කෙනෙක් ප්‍රවීණයකු බවට පත් වන්නේ ක්ෂේත්‍රයේ ගත කළ කාලය මත නොවෙයි ජගත් බෙනරගම

gossiplanka image 2
 

දශක හතරක් තිස්සේ විවිධ නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට එන ජගත් බෙනරගම රංගනයට පමණක් සීමා නොවූ චරිතයකි. ‘ඒ හීනයට අවසරයි’ තිරපිටපත රචනා කරමින් තිරපිටපත් රචකයකු බවටද පත්වූ ඔහු අධ්‍යක්ෂකවරයකු ලෙසද සිය වගකීම නොපිරිහෙළා ඉටු කරයි. දිගු කලක් අත්දැකීම් ලබමින් ක්ෂේත්‍රයේ පරිණත වූ ඔහු හරබර කතාබහක් සඳහා අප හා එක්වීය.


මේ දිනවල ඔබේ කලා කටයුතු මොනවද?


මේ දිනවල වැඩි කාලයක් දීල තියෙන්නේ ‘මම සහ ඔබ‘ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂණය වෙනුවෙන්. ටෙලිනාට්‍ය ත්‍රිත්වයක් සඳහා රංගන ඇරයුම් ලැබුණත් කාර්යබහුලත්වය නිසාම භාරගන්න බැරි වුණා.


වේදිකාව කියන්නේ රංගන පාසලක්. වේදිකාව හුරුපුරුදු කෙනෙක් විදිහට ඒ ගැන ඔබේ අදහස මොකක්ද?


ඔව්. වේදිකාවෙන් අපි රංගනයට අවශ්‍ය ආංගික, වාචික, සාත්වික සහ ආහාර්ය යන සතර අභිනයන් වගේම විවිධ රංගන පරිකල්පනීය ක්‍රමවේදයන් ප්‍රගුණ කරනවා. රංගන ශිල්පියකුට තමන්ගේ නිර්මාණාත්මක අනන්‍යතාව වේදිකාව මත සජීවීව ගොඩනඟා ගැනීමට පසුතල නිර්මාණය, ආලෝකකරණය, වේශ නිරූපණය සහ අංග රචනය වගේ බාහිර සාධකවලින් ලැබෙන දායකත්වය අතිශය තීරණාත්මක වනවා මෙන්ම මෙම අංග රංගන ශිල්පියාගේ අභ්‍යන්තර හැඟීම් ප්‍රකාශනයට ප්‍රබල රුකුලක්. ඒ වගේම වේදිකාව මත රංගනයේ දී තමා අවට පවතින අවකාශය පිළිබඳව සංවේදී වීමත් ඉතාම වැදගත්. විශේෂයෙන්ම වේදිකාවේ පවතින ස්ථානීය බෙදීම් සහ කලාප පිළිබඳව මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීමෙන් චරිතයේ ගාම්භීරත්වය හා තාත්වික බව රැක ගැනීමට මහඟු පිටිවහලක් සපයනවා. ඒ වගේම ප්‍රේක්ෂකාගාරය සමඟ මනා සබඳතාවක් පවත්වමින් තමන් සිටිය යුතු ස්ථාන, හැඩතල සහ චලනයන් පිළිබඳව පුළුල් ශිල්පීය ඥානයක් තිබීම, රංගන ශිල්පියකුට තම සහජ රංගන ප්‍රතිභාව ඔපමට්ටම් කර ගැනීමට වගේම ප්‍රේක්ෂක මනස ස්පර්ශ කිරීමට මනා පිටිවහලක් වනවා.


මෙතෙක් ආ ගමනේදී ඔබ වඩාත්ම අභියෝගයකට ලක් වුණු චරිතය කුමක්ද?


මේ වෙද්දි මාගේ කලා ජීවිතයට වසර 42ක් සපිරෙනවා. ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වුණේ දොළොස් හැවිරිදි වියේදී. 1989දී පරාක්‍රම නිරිඇල්ලගේ ‘ඉන්ද්‍රඛීලය’ නම් ටෙලි චිත්‍රපටය හරහා සිනමාවටත් පිවිසුණා. නමුත් මං වඩාත්ම ප්‍රේක්ෂක අවධානය දිනාගන්නේ ජයලත් මනෝරත්නගේ ‘රන්සිරිගේ සංග්‍රාමය’ ටෙලි නාට්‍යයෙන්. එහි ‘රන්සිරි’ගේ චරිතය මාගේ රංගන ජීවිතයේ අතිශය අභියෝගාත්මක චරිතය කිව්ෙවාත් හරි. රන්සිරිට උපරිම සාධාරණයක් කරන්න ලැබීම ගැන අදටත් නිහතමානීව ආඩම්බර වෙනවා.


ඔබ හිතන විදිහට ප්‍රවීණ ශිල්පියකු බවට පත්වීමේදී ප්‍රගුණ කළ යුතු ගුණාංග මොනවද?


කෙනෙක් ප්‍රවීණයෙක් බවට පත්වෙන්නේ ක්ෂේත්‍රය තුළ ගතකළ කාලය මත නොවෙයි. ඔහු හෝ ඇය දායක වූ නිර්මාණවල පවතින සාරගර්භ ගුණය සහ ගුණාත්මකභාවය මත. රංගන ශිල්පියකු, අධ්‍යක්ෂවරයකු හෝ තිර රචකයකු විදිහට තමන් කළ නිර්මාණ කොතරම් දුරට සමාජයේ අගැයීමට ලක්වුණාද සම්මානයට පාත්‍ර වුණාද කියන එක ප්‍රවීණත්වය තීරණය කිරීමේ සැබෑ මිනුම්දණ්ඩ විදිහට සලකන්න පුළුවන්. එහෙම නැතුව එක් නිර්මාණයක ප්‍රධාන චරිතයක් නිරූපණය කළ පමණින් ඔහු ආධුනිකයකු හෝ “ප්‍රවීණයකු“ ලෙස හැඳින්වීම සාධාරණ නෑ. ප්‍රවීණත්වය කියන්නේ විවිධ චරිත අභ්‍යාසයන් සහ ප්‍රවීණ ගුරුවරුන්ගේ ඇසුරෙන් ලබන අභිප්‍රේරණය ඔස්සේ කාලයත් සමඟ ප්‍රගුණ කළ යුතු අඛණ්ඩ අධ්‍යාත්මික ගමනක්. මේ ගෙවුණු කාලය දිහා ආපසු හැරිල බැලුවොත් හුදෙක් එය සංඛ්‍යාලේඛනවලට පමණක් සීමා වූවක් නොවන බව වැටහෙනවා. මං මේ දක්වා චිත්‍රපට 25කට පමණ රංගන දායකත්වය ලබා දී තියෙනවා. නිර්මාණ හතක ප්‍රධාන චරිත නිරූපණය කරලා තියෙනවා. ඒවගේම වේදිකා නාට්‍ය 25කට අධික සංඛ්‍යාවකට, ප්‍රාසාංගික ටෙලිනාට්‍ය 700කට අධික ප්‍රමාණයකට මාගේ දායකත්වය ලබා දී ඇති තියෙනවා. විශේෂයෙන්ම ඒකාංගික ටෙලිනාට්‍ය 1500කට අධික සංඛ්‍යාවක රංගනයේ නිරත වෙමින් මා ලැබූ අත්දැකීම් සම්භාරය කියල නිම කරන්න බෑ. ගෙවුණු දශක හතරක කාලය තුළ මා ලද පන්නරය, තිර රචනය සහ අධ්‍යක්ෂණය හරහා මගේ නිර්මාණාත්මක මෙහෙවරෙහි ජීවගුණය බවට පත් වුණා. කලාව කියන්නෙ නිමක් නැති සාගරය වගේ. එහි අප ලබන සෑම ජයග්‍රහණයක්ම, සෑම අභියෝගයක්ම අපේ පරිණතභාවයට හේතු වෙනවා. ප්‍රවීණත්වය කියන්නේ ඒ පරිණතභාවයේ අග්‍රඵලය කියලයි මට හිතෙන්නේ.


ඔබ දකින විදිහට රංගනය වෘත්තිය කරගැනීම අභියෝගයක්ද?


වර්තමානයේ වෘත්තීමය රංගන ශිල්පීන් දකින්න ලැබෙන්නේ අතළොස්සයි. වැඩි පිරිසක් වෙනත් වෘත්තීන්හි නියැළෙමින් කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා. මමත් 1996 වසරේ ඉඳන් පූර්ණකාලීනව රංගනයට යොමුවුණු වෘත්තීමය රංගන ශිල්පියෙක්. බොහෝ අවස්ථාවල දායකත්වය ලබා දුන් නිර්මාණ සඳහා ලැබිය යුතු වේතන නිසි වේලාවට ලැබෙන්නෙ නැහැ. එය සාධාරණීකරණය කළ නොහැකි ගැටලුවක්. වෘත්තීය ගරුත්වය රැකෙන විදිහට එලෙස නිසි කලට වේතනය නොලැබෙන පරිසරයක, කලාකරුවකුට තම වෘත්තිය පිළිබඳ විශ්වාසයකින් යුතුව නිර්මාණකරණයේ නිරත වීමට නොහැකි වීම සමස්ත කලා ක්ෂේත්‍රයේම අභාග්‍යක්.

gossiplanka image 1
Previous Post Next Post