ආදායමෙන් කොටසක් වීදි සුනඛයන්ට කන්න දෙන්න වෙන් කරනවා -මධුෂානි වික්‍රමසිංහ

gossiplanka image 2
 

වේදිකාව රංගනයේ තෝතැන්න කරගත් ඇය ඉන් පන්නරය ලැබුවාය. ‘ලොක්කා ලෙඩ වෙලා’ සමඟ මේ දිනවල රට පුරා යන ඇය ඉදිරියේදී තිරගත වීමට නියමිත සිනමාපට ද්විත්වයකින් දැකගත හැකිය. ජනප්‍රිය නර්තන ගුරුවරියක ද වන ඇය මධුෂානි වික්‍රමසිංහය. අද මේ අපූරු කතාබහට එක්වන්නේ ඇයයි.


මේ දවස්වල ඔබ වේදිකාවේ නිතරම දකින්න ලැබෙනවා. කොහොමද ඒ අත්දැකීම?


ගිහාන් ප්‍රනාන්දුගේ ‘ලොක්කා ලෙඩවෙලා‘ එක්ක මේ දවස්වල රට වටා යනවා. ඊට අමතරව ‘කොටකෙතන’ සහ ‘ඔස්කා’ කියන සිනමා නිර්මාණ දෙක මේ වසරේ තිරගත වේවි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා.


සිනමාවට වගේම වේදිකාවටත් දැන් වසන්තය උදාවෙලා නේද?


ඇත්තටම ඔව්. වේදිකාවටත් මේක හොඳම කාලයක් කියල හිතෙනවා. හොඳ දර්ශන වාර ගණනක් ලැබෙනවා වගේම ප්‍රේක්ෂකයන් නැවතත් වේදිකාව වැලඳගෙන තියෙනවා කියන එක පැහැදිලියි.


‘ලොක්කා ලෙඩවෙලා‘ මොන වගේ අත්දැකීමක්ද?


ප්‍රසිද්ධ දේශපාලනඥයකු සමඟ සම්බන්ධයක් පවත්වගෙන යන නිළියකගේ චරිතයක්. ගිහාන් ප්‍රනාන්දු ප්‍රධාන චරිතයෙන් එකතු වෙනවා. දේශපාලනඥයාගේ බිරිය විදිහට චමිලා පීරිස් සහ අනියම් පෙම්වතිය සයනී විදිහට මමත් කාන්තා චරිත දෙක සඳහා දායක වෙනවා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගිය අවුරුද්දේ ඔස්ට්‍රේලියාවේ සංචාරයකටත් සහභාගි වුණා. මේ අවුරුද්දෙත් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


මධුෂානි කලාවට ප්‍රවේශය ගන්නේ වේදිකාවෙන් නේද?


ඔව්. කලින් ඉඳන්ම වේදිකාවට සම්බන්ධ වෙලා හිටියා. මම ජාතික තරුණ සේවා සභාවෙන් ආපු කෙනෙක්. මෑතකාලීනව අනෝජා වීරසිංහගේ අභින වැඩමුළුවටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ අත්දැකීම් එක්ක තමයි මම වේදිකාවට එන්නේ.


ඔබ ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධ වුණු අතීතයත් සිහිපත් කරමු?


2018දී මුලින්ම මං සම්බන්ධ වෙන්නේ ජයසේකර අපෝන්සුගේ තටු’ වේදිකා නාට්‍යයට. ඊට පස්සේ සරත් කොතලාවලගේ ‘පාරාවෝ සටන් වදී’. ‘ලොක්කා ලෙඩවෙලා’ කියන්නේ මගේ තුන්වැනි වේදිකා නිර්මාණය. වේදිකාවේ නිතරම ප්‍රවීණයන් එක්ක ගැටෙන්න ලැබුණු එක ආධුනික මට ලොකු අත්දැකීමක් වුණා.


වේදිකාව ඔස්සේ ක්ෂේත්‍රයට පිවිසෙනවා කියන්නෙම ලොකු පන්නරයක් නේද?


ඇත්තටම ඔව්. වේදිකාවෙන් ගන්න දේ රංගනයට විතරක් නෙවෙයි මුළු ජීවිත කාලෙටම වලංගුයි. වෙන කොහෙන්වත් ලැබෙන්නෑ ඒ වගේ අත්දැකීමක්. වේදිකාවේ අත්දැකීම කියන එක රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් ලබන්නම ඕන දෙයක් විදිහටයි මං දකින්නේ. ඒ අතින් මං හරිම වාසනාවන්තයි. වේදිකාව කියන්නේ අපේ ඇඟේ දහඩිය, මහන්සිය තියෙද්දිම සජීවීව ප්‍රතිචාර ලැබෙන අවස්ථාවක්. ඒක මාර හැඟීමක්. ජීවිතේට හොඳ අත්දැකීමක්. නගරවලටත් වඩා ගම්බදව ලැබෙන පිළිගැනීම, ආදරය හරිම ඉහළයි.


මධුෂානිගෙ පුංචි තිරයේ අත්දැකීම කොහොමද?


පුංචි තිරයට නම් මගේ සම්බන්ධතාව ගොඩක්ම අඩුයි. සිනමාවෙයි වේදිකාවෙයි තමයි වැඩිම. ටෙලි නිර්මාණ තුනකට වගේ සම්බන්ධ වෙලා තියෙනවා. මුලින්ම නාලන් මෙන්ඩිස්ගේ සල්සපුනා. ඊට පස්සේ තවත් ටෙලි නිර්මාණ දෙකකට සම්බන්ධ වුණා. පුංචි තිරයට නම් ආරාධනා ලැබෙනවා අඩුයි.


එතකොට සිනමාවට තියෙන සම්බන්ධතාව?


ක්‍රිෂාන්ත මනම්පේරිගේ ‘හිතුමතේ ජීවිතේ’ සිනමාපටයේ පුංචි චරිතයකින් තමයි මං මුලින්ම සිනමාවට එන්නේ. ඒක හරිම පුංචි කැරැක්ටර් එකක් වුණත් පාලිත පෙරේරා වගේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් එක්ක ඒ අත්දැකීම බෙදාගන්න ලැබීම ලොකු භාග්‍යක්. ඔස්කා චිත්‍රපටයට සම්බන්ධ වෙන්නෙත් ඔහුත් එක්ක. ඒක හරිම රසවත්. මං හරිම චූටි තැනකින් ආව කෙනෙක්. ඉතාම කෙටි කාලයකින් ප්‍රධාන චරිත හරහා සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා කියන්නෙම ලොකු ජයග්‍රහණයක්.


කොටකෙතන කියන්නෙ සත්‍ය සිදුවීමක් ඇසුරින් කළ නිර්මාණයක්. ඒ සුවිශේෂීත්වය කොහොමද දැනුණේ?


කොටකෙතන ඝාතන රැල්ල ගිය කාල සීමාවට අනුව තමයි සියල්ල රූගත කෙරුණේ. ඇඳුම් පැලඳුම්, මේකප් , කොණ්ඩ සැරසිලි ආදී සියලුම දේ එදා තත්ත්වයෙන්ම කරන්න උත්සාහ කළා. අපි ලොකු කාලයක් පුහුණුවීම් කළා. ශරීරය හැඩගස්වා ගත්තා. සමහර සිදුවීම් කරද්දි අපි කම්පනයට පත්වෙනවා. ගහ, මරාගැනීම් වගේ සිද්ධි නිසා අපිට ලොකු පුහුණුවීම් ක්‍රියාවලියකට යන්න සිද්ධ වුණා. ඒ මුළු සිදුවීමම එකවර ෂූට් කරන්නත් වුණා. අධ්‍යක්ෂවරයා සෑහෙන කාලයක් අපිත් එක්කම පුහුණුවීම්වල ඉඳලා නිර්මාණය සාර්ථක කරගත්තා. වේදිකාවේ ලබපු පන්නරය මට මෙතනදි ගොඩක් උපකාරී වුණා. මොකද වේදිකාවේ අපි මුළු කාලයම සජීවීව රඟපාන නිසා ඒ හැකියාව, කුසලතාව මෙතනදිත් බලපෑවා. සජීවීව එක ටේක් එකේ ගන්න පුළුවන් වෙන්නෙත් වේදිකාවේ අපි ඒ අත්දැකීම ලබල තිබුණු නිසා.


ඔස්කා කියන්නේ ඊට වෙනස් අත්දැකීමක්?


ඔව්. ඒකෙ කැරැක්ටර් දෙකයි තිබුණේ. ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් සහ නවක නිළියක් අතර කතාවක්. පාලිත සිල්වා සහ මං. මුළු ඕඩියන්ස් එකම අල්ලගෙන ඉන්න ඕන මේ කැරැක්ටර්ස් දෙකෙන්. ඒක මට අලුත් අත්දැකීමක් වුණා. පාලිත අයියාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඔහුගේ අත්දැකීම් එක්ක මගේ කැරැක්ටර් එක ප්ලේ වෙන උස්පහත් වීම් කියල දුන්නා. කැරැක්ටර් දෙකක් දිහා බලාගෙන ඉන්නව කියන්නේ බෝරිං වැඩක්. ඒ වගේම ප්‍රේක්ෂකාගාරයට කම්මැළිකමක් නොදැනෙන්න අල්ලගෙන ඉන්නත් ඕන. ඒ මට්ටමට චිත්‍රපටයක් හදනවා කියන්නෙත් ලොකු හැකියාවක්. වේදිකාවේ අත්දැකීම තමයි නැවත නැවතත් මේ හැමතැනටම බලපෑවේ.


ඔබ නර්තන ගුරුවරියක්. රොමෑන්ස් බිහිවුණු විදිහත් අපූරුයි නේද?


රොමෑන්ස් කියන්නෙ මගේ නර්තන පාසල. මේ වෙද්දි බොහෝ ප්‍රදේශවල ජනප්‍රියයි. රොමෑන්ස් කියන්නේ ජීවිතේ මං මුලින්ම හදන්න ගත්ත මගේ බලු සුරතලා. පහුගිය කාලෙ එයා නැතිවුණා. මං එයාට හරිම ආදරෙයි. එයාව මතක් වෙන්න තමයි මං නර්තන පාසලට ඒ නම දැම්මේ. ඒකෙ ආදායමෙන් කොටසක් වීදි සුනඛයන්, පූසන් වගේ සතුන්ට කන්න දෙන්න වෙන්කරනවා. ඒ නිසා නර්තන පාසලත් දැන් ගොඩක්ම ජනප්‍රියයි. නර්තන පාසලේ දරුවන් පාස්වර්ඩ් එකට දාගෙන ඉන්නෙත් රොමෑන්ස් කියලා. එයාල තාමත් දන්නෙ නැහැ මේක මේ මගෙ බලු සුරතලාගේ නම කියලා.


ඡායාරූප- තිලක් පෙරේරා

gossiplanka image 1
Previous Post Next Post