කුලුඳුල් ටෙලි නිර්මාණය රචනා කරමින් ඉන්නවා -දර්ශන රුවන් දිසානායක

gossiplanka image 2
 

සමනල සංධ්වනිය සිනමාපටය පුරා දිවෙන මෙම ගීතය ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගනිමින් ජනප්‍රියත්වයට පත්වන්නට එහි සංගීතයේ ප්‍රබලත්වයද ප්‍රධාන සාධකයක් වූවා නිසැකය. ප්‍රවීණ සංගීතඥ දර්ශන රුවන් දිසානායකගේ සංගීතයෙන් ඔපවත් වුණු මෙම ගීතය ප්‍රේක්ෂකයන්ගේ හදවතේ රිද්මය බවට පත්වීය. සංගීත විෂයේ බොහෝ තැන් ස්පර්ශ කරමින් සම්මාන පිට සම්මාන ලැබූ දර්ශන ගොවි තාත්තා සිනමාපටය නිර්මාණය කරමින් චිත්‍රපට අධ්‍යක්ෂණයට ද පිවිසියේය. සංගීතඥයකු, ගී පද රචකයෙකු, අධ්‍යක්ෂවරයෙකු, ලේඛකයෙකු ද වන ඔහු මේ දිනවල ටෙලි නිර්මාණයක් රචනා කරමින් සිටියි.


දර්ශන රුවන් දිසානායක කියන්නේ ක්ෂේත්‍රයේ බොහෝ තැන්වල කියවෙන නමක්. මේ දවස්වල වැඩකටයුතු කොහොමද?


මේ දවස්වල මගේ කුලුඳුල් ටෙලි නිර්මාණය රචනා කරමින් ඉන්නවා. නව යොවුන් වියේ ආදරය පාදක කරගත්ත කතාවක්. මුලින්ම සිනමාපටයක් කරන්න හිතුවත් ටෙලි නිර්මාණයක් කරන්න කියන ඉල්ලීම බොහෝ දෙනකුගෙන් ආවා. මේ දිනවල ටෙලි තිරපිටපත ලියමින් යනවා. ඊට අමතරව ‘නැඟිටින්න’ ප්‍රසංගයත් කෙරීගෙන යනවා. මැයි 23 වැනිදා ජයවර්ධනපුර සරසවියේ මගේ අලුත්ම කොන්සට් එකටත් සූදානම් වෙමින් ඉන්නවා. ඒ වගේම සංගීත ක්ෂේත්‍රයේ වටිනා චරිතයක් වන ප්‍රවීණ සංගීතඥ හර්ෂ මාකලන්ද සමඟින් ගුවන්විදුලියේ සිටි එෆ්.එම්. නාළිකාවේ අර්ථවත් සංගීත වැඩසටහනක් මෙහෙයවනවා.


සංගීතඥයකුට කොහොමද එකපාරටම ටෙලි නිර්මාණයක් කරන්න අදහස එන්නේ?


ඇත්තම කතාව කිව්වොත් අද සමාජය දිහා බලද්දි අනාගතේ ගැන බයක් දැනෙනවා. AI වගේ තාක්ෂණ ක්‍රම නිසා දරුවන්ගේ පරිකල්පනය නැති වීගෙන යනවා වගේ දැනෙනවා. මිනිසාගේ පරිකල්පනය නැති වෙනවා කියන්නෙම විනාසයට අතවැනීමක්. මානවයාගේ පරිකල්පන ශක්තියට අනාගතයේ අභියෝගයක් එනවා කියන්නේ මානව වර්ගයාගේ පැවැත්ම අභියෝගයට ලක්වෙනවා කියන එක. විශේෂයෙන් ලංකාවේ සෝෂල් මීඩියාවල හැසිරීම, මත්ද්‍රව්‍ය භාවිතය, ලිංගිකත්වය කියන එක ගැන සලකා බැලුවොත් හරිම ඛේදවාචකයක්. නව යොවුන් විය ඉලක්ක කරගෙන මං මේ වගේ නිර්මාණයක් කරන්න හේතුවත් ඒක. මගේ මේ නිර්මාණයට පාදක වෙන්නේ පොලොන්නරුවේදි මං ඇහුව, අත්වින්ද ඇත්තම සිදුවීමක්. ඒ සිදුවීම දිගහරිද්දී මගේ වටේ ඉන්න අයගේ අත්දැකීම්නුත් මේකට එකතු වුණා. ඒ ඔස්සේ මං අලුත් කතාවක් ගොඩනැඟුවා. මේකෙ තියෙන්නේ සැබෑව ඇසුරින් මං ගොඩනඟපු කතාව. ඒක නවකතාවක් වෙලා නිමවෙද්දි හැමෝගෙන්ම ටෙලියක් කරන්න කියන ඉල්ලීමත් ආවා. නව කතාවෙන් පස්සේ මං ටෙලි තිරපිටපත ලියන්න ගත්තා. මේ වෙද්දි බොහෝදුරට අවසන්. ඉක්මනින්ම ටෙලියේ වැඩත් පටන්ගන්නවා. තිරපිටපත, අධ්‍යක්ෂණය වගේම සංගීතයත් මගේ. ඊට අමතරව ඉදිරියේදී තවත් චිත්‍රපටයක් කරන්න සැලසුම් කරලා තියෙනවා. ‘නැඟිටින්න’ ප්‍රසංගයට සමගාමීව ‘නැඟිටින්න’ පොතත් දැන් නිකුත් වෙලා තියෙනවා.


ඒ කියන්නෙ දර්ශන දැන් දිගටම අධ්‍යක්ෂවරයාගේ භූමිකාවත් රඟනවා?


මං මීට කලින් සමාජ කතන්දරයක් විදිහට ගොවි තාත්තා කළානේ. ඊට පස්සෙ මං හිතුවා ආදරය තමයි මේ සමාජයට අවශ්‍ය. හැමෝම ආදරයට කැමතියි. මමත් ආදරේට කැමතියි. මමත් දන්නවා මටත් ආදරේ ලස්සනට ලියන්න පුළුවන් කියලා. කරන නිර්මාණ මම ම ලියද්දි ඒක දැනෙනවා වැඩියි කියලත් හිතෙනවා. සංවේදී වෙනව වැඩියි. ඒකෙන් කියන්නේ අනෙක් අයගේ ඒවා කරන්නෙ නෑ කියන එක නෙවෙයි. මේ දවස්වල චන්දන ඉරුගල්බණ්ඩාරගේ පිරුනුවන් කන්ද මියුසික් කරනවා. වියළි ටෙලි නිර්මාණයේ සංගීතයත් මගේ. ඒ වගේම මේ දවස්වල ඉතාම ජනප්‍රිය ලලිත් රෝහිත එදිරිසිංහගේ දොරකඩ දෙවොල ටෙලි නිර්මාණයේ සංගීතය මගේ. ඉරගිනි මද්දහන හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා රයිගම් ටෙලීස් නොමිනේට් වෙලා තියෙනවා.


පහුගිය දවස්වල නැඟිටින්න ප්‍රසංගයත් එක්ක ඔබ වේදිකාවේ හිටියා. ඒ තුළින් ඔබ සමාජගත කරන්න උත්සාහ කළේ මොකක්ද?


ලංකාවේ වගේම ඔස්ට්‍රේලියාවෙත් ප්‍රසංග කළා. මං ඒ හරහා ලොකු දෙයක් සමාජයට දෙන්න උත්සාහ කළා. අපේ සමාජයේ ගොඩක් මිනිස්සු ජීවත්වෙන්නේ ලොකු පීඩනයකින්. මිනිස්සු මේ සමාජ ක්‍රමය ඇතුළෙ හිරවෙලා, මිරිකිලා. ආදරය, බලාපොරොත්තු නැති වෙලා. අධිෂ්ඨානය වගේම ශක්තියත් නැතිවෙලා. කොටින්ම මිනිසුන්ට එපා වෙලා. මං මේ ප්‍රසංගය පරිච්ඡේද හතරකට කඩලා මිනිසුන්ගේ ප්‍රශ්න ගැන විවිධ මාතෘකා යටතේ සාකච්ඡාවට ලක් කරන්නේ ගීතත් එක්කමයි. මගේ ජනප්‍රිය ගීත වගේම මේ වෙනුවෙන්ම හදපු ගීතත් තියෙනවා. ප්‍රසංග අවසාන වෙද්දි තමන්ගේ ගැටලු ගැන මිනිස්සුන්ට හොඳ දැනුවත්භාවයක් ලැබිලා ඔවුන් වැටිල ඉන්න මානසිකත්වයෙන් නැඟිටිනවා. බොහොම උද්යෝගයෙන් තමයි ගෙදර යන්නේ. ‘නැඟිටින්න’ කියන නම දාන්න හේතුවත් ඒක. ඇත්තටම සමාජයේ ලොකු දෙයක් වෙනවා මං දැක්කා. මගේ වාදි බෑන්ඩ් එකත් එක්ක තමයි මං මේ වැඩේ කරන්නේ.


ගොවි තාත්තා හරහාත් ඔබ සමාජය දැනුවත් කිරීමේ උත්සාහයක් ගත්තා නේද?


ගොවි තාත්තා පසුගිය වසරේ ප්‍රදර්ශනය වුණා. ඒක මගේ පළමුවැනි චිත්‍රපට අධ්‍යක්ෂණය. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මේ වෙද්දි පාසල් දර්ශන පවත්වමින් යනවා. ගොවි තාත්තා නිර්මාණයේ දී මං කතා කළේ වසවිස ගැන නිසා ගොඩක් බාධක, අභියෝග ආවා. ප්‍රදර්ශනයේදී පවා බාධක තිබුණා. මේකෙදි මං සංකේත භාවිත කරපු විදිහ කාගෙත් පැසසුමට ලක්වුණා. මේ ළඟදි නුවර පැවති විශේෂ ප්‍රදර්ශනයේදී මිනිස්සුන්ගෙන් පුදුම විදිහට ප්‍රතිචාර ලැබුණා.


දර්ශන කියන්නෙ නවකයන්ට ගොඩක් උදවු කරන කෙනෙක් කියලත් ප්‍රකටයි?


හැම වෙලාවෙම මං අලුත් කෙනෙකුට එන්න උදවු කරනවා. මුලදි මං සංගීත පන්ති කළා. සූර්යා දයාරුවන් කියන්නෙත් මගේ ගෝලයෙක්. ඔහු අද මටත් වඩා හොඳින් මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන එක ගැන මට හරි සතුටුයි. ඒ වගේ ඉහළ තැන්වල ඉන්න තවත් අය ඉන්නවා. ඒ ගැන සතුටුයි. කාර්යබහුලත්ව නිසා නතර කළ පන්ති නැවතත් පටන් ගන්න සූදානමක් තියෙනවා.

gossiplanka image 1
Previous Post Next Post