ඩෙස්මන්ගේ ගැන්ග් එකේ අත පයට කලින් මොළේ ඉස්සර කරන කෙනා නෙවිල් -චානක බණ්ඩාර

gossiplanka image 1
 

මෑතකදි තිරගත වුණු චිත්‍රපට අතරින් වැඩිපුරම සමාජයේ කතාබහට ලක්වන චිත්‍රපටයක් වන ‘ෆාදර්‘ මේ දිනවල සාර්ථකව තිරගත වෙයි. එහි නෙවිල්ගේ චරිතයෙන් ඔබ හමුවට එන චානක බණ්ඩාර ද මේ දිනවල බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගත් චරිතයකි. අද අපේ කතාබහ ඔහු සමඟිනි.


ඔබ රංගනයෙන් දායක වුණු ‘ෆාදර්’ චිත්‍රපටය මේ දිනවල සාර්ථකව තිරගත වෙනවා. ඒ ගැන කියනවා නම්?


‘ෆාදර්‘ කියන්නේ ලාංකේය සිනමා ඉතිහාසයේ මෑතකදී සිදු වුණු දැවැන්තම වැඩක්. බයිස්කෝප් ගුණයක් තියෙන චිත්‍රපටයක්. ඒ වගේම සිනමා ප්‍රේක්ෂකයා තව තවත් සිනමාශාලා වෙත ළං කරගන්න පුළුවන් වුණු සිනමා නිර්මාණයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්.


ෆාදර් චිත්‍රපටය සමඟ එකතු වෙන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?


ඒ අවස්ථාව මට ලැබෙන්නේ ෆාදර් චිත්‍රපටයේ අධ්‍යක්ෂ චමින්ද ජයසූරිය හරහා. මං මීට කලින් කරපු කොළොම්බියා එකෙන් මාව දැකලා තමයි ඔහු මාව මේ චරිතයට තෝරාගෙන තියෙන්නේ.


නෙවිල් කියන චරිතය ඔබට දැනෙන්නේ කොහොම ද?


නෙවිල් කියන්නේ ඩෙස්මන්ගේ ගැන්ග් එකේ ඉන්න අත පය ඉස්සර කරන්න කලින් මොළේ ඉස්සර කරන කෙනෙක් විදිහටයි මම දකින්නේ. ඒ කියන්නේ නෙවිල් පළවැනි සිතුවිල්ලෙන්ම ක්‍රියාත්මක වෙන කෙනෙක් නෙවෙයි. නෙවිල් නැවත හිතා බලන කෙනෙක්. ඒ වගේම නෙවිල් හොඳ නිරීක්ෂකයෙක්. හැම දෙයක් ගැනම හොඳට නිරීක්ෂණය කරනවා. මනුස්සයෙක් දැක්කත් ඔහුව කියවගන්න උත්සාහ කරන කෙනෙක්.


නෙවිල් සාර්ථක කර ගන්න අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායමෙන් ලැබුණු සහයෝගය කොහොමද?


ඇත්තටම ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය කියල නිම කරන්න බැහැ. අධ්‍යක්ෂවරයාට සම්පූර්ණ චිත්‍රපටය ගැනම විශාල චිත්‍රයක් තිබුණා. ඒ හරහා අපිටත් නොදැනී අපිව ඒ චරිතයට යොමු කරන්න පුළුවන් විදිහේ ගයිඩ් එකක් චමින්ද අයියා ළඟ තිබුණා. ඒක අපේ චරිත ගොඩනඟාගන්න ඇත්තටම ලොකු සහයෝගයක් වුණා. ඔහු හැම වෙලාවකම උත්සාහ කළේ ඔහු දකින නෙවිල් මටත් නොදැනීම මගෙන් එළියට ගන්න. ඒක අපූරු ශිල්පීය දක්ෂතාවක් ඔහුගෙන් මම දැකපු. ඒ වගේම ඩෙස්මන් ගැන්ග් එකේ පූජන, කණිෂ්ක, අකලංක, පසන්, ධම්මික, තිළිණ අපි හැමෝම රූගතකිරීම් කරන කාලයේ එකටමයි හිටියේ. අපි කලින් ඉඳන් දන්න අඳුරන යාළුවෝ.ඒ හින්දා චරිත අතර තියෙන කෙමෙස්ට්‍රි එක හදන්න අපිට පහසු වුණා. ඒ වගේම සියලුම ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් මේ වැඩේ වෙනුවෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දුන්නා. ඒක අපට ලොකු අත්දැකීමක් වුණා. ලොකු කාස්ට් එකක්. සෑහෙන හොඳ වයිබ් එකක්. ඒ ඔක්කොමත් එක්ක තමයි නෙවිල්ගේ චරිතය සාර්ථක කර ගන්න ලැබුණේ.


ඉදිරියේදී රඟපාන්න කැමැත්තෙන් ඉන්න චරිත තියෙනවා ද?


එහෙම කියලා නම් එකක් නෑ. මොන චරිතය වුණත් මම නොවන වෙන කෙනෙක් මගේ ඇතුළට දාගන්න සිද්ධ වෙනවනේ. මං ඒකට කැමැතියි. ඒ නිසා ඒක සාර්ථකව කරන්න අවශ්‍ය හැදෑරීම් තවත් දිගටම කරගෙන යනවා.


රංගන කටයුතු සාර්ථක කරගන්න පවුලෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු?


මගේ පවුල කියන්නේ මමයි අම්මයි විතරයි. මේ විෂය තෝර ගත්ත දවසේ ඉඳන්ම අම්මගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. කලා ක්ෂේත්‍රය ගැන පොඩි කාලේ ඉඳන්ම අම්මගේ හීනයක් තිබුණා. අම්මා ඉස්කෝලෙ යන කාලේ නාට්‍ය කරලා තියෙනවා. පස්සේ කාලෙදී එයාට ඒ අවස්ථාව මඟහැරිලා. ඒ නිසා මම මේක තෝරගත්ත වෙලාවේ ඉඳන් ඒ හීනයට යන්න තනිකරම ඇය මට නිදහස දුන්නා. අම්මගේ ඒ විශ්වාසය, නිදහස හින්දා තමයි මට මේ වගේ තැනකට එන්න ලැබුණේ කියලා මං හිතනවා.


ඉදිරි වැඩ කටයුතු ගැනත් කියමු?


මේ වෙද්දි නිර්මාණ කීපයකම වැඩ කරමින් යනවා. ඒ සමඟම මේ විෂය ඇතුළේ තවත් හැදෑරීම් කරගෙන යනවා.


මෙතෙක් ආ ගමන් මඟේ ඔබට සහයෝගය දැක්වූ විශේෂ පිරිසක් ඇති?


පළමුවැනි කෙනා මගේ අම්මා. දෙවෙනි කෙනා මේ ක්ෂේත්‍රයේ මට පළවැනි අකුර කියා දුන්න කෑගල්ල සංස්කෘතික මධ්‍යස්ථානයේ නාට්‍ය හා රංගකලාව උගන්නපු ජයන්ත අයියා. ඒ වගේම කොළඹට ආවට පස්සේ කොළඹදී මුණගැහුණු මිතුරු කැල. ඒ වගේම කෞශල්‍යා ප්‍රනාන්දු මහත්මිය වගේම ප්‍රසන්න මහගමගේ ගුරුතුමාවත් මතක් කරන්න ඕන. ඔහු තමයි මට හමුවුණු හොඳම ගුරුවරයා. වචනයක් හරි මට උගන්වපු වචනයකින් හරි මාව අගය කරපු මිනිස්සු හින්දා තමයි අද මම මේ ගමන යන්නේ. ඒ හැමෝටම ස්තුතියි.


ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් ඔබෙන් යමක් ගත හැකියි නේද?


ඕනම ක්ෂේත්‍රයකට යන්න ආසාවෙන් ඉන්නවා නම් පළමුවෙන්ම කළ යුත්තේ ඒ පිළිබඳ හැදෑරීම. තමන් කරන විෂය ගැන හොඳ හැදෑරීමක් තියාගන්න. ඕනෑම ක්ෂේත්‍රයක දැනුම යාවත්කාලීන වන නිසා අපි ඒ පසුපස හඹායන්න ඕන. ඒ වගේම හොඳ රස්තියාදුවක් තියෙන්නත් ඕන. මොකද චරිතයක් හෝ නිර්මාණයක් කරන්න හැම සමාජ ස්ථරයකම ගඳ සුවඳ දැනිලා තියෙන්න ඕන කියන එකයි මගේ අදහස. ඒ වගේ අවබෝධයක් ලබන්න නම් රස්තියාදුවක යන්න ඕන. ඒ දේවල් ගුරුවරයෙක්ගෙන් නොලැබෙන්න පුළුවන්. තමන් එන්නේ කොහෙද කරන්නේ මොකක්ද කියලා හොඳ අවබෝධයකින් ඉන්න. එතකොට අනිත් දේවල් ඉබේම හැදෙයි. අවංකවම මේ විෂය කරන්න.

Previous Post Next Post