හිත ඉල්ලන තරු ජනප්‍රිය වෙන්න සරල ආදරණීය ආමන්ත්‍රණයත් හේතුවක් - බුද්ධික රඹුක්වැල්ල

gossiplanka image 2
 

කලාව, ක්‍රීඩාව යන අංශ දෙකෙන්ම දේශයට ගෞරවයක් ගෙන දුන් ඔහු, දක්ෂ නිවේදකයකු හඬකැවීමේ ශිල්පියකු ලෙස ද සම්මානනීය ඇගයීමට පාත්‍ර වී ඇත. බහුවිධ කුසලතාවන්ගෙන් සපිරි බුද්ධික රඹුක්වැල්ල හුදෙක් රංගන ශිල්පියකුට එහා ගිය අසාමාන්‍ය පෞරුෂයකින් හෙබි ආදරණීය කලාකරුවෙකි.


කොහොමද බුද්ධික මේ දවස්වල කලා කටයුතු?


සුපුරුදු පරිදි ‘හිත ඉල්ලන තරු’ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව දෛනික ජීවිතයේ සුපුරුදු වැඩකටයුතු කරගෙන යනවා.


ඔබ ගිනස් පොතට එක්වුණු විශිෂ්ට මෝටර් ‍රථ ධාවන ශූරයෙක්. ඒ මතකය අවදි කරනවා නම්?


ඔව්. 101kmක දුර ප්‍රමාණයක්, පැයට කිලෝමීටර 80ක පමණ වේගයෙන් මෝටර් රථය පසුපසට ධාවනය කළා. ඒ වගේම යාපනයේ සිට තිස්සමහාරාමය දක්වා මැනුවල් මෝටර් රථය දෑතේ මාංචු සහිතව පැයට කිලෝමීටර් එකසිය හතළිහක පමණ වේගයකින් ද පැය පහළොවක් ඇතුළත 903kmක් ධාවනය කරනු ලැබුවා. ඒ අවස්ථා තමයි ගිනස් වාර්තා අතරට එක්වුණේ.


සාමාන්‍ය රිය ධාවනය පුහුණු කළ උපනන්ද අතපත්තු, පිහිනුම් පුහුණු කළ පිහිනුම් උපදේශක ජනක පෙරියප්පෙරුම වගේම මාව අංගම්පොර ශූරයකු බවට පත්කළ බත්තරමුල්ලේ ගුණදාස ගුරුතුමා සහ සිරිමල් ප්‍රදීප් යන මහත්වරුන් නිසා තමයි මට ඒ සඳහා අවශ්‍ය ශක්තිය සහ හැකියාව ලැබුණේ. මේ අවස්ථාවේ ඔවුන්ටත් ස්තුතිවන්ත වෙනවා.


ඔබ දෙස් විදෙස් චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. රංගන ශිල්පියකුගේ භූමිකාව ගැන මොකද හිතෙන්නේ?


ඔව්. ලංකාවේ චිත්‍රපට 17කට පමණ විවිධ භූමිකා ඔස්සේ මං රංගන දායකත්වය ලබාදී තිබෙනවා. ඒ වගේම විදෙස් චිත්‍රපටයකටත් රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම චීනයේ මෙන්තෝ ගුවාන් කියන අධ්‍යක්ෂකවරයා විසින් ලංකාව සහ චීනය අතර සහසම්බන්ධව නිර්මාණය කරන ලද ලංකාවේ රූපගත කරන ලද “good Night’’ චිත්‍රපටයට සම්බන්ධවීමේ අවස්ථාව ලැබුණා. එයත් මට ලැබුණු සුවිශේෂී අවස්ථාවක්.


ඔබ මෙතෙක් කළ සංගීත නිර්මාණවලත් විවිධත්වයක් දකිනවා?


ඔව්. ඒක හරි. ‘අඩි එන්නඩි රාගම්මා‘ කියන ද්‍රවිඩ ගීතය ඇසුරින් නව බයිලා සංගීත රිද්මයට “shenela” නමින් ඉංග්‍රිසි භාෂාවෙන් ගීතයක් නිර්මාණය කළා. බටහිර ගීතයක් නිසා එහි ආකර්ෂණීයත්වය තවත් වැඩි කිරීමේ අරමුණින් රූප රචනයට යොදාගත්තෙත් ඔස්ට්‍රියානු ජාතික කාන්තාවක්. ජාත්‍යන්තර වේදිකාවේ ගයන්න හැකි ගීතයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ‘හර්ස් එකේ‘ ගීතය ගැන කතා කරනවා නම් මෑත කාලයේ තරුණ පරපුර අතර වගේම සමාජ මාධ්‍ය තුළත් වැඩිපුර කතාබහට ලක්වුණා. එය වෙනස්ම ආරක නිර්මාණයක්. එහි රිද්මය සහ පද මාලාව නිසා ඉතා ඉක්මනින් රසිකයන් අතරට ගියා.


නිවේදන භූමිකාව ගැන ඔබට දැනෙන්නේ කෙසේද?


නිවේදකයකුගේ භූමිකාව ගැන කතා කරද්දී පාසල් වියේ මා ලැබූ පන්නරය ගැන අනිවාර්යයෙන්ම සිහිපත් කළ යුතුයි. උපාලි විජේසිංහ ගුරුතුමාගේ ගුරුහරුකම් මාගේ ජීවිතයට ආශීර්වාදයක් වුණා. එහිදී සාම්ප්‍රදායික නිවේදන ක්‍රියාදාමයෙන් ඔබ්බට ගිහින් ආදරණීය ආමන්ත්‍රණයක් ලෙසින් හරියට අපි නිවෙසට පැමිණෙන අමුත්තන්ට ආමන්ත්‍රණය කරනවා වගේ සරලව භාෂාව හසුරවන්න මං උත්සාහ කළා. විශේෂයෙන්ම මං නිවේදන කටයුතු කරන වැඩසටහන්වල දේශපාලනික හෝ ඕපාදූප හෝ අසභ්‍ය වචන කිසිවක් භාවිත කරන්නෙ නැහැ. “හිත ඉල්ලන තරු” වැඩසටහන මේ තරම්ම ජනතාව අතරට යන්න හේතුවත් ඒක වෙන්න ඇති කියල හිතනවා. මට රිසි සේ වේදිකාව තනා දුන් ස්වර්ණවාහිනී නාලිකාවේ සමස්ත කාර්ය මණ්ඩලය, ලයිකා නිෂ්පාදන ආයතනයේ කාර්‍යමණ්ඩලය ද මෙහිදී ආදරයෙන් සිහිපත් කරනවා. වසරේ වින්දනීයම වැඩසටහන් ඉදිරිපත් කරන්නා වගේම වසරේ වින්දනීයම වැඩසටහනට හිමි පිනකල් සම්මාන දිනා ගන්න හැකියාව ලැබෙන්නෙත් ඒ නිසා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත සම්මාන උලෙළ සඳහාත් නිර්දේශ වෙලා තියෙනවා.


කලාවේ හෙට දවස සාධනීය කරගැනීමට මොන වගේ යෝජනා, අදහස්ද තියෙන්නේ?


කලාවේ හෙට දවස සාධනීය වන්නේ කලාවට සම්බන්ධ වෙන්න ඉන්න ඊළඟ පරම්පරාව සහ දැනට සම්බන්ධව සිටින පරම්පරාව විසින් ගනු ලබන පියවරත් එක්ක. වර්තමාන කලා ක්ෂේත්‍රය ගැන කතා කරද්දි සුදුස්සාට සුදුසු තැන හිමි වෙනවද කියන ගැටලුවත් තියෙනවා. බොහෝ විට දකින්න ලැබෙන්නේ පෞද්ගලික ජීවිතයේ කරුණු ප්‍රසිද්ධියට පත්කර ගනිමින් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනාගන්නට උත්සාහ කරන පිරිසක්. ඒක කනගාටුදායක තත්ත්වයක්. ඊට හේතුව විදිහට මං දකින්නේ කලාවට සම්බන්ධ වන පුද්ගලයන් කලාව පිළිබඳ නිසි අධ්‍යයනයක් හෝ පුළුල් අවබෝධයක් නොමැතිව කලාවට පිවිසීමෙන් කලාවේ වටිනාකම නිසි පරිදි අවබෝධ කර නොගැනීම.


කලාවට පිවිසීමට ඕනෑම අයකුට හැකි වුණත් එකෙන් ඉදිරියට ගිහින් තමන්ගේ නම කලා ක්ෂේත්‍රය පුරාවට රඳවා ගැනීම අපහසු දෙයක්. වර්තමානයේදී සමාජ මාධ්‍ය භූමිකාවන් පුළුල් වීම හරහා කලාවට හිතැති ඕනෑම පුද්ගලයකුට කලාවට පහසුවෙන් සම්බන්ධ වීමේ හැකියාව තිබුණත් නිසි න්‍යායාත්මක දැනුමක් ලබා ගනිමින් කලාවේ ඉදිරි ගමනට මඟ සලසා ගතයුතු වන්නේ ඔවුන් විසින්මයි. ඒ වගේම වත්මන් පරම්පරාව කලාවේ වෘත්තීමය ගෞරවය ආරක්ෂා කරගනිමින් කලාවේ හෙට දවස සාර්ථක කරගැනීමට වගබලාගත යුතුයි.

gossiplanka image 1
Previous Post Next Post