මං ගුරුවරියක් නිසා චරිත ගැන සැලකිලිමත් වෙනවා -විනෝලි දිසානායක

gossiplanka image 2
 

 මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන ආලේ ටෙලි නාට්‍යයේ ‘නිරාශා‘ ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී ඇත. ඒ නිසාම අපි නිරාශාට ජීවය දෙන විනෝලි දිසානායක අපේ කතාබහට එක්කර ගත්තෙමු.


විනෝලි කියන්නෙ කවුද කියලා මුලින්ම හඳුන්වාදෙනවා නම්?


මගේ සම්පූර්ණ නම දිසානායක මුදියන්සේලාගේ විනෝලි සෙව්වන්දි. ගම බදුල්ල. මුලින්ම පාසල් ගියේ බදුල්ල සුජාතා විද්‍යාලයට. උසස් පෙළ කළේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන්. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි, අක්කයි.


කොහොමද කලාවට යොමු වෙන්නේ?


මට තිබුණු ලොකුම ආසාව තමයි කොළඹට එන එක. කොහොමහරි මට පුළුවන් වුණා උසස් පෙළින් පස්සේ කොළඹ ශ්‍රී පාලි මණ්ඩපයට එන්න. විශ්වවිද්‍යාලයේ දෙවැනි අවුරුද්දෙදි යාළුවො එක්ක සෞන්දර්ය නිකේතනයේ තිබුණු ස්ක්‍රීන් ටෙස්ට් එකකට ගියා. එතනින් තමයි මම කලාවට යොමු වෙන්නේ.


මුල්ම නිර්මාණය මොකක්ද?


ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂණය කළ තිමිර උඩලමත්ත තිර රචනය කළ හිරිපොද වැස්ස නාට්‍යය. මුල්ම අත්දැකීම එහි විනුගේ චරිතය. ඒ නාට්‍යය තුළ බහුතරයක් හිටියේ නැඟීඑන තරුණ නළු නිළියන්. ඒ නිසා මටත් අවස්ථාවක් ලැබුණා හිරිපොද වැස්ස නාට්‍යයට සම්බන්ධ වෙන්න.


කුලුඳුල් රංගන අත්දැකීම මොන වගේද?


වෙනස්ම සහ නැවුම් අත්දැකීමක් ලැබුවා. කුලුඳුල් රංගනය වගේම කුලුඳුල් ටෙලි නිර්මාණය නිසා ඒ අත්දැකීම කවදාවත් අමතක වෙන්නේ නැහැ. මාව හිරිපොද වැස්ස නාට්‍යයට සම්බන්ධ කර ගත්තු තැනේ සිට මට උදවු කරපු හැමෝම ආදරෙන් මතක් කරන්න මම මේක අවස්ථාවක් කර ගන්නවා.


මේ දවස්වල අලුත් වැඩකටයුතු මොනවද?


මේ දවස්වල සිරස නාළිකාවේ විකාශය වන ආලේ නාට්‍යයේ වැඩ කරගෙන යනවා. ආලේ නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නෙත් ඉන්දික අයියා, තිර රචනාව සිමෙත් අයියාගේ. මම ආලේහි නිරාශා විදිහට ප්‍රේක්ෂකයන් අතරට එනවා. නිරාශා කියන්නේ අනුරාධපුර ගමක හැදුණු අහිංසක ළමයෙක්.


ආලේ නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මීට කලින් කරපු නැති විදිහේ චරිතයක් මම කරන්නේ. නිරාශා කියන්නේ අහිංසක චරිතයක්. අනුරාධපුරය වගේ දුෂ්කර ගමක කෙල්ලෙක්. ආදරය නිසා කොල්ලෙකුට රැවටෙනවා. ඒ නිසා ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳයි. මමත් ගොඩක් ආසාවෙන් ඒ චරිතය කරනවා.


රංගනයට අමතරව ඔබ ගුරු වෘත්තියෙත් නියැළෙනවා නේද?


ඔව්. මම මේ වෙද්දී ගුරුවරියක ලෙසත් කටයුතු කරනවා. මාධ්‍ය විෂය තමයි මම ඉගැන්වීම් කටයුතු කරන්නේ.


කොහොමද ළමයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර?


ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ටීචර්ව ටීවී එකේ දැක්කා කියලත් කියනවා. හරිම සතුටින් ඒ ළමයි එක්ක වැඩ ටික කරගෙන යනවා.


මේ සියල්ල එක්ක කොහොමද ජීවිතේ ගෙවෙන්නේ?


මේ දවස්වල කාර්යබහුලයි. මම දැන් විශ්වවිද්‍යාලයේ අවසන් අදියරේ ඉගෙනුම ලබන්නේ. ඒ නිසා විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු සහ රංගන කටයුතු නිසා කාර්යබහුල කාලයක් ගත කරන්නේ. ඒත් ජීවිතේ සුන්දරයි. කොයි තරම් කාර්යබහුල කාලයක් වුණත් සතුටින් හැමදේම කරගෙන යනවා.


දිගටම රඟපාන්න ද කැමැත්ත?


හොඳ නිර්මාණ ලැබුණොත් දිගටම සම්බන්ධ වෙනවා. එහෙම නැතිවුණොත් ගුරු වෘත්තිය කරගෙන යනවා. කැමැත්ත තියෙන්නේ නම් දෙකම සමබරව කරගෙන යන්න.


ඉදිරියේදී එන්න තියෙන නිර්මාණ මොනවද?


මේ වෙද්දී අලුත් නිර්මාණ කිහිපයකටම කතා කරගෙන යනවා. ඒ නිර්මාණ ඉදිරියේදී රූපගත කිරීම් ආරම්භ කරන්නත් නියමිතයි. ඉදිරියේදී වැඩි විස්තර කියන්නම්.


රඟපෑමේදී චරිත තෝරාගැනීමක් කරනවද?


ඔව්. කලින් නම් ලොකුවට හිතන්නේ නැතුව මට ලැබුණු අවස්ථා භාර ගත්තා. ඒත් දැන් නම් චරිත තෝරාගැනීමක් කරනවා. මොකද දැන් මං ගුරුවරියක් නිසා භාර ගන්න චරිත ගැන සැලකිලිමත් වෙනවා.


ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?


ගෙදරින් සහ මගේ යාළුවන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ ලැබෙන සහයෝගය නිසා තමයි මම නිදහසේ අධ්‍යාපන කටයුතු, රංගන කටයුතු වගේම ඉගැන්වීමේ කටයුතුත් සමබරව කරගෙන යන්නේ.


අනාගත බලාපොරොත්තු ගැන කිවුවොත්?


හොඳ කලා නිර්මාණවලට සහභාගි වෙන ගමන් වෘත්තිය පැත්තෙන් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔය සියල්ල අතරේ මගේ පවුලේ අය එක්ක සතුටින් ඉන්න උත්සාහ කරනවා. ඒ අයටත් මගෙන් විය යුතු යුතුකම් ඉටු කරමින් සාර්ථක ජීවිතයක් ගත කරන එක තමයි බලාපොරොත්තුව.

gossiplanka image 1
Previous Post Next Post