ගුරුවරියක් මෙන්ම කටුගස්තොට කලාපයේ පාසල් එකසිය විසි එකක සංගීත ගුරු උපදේශිකාවක් ලෙස කටයුතු කළ ඇය දොම්පේ සියනෑ ජාතික පාසලේ සහකාර විදුහල්පතිනියක් මෙන්ම පාසලේ සංගීත විෂය භාර ප්‍රධාන ආචාර්යවරිය ලෙසද කටයුතු කළාය. කලාවට හිතැතිව ගුරු වෘත්තියට සමුදුන් ඇය ‘ඔබ ආදරේ බව දන්නවා’ ගීතයත් සමඟින් මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වී සිටින අතරතුර අප හා කතාබහට එක්වූවාය.
“මගේ අලුත් නිර්මාණය ‘ඔබ ආදරේ බව දන්නවා‘ ගීතයට ඉහළ ප්‍රතිචාර ලැබීම ගැන ගොඩක් සතුටුයි. ප්‍රවීණ ගී පද රචක ශාන්ත ජයලත් තිසේරාගේ පද රචනය සහ සංගීතයත් යොදා තිබීම විශේෂත්වයක්. යුග ගායනයෙන් එකතු වෙන්නේ ගායන ශිල්පී චන්දන ලියනාරච්චි. ශාන්ත ජයලත් තිසේරාගේ තවත් අලුත් ගීත කීපයක් මේ වන විට නිර්මාණය කර තියෙනවා. ඒ වගේම ජනප්‍රිය ගී පද රචක හේමස් ශ්‍රී ද අල්විස් අවසන් වරට ලියූ දේශාභිමානී ගීතය මට ලබා දුන්නේ මා ගැන ලොකු විශ්වාසයකින්. ඒ ගීතයේ වැඩකටයුතුත් මේ වෙද්දි අවසන් වෙලා තියෙනවා.
මුලින්ම ගීත ගායනයට පිවිසෙන්නේ ගම්උදාව වැඩසටහනෙන්. මට වගේම මගේ මල්ලිටත් මේ ගායන හැකියාව එන්න ඇත්තේ මගේ අම්මගෙන්. ඇයටත් ඉතාමත් හොඳින් ගීත ගායනය කිරීමේ හැකියාව තිබුණා. මගේ සහෝදරයා ගායන ශිල්පී භාචි සුසාන්. මගේ සැමියා රංගන ශිල්පියෙක්, නිෂ්පාදකවරයෙක් වගේම අධ්‍යක්ෂවරයෙක් විදිහට කටයුතු කරන දේශමාන්‍ය ඉන්දික දළුගම.
මේ වෙද්දි මං කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ලලිත කලාවේදී සංගීත උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් සංගීතය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත්, ලක්නව් භාත්ඛණ්ඩයේ සංගීත විද්‍යා පීඨයෙන් විශාරද උපාධියත් සමත් වෙලා තිබෙනවා. ඒ වගේම කලා කීර්ති, ජනරංජන, කලා භූෂණ වැනි සම්මාන වලින් අගැයීමට ලක් වුණා. මට සිංහල, හින්දි, දමිළ ඇතුළු භාෂා ගණනාවකින් ගීත ගායනා කිරීමේ හැකියාව තියෙනවා. මේ වෙද්දි ප්‍රසංග වේදිකාවට ආරාධනා ලැබෙනවා. තිලක් ජයවීර පදනම මඟින් සංවිධානය කරන සංගීත ප්‍රසංගයේ හින්දි ගීත ගායනය සඳහා මට ඇරයුමක් ලැබුණා. මාර්තු 30 වැනිදා බොරැල්ලේ නාමෙල් මාලනී පුංචි තියටර්හී පැවැත්වෙන එම ප්‍රසංගයට ජනකාන්ත ගී තරු රැසක් සමඟින් මමත් එනවා.”