නර්ස් ඇඳුමින් රඟපාද්දී රෝගීන් මගෙන් OPD එකට යන පාර අහනවා -දිල්රූ වාසනා

gossiplanka image 2
 පුංචි තිරේ ‘මායාවි’හි නර්ස් නෝනා බොහෝ දෙනා දන්නා චරිතයක්. මායාවි පමණක් නොව අම්මා, හිරිපොද වැස්ස, රැල්ල වෙරළට ආදරෙයි, සිරි ගරාජ්’ වැනි ටෙලිනාට්‍යවල විවිධ රංගනයන් තුළින් ඔබ හමුවට එන ඇය දිල්රූ වාසනාය. දිල්රූ තම රඟපෑම් ගැන කතා කරන්නට රසඳුන හා එක්වූවාය.


මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයකම ඔබ දකින්න ඉන්නවා?


ඔව්, මේ දවස්වල මම රඟපෑ ‘මායාවි, හිරිපොද වැස්ස, අම්මා’ ටෙලිනාට්‍ය විකාශය වෙනවා. ‘මායාවි’ හි මම නර්ස් කෙනෙක්. ‘අම්මා’හි ප්‍රධාන චරිතය වූ සුජීගේ මිතුරිය මමයි.


කොහොමද ‘අම්මා’ට සම්බන්ධ වුණේ?


එයට ආරාධනා ලැබුණේ එහි නිෂ්පාදක කළමනාකරු හරහා


‘මායාවි’ ටෙලියේ ඔබ හෙදියක් නැත්නම් නර්ස් කෙනෙක් කියමු. ඒ චරිතය බොහෝ ප්‍රේක්ෂකයන් තුළට ගිහින් තිබෙනවා?


ඇත්ත. ඒ චරිතය ගොඩාක් ජනප්‍රිය වුණා. එයින් ලොකු අත්දැකීම් රැසක්ම ලැබුණා. මෙහි රූගත කිරීම් තිබ්බේ රජයේ රෝහලක. මට අඳින්න තිබ්බේ නර්ස් ඇඳුම නිසා ඒක ඇඳන් ඉද්දි රෝහලට එන රෝගීන් OPD එකට යන්න මගෙන් පාර අහනවා. ඒ වෙලාවට මට කියාගන්න දෙයක් නැතිව හිනායනවා. මොකද මම ඇත්තෙන්ම දන්නේ නැහැ OPD එකට යන්නේ කොහොමද කියලා.


දවසක් ෂූටින් අතරතුර මට අසනීප තත්ත්වයක් ඇවිත් මටම යන්න වුණා බේත් ගන්න. ෂූටින් ප්‍රමාද වෙන නිසා මම නර්ස් ඇඳුමින්ම බේත්ගන්න තැනට ගියා. රෝගීන් මට මුකුත් කීවේත් නැහැ. එයාලා හිතන්න ඇති මම ඒ රෝහලේ හෙදියක් කියලා. බේත් ගන්න තුණ්ඩුව දෙද්දි එතැන සිටි කෙනා හිනාවෙලා මගෙන් ඇහුවා ඔයා ‘මායාවි’ එකේ ෂූටින්වලට නේද ආවේ කියලා. එතකොටම අර රෝගීන් හැමෝම මගේ මුහුණ දිහා බැලුවා. ඒ වෙලාවේ නම් මට ටිකක් ලැජ්ජා හිතුණා.


‘රැල්ල වෙරළට ආදරෙයි’ ,ටෙලිනාට්‍යයේ ‘වෙඩිලගේ සුදූ’ කිව්වම නේද හැමෝම දන්නේ?


ඔව්, ඒ නමින් තමයි හැමෝම ඒ ටෙලිනාට්‍යයේ මාව දන්නේ. ඒ කාලයේ මම රඟපෑමට ගොඩක් අලුත්.. එහිදී මට රඟපාන්න ලැබුණු ඩයස් අයියා මේ වෙලාවේ ආදරෙන් මතක් කරන්න ඕනේ. ඔහු මට හොඳ සපෝට් එකක් දුන්නා.අධ්‍යක්ෂ කමල් දේශප්‍රිය අයියටත් ස්තුති කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා..


ප්‍රේක්ෂකයා අතර ගොඩක්ම ජනප්‍රිය චරිතය මොකද්ද?


‘මායාවි’, ටෙලි නාට්‍යයේ නර්ස් නෝනා ගොඩාක් ජනප්‍රිය වුණා හිරිපොද වැස්සේ චරිතයත් තරුණ තරුණියන් අතර කතාබහට ලක්වුණා.


රඟපාන්න ආසාවෙන් ඉන්න චරිතයක් තියෙනවද?


මම ආසයි ප්‍රේක්ෂකයාට හොඳට දැනෙන අභියෝගාත්මක චරිතයක් කරන්න. බබෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්ගේ චරිතයක් රඟපාන්න ආසයි. ඒක මට අභියෝගයක් වෙයි කියා සිතනවා.


මුලින්ම කැමරාවට මුහුණ දුන් ඒ දවස මතක් කරමු?


ඔව්, මුලින්ම කැමරාවට ෆේස් කළේ පෝය ටෙලිනාට්‍යයකින්. සුළු සුළු අඩුපාඩු තිබ්බත් ඒක මට ලොකු අභියෝගයක් වුණේ නැහැ . ඒ මම පාසල් කාලයේත් රංගනය හදාරලා තියෙන නිසා.


ඒ කියන්නේ පාසල් කාලයේත් කලා කටයුතු කළා?


ඔව්, සා . පෙළට, උ. පෙළට නාට්‍ය හා රංගකලාව හැදෑරුවා . ඒ දවස්වලත් මම පාසල් මට්ටමේ නාට්‍ය තරගවලට එක්වී පළාත් හා සමස්ත ලංකා ජයග්‍රහණ ලබා තියෙනවා.


චරිතයක් භාරගනිද්දි සලකා බලන විශේෂ කරුණු තියෙනවද?


චරිතයේ ස්වභාවයට වඩා මම බලන්නේ ඒ චරිතය තුළ මට රඟපෑ හැකි දුරයි. ‘මේ චරිත කරනවා මේවා කරන්නේ නැහැ‘ කියලා දෙයක් මගේ නෑ. මගේ සීමාවේ ඉඳගෙන මට කළ හැකි දුර ගැන මම සිතනවා


චිත්‍රපටවලට ආරාධනා තියෙනවද?


ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදී රිදී තිරයෙනුත් මාව දකින්න ලැබෙයි.


මියුසික් වීඩියෝවලත් දිල්රූව දකිනවා?


ඔව්, මේ වෙද්දි මියුසික් වීඩියෝ කිහිපයකටම දායක වුණා.මියුසික් වීඩියෝ කරන්න මම ගොඩාක් කැමැතියි


රංගනය හදාරා තියේද?


පාසල් සමයේ රංගනය වැඩිදුර හැදෑරුවා. ක්ෂේත්‍රයට ආවට පසුව බොහෝ දේ ඉගෙන ගත්තා සහ තව දේවල් ඉදිරියට ඉගෙනගන්න තියෙනවා මට.


අධ්‍යක්ෂවරයා එක්ක කොහොමද ගනුදෙනුව කරන්නේ?


දර්ශනතලයේදී මම නිතරම කැමැති දෙයක් තමයි මගේ අඩුපාඩු තියේනම්, ඒවා අධ්‍යක්ෂතුමාගෙන් අසා දැනගන්න එක. ඔහුගේ උපදෙස්වලට හොඳින් සවන් දීලා ඔහු එක්ක සුහදව වැඩ කරනවා.


පියාගේ ආභාසය දිල්රූටත් ඇවිත් කියා මා කීවොත්?


මගේ තාත්තා මේ ක්ෂේත්‍රයට හරිම ආසයි. ඔහුත් පාසල් කාලයේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා තියෙනවා. ඔහුගේ හැකියාව තමයි මටත් ඇවිත් තියෙන්නේ කියා මම සිතනවා. පවුලේ සියල්ලන්ගෙන්ම හොඳ සහායකුත් මට මේ ගමනට ලැබෙනවා. ඒකත් අනිවාර්යයෙන් කියන්න ඕනේ.

gossiplanka image 1
Previous Post Next Post