ගේ සිනමා නිර්මාණයකට දායක වෙන්න ලැබීමත් මට ලොකු සතුටක් සහ ගෞරවයක්. ඒක වචනවලින් කියන්න බැරි තරම්. ඔහු එක්ක වැඩ කරන්න කිසිම අමාරුවක් නැහැ. මට මේ නිර්මාණයට කතා කරද්දී මම මේ නවකතාව කියවලාවත් තිබුණේ නැහැ. මුලින්ම පිටපත කියවලා ඉන්පසුව තමයි නවකතාව ගැන සර් එක්ක කතා කරේ. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කියන්නේ හරිම ආදරණීය, අවංක හිත හොඳ කෙනෙක්. ඒ නිසා සර්ගේ අවවාද අනුව මේ චරිතය ගොඩනඟන්න පහසු වුණා.


ජයපාලගේ භූමිකාව කරන්නේ රවීන් කනිෂ්ක, ඔහුගෙන් ලැබුණු සහයෝගය කොහොමද?


රවීන් කනිෂ්ක එක්ක වැඩ කරන්න ලැබුණු එකත් මට පහසුවක් වුණා. අපි දෙන්නාම කතාබහ කරලා චරිතේ ගොඩනඟා ගත්තා.


මේ කාලේ සම්බන්ධ වූ අනෙක් නිර්මාණ මොනවද?


මේ දවස්වල පිරිමි ළමයි ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිදුවෙනවා. ඒ එක්කම හිරු නාළිකාවේ රොන් සොයා ටෙලි නාට්‍යයට මම අළුතින් එකතු වුණා. තව අලුත් නිර්මාණ කිහිපයක් එන්න තියෙනවා. ඒත් එක්කම ඩාන්සින් පැත්තෙනුත් අලුත් වැඩ කිහිපයක්ම කරගෙන යනවා.


දසුනි මොන වගේ සීමාවන් ඇතුළේ ද චරිත භාර ගන්නේ?


මගේ තෝරා බේරා ගැනීම තුළ තියෙන්නේ හීරෝ හෝ විලන් ද කියන එක නෙවෙයි. මම බලන්නේ මට ඒ වෙනුවෙන් සාධාරණයක් කරන්න පුළුවන්ද කියලා විතරයි.


ලැබෙන ප්‍රේක්ෂක ආදරේට කියන්න දෙයක් ඇති?


ආදරණීය ප්‍රේක්ෂකයන් නිසා තමයි හැම කෙනෙක්ම මේ ක්ෂේත්‍රයේ ඉන්නේ. ඒ ආදරය, ගෞරවය සහ ප්‍රතිචාර නිසා තමයි අපි මේ ක්ෂේත්‍රයේ රැඳෙන්නේ. මේ පොඩි කාලය තුළ මට මේ ලබා දෙන ආදරයට මම ඉතාමත් ගෞරව කරනවා.

gossiplanka image 1
Previous Post Next Post