කලාවත් , ඉගෙනිමත් සමබරව ගෙනයෑම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. ඒ සඳහා නොපසුබස්නා උත්සාහය , නිසි කළමනාකරණය, ආත්ම විශ්වාසය වගේම හොඳ මඟපෙන්වීමකුත් අවශ්‍යයි. ඇයත් එවන් උත්සාහවන්ත තරුණියකි. ඉගෙනීමට කිසිදු බාධාවක් කර නොගෙන කලාවේ නියැළෙන ඇය සින්ටෝ ටෙලි නිර්මාණයෙන් මේ දිනවල ප්‍රේක්ෂක ඔබේ ආදරය දිනා සිටින ඇය රංගන ශිල්පිනී නෙළුම් අබේසේකරය. මේ දිගහැරුම ඇය ගැනයි.
මේ දවස්වල වැඩ කටයුතු කොහොමද?
මේ දවස්වල මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු නිම කරලා ටිකක් නිදහසේ ඉන්නවා. ඒත් එක්කම අසංක සායක්කාරගේ ‘සින්ටෝ’ සහ ‘කොටු’ කියන ටෙලි නාට්‍ය දෙකේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම පසුගියදා රටේ අයහපත් කාලගුණික තත්ත්වය නිසා නතර කළ සතර කන් මන්ත්‍රණය, ජුලියස් සීසර්. ඊඩිපස් රජ නාට්‍ය, සාකුන්තලය වේදිකා නාට්‍ය නැවත වේදිකාගත කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඔබ දැන් උපාධිධාරිනියක්. රංගන කටයුතුත් එක්ක අධ්‍යාපන කටයුතු සමබර කරගත්තෙ කොහොමද?
ඔව්. මං මේ වෙද්දි කැලණිය විශ්විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා විශේෂවේදී ගෞරව උපාධිධාරිනියක්. රංගන කටයුතුත් එක්ක අධ්‍යාපන කටයුතු කරගෙන යන එක ලේසි නැහැ. බාධක, හැලහැප්පීම් මැද අධ්‍යාපනය සහ රංගන කටයුතු වගේම අනෙක් වැඩ කටයුතුත් සමබර කරගැනීම මට ලොකු අභියෝගයක් වුණා. කොහොමත් මං පොඩි කාලේ ඉඳන්ම එක ක්ෂේත්‍රයකින් ඉදිරියට යෑමෙන් සෑහීමකට පත්වුණේ නැහැ. විශ්වවිද්‍යාලයේදීත් මම අධ්‍යාපනය සහ රංගනයට අමතරව ඇරබික් ජිම්නාස්ටික්, නිවේදනය, අංගරචනය වගේ බාහිර කටයුතු රැසකට සහභාගි වුණා. ඒ හැමදෙයක්ම මගේ උත්සාහයෙන් හොඳින් කළමනාකරණය කරගත්තා. මේ වෙද්දි මං රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදිහටත් කටයුතු කරනවා.
විශ්වවිද්‍යාල වේදිකාව ඔබේ රංගන දිවියට ආශීර්වාදයක් වුණේ කොහොමද?
විශ්වවිද්‍යාල භූමිය තමයි මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. මම අන්තර් විශ්වවිද්‍යාල කෙටි නාට්‍ය තරගාවලි දෙකකදීම හොඳම නිළිය සම්මානයට පාත්‍ර වුණා. ඒක මං විශ්වවිද්‍යාල මට්ටමෙන් ලබපු ලොකුම ජයග්‍රහණයක්. විශ්වවිද්‍යාලයේ වසර හතරක් රංගනය විශේෂවේදීව හැදැරීමට අවස්ථාව ලැබුණු නිසා විශ්වවිද්‍යාල රංග භූමිය මගේ රංගන ජීවිතයට හොඳම නවාතැනක් වුණා. රංගනය හැදැරීම නිසා මානුෂීය සම්බන්ධතා, දුක, සතුට වගේ හැමදෙයක් ගැනම මට ලොකු අත්දැකීමත් ලැබුණා. ඒ හැම දෙයක්ම මගේ රංගන ජීවිතයට හොඳ ආශීර්වාදයක් වුණා.
පුංචි තිරයෙන් රිදී තිරයට එන්න අදහසක් නැද්ද?
රිදී තිරයට එන්න කැමැතියි. ඉදිරියේදී ඒ සඳහා අවස්ථාවක් ලැබේවි කියන බලාපොරොත්තුවෙන් වැඩ කරනවා. පසුගිය දවස්වල තිරගත වුණු සූර්යා චිත්‍රපටයේ පුංචි චරිතයකට දායක වෙන්න අවස්ථාව ලැබුණා. මම වඩාත්ම කැමැති වේදිකාවට.
මොන ක්ෂේත්‍රයේ වුණත් පවතින එක පහසු නැහැ. රංගනයට පිවිසෙද්දි ගෙදරින් ලැබුණෙ මොනවගේ සහයෝගයක්ද?
රංගන ජීවිතයට එද්දි හොඳම උපදේශය ලැබුණේ මගේ මවුපියන්ගෙන්. පොඩි කාලේ ඉඳන්ම මට ලැබුණු රංගන අවස්ථාවලට මාව එක්කන් යද්දි මගේ අම්මයි, තාත්තයි මට නිතරම කිව්වේ ඔයාට ඔයාව නැති කරගන්නේ නැතුව, ඔයාව රැකගෙන, ඔයාව බැබළෙන තැනට වැඩකරන්න කියලා. අම්මා, තාත්තා, මල්ලී හැමවෙලේම මගේ පිටිපස්සෙන් ඉඳන් මගේ ගමනට සහාය දුන්නා. උපදෙස් දුන්නා. ඇත්තටම ඒ තුන්දෙනා තමයි මගේ ජීවිතේ රාමුව හදන්න උදවු වුණේ.
ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් ඔබට ලැබෙන සහයෝගය මොන වගේද?
ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන්, ශිල්පිනියන්ගෙන් ගොඩක් හොඳ සහයෝගයක් ලැබෙනවා. වේදිකාවෙන් ක්ෂේත්‍රයට පිවිසුණු අය ගැන ඔවුන්ට ලොකු පැහැදීමක් තියෙනවා. ඔවුන් සමඟ ගනුදෙනු කිරීමෙන්, පුහුණු වීම්වල නිරත වීමෙන් මට වටිනා උපදෙස් හා අත්දැකීම් ජීවිතයට එකතු කරගන්න පුළුවන් වුණා.
රංගන ජිවිතය තුළ මෙතරම් දුරක් එන්නට ඔබට ශක්තියක් වූ අය ගැන මතත් කළොත්?
අම්මා, තාත්තා, මල්ලි කියන මේ තුන්දෙනා නොහිටියානම් අද නෙළුම් අබේසේකර මෙච්චර දුරක් නොඑන්නට තිබුණා. ඔවුන් හැම වෙලාවෙම මගේ ගමනට බාධකයක් නොවී ශක්තියක් වෙලා, ඉදිරියටම යන්න අවශ්‍ය පසුබිම හදලා දුන්නා. ඒ අයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සුදාරා මිස්, කැටවල මිස්, බණ්ඩාර කැකුළන්දර සර්, අකිල සපුමල් සර් වගේම විශේෂයෙන්ම අසංක සායක්කාර සර් විශේෂයි. ඒ අයගේ ගුරුහරුකම් නිසා තමයි අද මගේ රංගන ජීවිතය ඔපනැංවිලා තියෙන්නේ. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා අධ්‍යයන අංශයේ ආචාර්ය මණ්ඩලයත් ආදරයෙන් මතක් කරනවා. විශේෂයෙන් ම නිරතුරුව මගේ ළඟින් ඉන්න ආදරණීය සැමියාටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
රංගන ශිල්පිනියක් වශයෙන් ඔබට රංගන ක්ෂේත්‍රය තුළ ඇති අනාගත බලාපොරොත්තු ඉලක්ක මොනවාද?
මගේ ජීවිතයේ කිසිම දෙයකට ලොකු බලාපොරොත්තු නැහැ. පුංචි කාලේ ඉඳන් තිබුණු එකම හීනය විශ්වවිද්‍යාලයට එන එක. ඒ හීනය මම සැබෑ කරගත්තා. එතනින් එහාට මම ජීවිතයේ ලොකු බලාපොරොත්තු තියාගෙන නෑ. ගෙදර අයත් එක්ක සතුටින් ජීවිතේ ගතකරන ගමන් රංගනයෙන් පුළුවන් තරම් ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තුව.