පාපන්දු ක්‍රීඩිකාවක් විදිහට ලද මතක ටැටූ එකක් බවට පත් කළා නේද?
ඔව් අවුරුදු ගාණක ඉඳන් තිබුණු හීනයක්. මේ ළඟදී මම ඒක සැබෑ කරගත්තා. 2019 SAFF තරගාවලියෙදි මගෙ ලස්සන action photo එකක් නේපාලයේ ඡායාරූප ශිල්පියෙක් capture කරලා තිබුණා. මට හිතුණා ඒ photo එකම ටැටූ කරන්න. මම ආස පාපන්දුවලට අදාළ ඒවා විතරක් ටැටූ කරන්න. ටැටූ කියන්නෙත් හරිම ලස්සන කලාවක්.
කොහොමද ඒකට ලැබුණු ප්‍රතිචාර?
ගොඩක් ප්‍රතිචාර ලැබුණා. විශේෂයෙන්ම මගෙ ළඟම මිතුරියන්ගෙන්. කාලෙන් කාලෙට මං මොනවම හරි දෙයක් කරන නිසා එයාලත් හරි ආසයි. ඒ විතරක් නෙවෙයි සමාජ මාධ්‍ය හරහාත් ලස්සන ප්‍රතිචාර ගොඩක් ලැබුණා. ගොඩක් ගැහැනු ළමයි ටැටූ කරන්න ආසයි. ඒත් බයයි. මොකද සමාජයේ බහුතරයක් වැරදි ඇසින් බලන නිසා.
නමුත් කියන්න සතුටුයි මට නම් එහෙම විවේචන ලැබිලා නැහැ. ගොඩක් දෙනෙක් ආසයි මම ක්‍රීඩාව සම්බන්ධයෙන් ටැටූ කරන නිසා. ඒත් මේ මගෙ අවසාන ටැටූ එක. මොකද ඕනවට වඩා ඕනම දෙයක් ඕනම නැහැනේ.
ක්‍රීඩිකාවක් නිසායි ඔබට රංගන ශිල්පිනියක් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ ගැන අද මොකද හිතෙන්නේ?
මට ඒ වාසනාව ලැබුණෙම පාපන්දු ක්‍රීඩිකාවක් නිසා. ඒ කතාව දුෂ්කර ගමක ගොඩක් බාධක මැදින් ගමේ පාසලේ කාන්තා පාපන්දු කණ්ඩායමක් හදාගෙන සමස්ත ලංකා ජයග්‍රහණයක් ලබන හරිම ලස්සන ටෙලිනාට්‍යක්. මම පාපන්දු ක්‍රීඩිකාවක් නිසාම මට ආරාධනාව ලැබෙනවා. මට ඒ කතාව හරහා ගොඩක් ප්‍රේක්ෂක ආදරේ දිනා ගන්න ලැබුණා. ඒ විතරක් නෙවෙයි බොහෝ දෙනෙක් හොයන්න ගත්තා ශ්‍රී ලංකාවෙ කාන්තා පාපන්දු කණ්ඩායමක් ඇත්තටම තියෙනවද කියලා. මේ කතා මාලාව හරහා පාපන්දුවට පොඩි හරි ප්‍රේක්ෂක පිරිසක් එකතු වුණා කියල හිතනවා. මගේ මහන්සිය නිසා උපයාගත් දේවල් තමයි දැන් මම භුක්ති විඳින්නෙ.
මේ ගමන්මඟේදි තිබුණු බාධක මොනවාද?
ගොඩක් බාධක තිබුණා. විශේෂයෙන්ම මගෙ අම්මා අකැමැතියි මම පාපන්දු ක්‍රීඩා කරනවට. එයාවත් මම කැමැති කරගෙන තමයි මේ ගමන අද මම ආවේ. ගමේ ගොඩක් දෙනෙක් අම්මට විෂබීජ දාලා තිබුණා මම ගැහැනු ළමයෙක් නිසා පරිස්සම් කරගන්න කියලා. ඒ දේවල් අහලා අම්මා මාව නවත්තන්න හැදුවා. ඒ විතරක් නෙවෙයි කාලෙත් එක්ක ජාතික කණ්ඩායමට එනකොටත් බාධක ආවා. එදා විතරක් නෙවෙයි අදටත් එහෙමයි. මොන බාධා ආවත් තමන්ගේ ගමන හරි විදිහට නම් දෙවියන් වහන්සේ අපිව අතාරින්නෙ නෑ.
ඉදිරි පරම්පරාවට මොන වගේ උපදෙසක් ද දෙන්නේ?
මුලින්ම තමන් මොන දේට ද දක්ෂ කියලා හොයා ගන්න. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න, කැපවෙන්න. බාධක එයි, නමුත් තමන්ගෙ ඉලක්කය අතහරින්න එපා. ඒ විතරක් නෙවෙයි අධ්‍යාපනය කොතැනදිවත් අතහරින්න එපා. එතැනදි දක්ෂතාවට තවත් වටිනාකමක් එකතු වෙනවා වගේම තවත් ඉහළට යන්න පුළුවන්. මවුපියන්ට ගරු කරන්න. දරුවන් විදිහට එයාලට අපිව මඟහැරෙන්න දෙන්න එපා. එයාලා බාහිර ලෝකය දිහා බලන කෝණය වෙනස් නිසා අපි ආස දේවල්වලට එයාලා අකැමැති වෙන්න පුළුවන් එයාලගෙන් හරි දේ අරගන්න. ඒ විතරක් නෙවෙයි ඉහළට යන්න යන්න නිහතමානි වෙන්න. කවදාවත් මුල අමතක කරන්න එපා. අද වෙනකොට සමහර අයගෙන් මම ඒක දකිනවා. ක්‍රීඩාව පැත්තෙන් ගත්තොත් තමන්ගෙ ජ්‍යෙෂ්ඨයන්ට ගරු කරන්න. කණ්ඩායමක පැවැත්මක් තියාගන්න. අපි හැමෝම ශ්‍රී ලාංකිකයො විදිහට අපිට ආගමක් තියෙනවා. ඒ ආගමට ගරු කරන්න. හරි දේ අදහන්න. අපි යන්නේ වැරදි මාර්ගයක නම් අපිට හරි මාර්ගයේ යන්න උදවු කරනවා.
ඉදිරියට එන්න තියෙන කලා නිර්මාණ තියෙනවද?
අවුරුදු දෙකකින් මට කලාව පැත්තෙන් කිසිම ආරාධනාවක් ලැබුණෙ නෑ. හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් ක්‍රීඩාවට බාධාවක් නොවෙන්න මම ඒක කරන්න බලනවා.
ක්‍රීඩාව පැත්තෙන් තියෙන අනාගත බලාපොරොත්තු මොනවාද?
ඉදිරියේදී පැවැත්වීමට තියෙන අන්තර්ජාතික තරග සඳහා තේරීම් කටයුතුවලට හොඳින් පුහුණුවීම් කරගෙන යනවා. ඒ වගේම මාලදිවයිනේ ක්‍රීඩා සමාජයක ක්‍රීඩා කළා පහුගිය වසරේ. ඉතින් මේ වසරෙත් ඒ තරගාවලියේ ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.