අම්මා තමයි මගේ ලෝකයම වුණේ -ගගනිදු සමරසිංහ

gossiplanka image 1
 

ගගනිදු සමරසිංහ රංගනයට, ගායනයට,වාදනයට මෙන්ම නිවේදනයටද දස්කම්පාන පුංචි පුතෙකි. මේ දිනවල විකාශය වන ‘පහේ ළමයි’ ටෙලිනාට්‍යයේ සනුකගේ චරිතයෙන් මෙන්ම තේමා ගායනයෙන් ඔබ හමුවට එන ඔහු ක්ෂේත්‍රයේ දිගු ගමනක් යෑමට බලාපොරොත්තුව සිටියි.


ගගනිදු, කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?


මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන “පහේ ළමයි” ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම පාසල් අධ්‍යාපන කටයුතුත් කරගෙන යනවා. “පහේ ළමයි” ටෙලිනාට්‍යයේ තේමා ගීතය ගායනා කරන්නත් මම සම්බන්ධ වුණා.


කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?


දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් – 11 අවසන් 24 දෙනා අතරට මට එන්න පුළුවන් වුණා. එතැන තමයි මගේ කලා ලෝකයේ ආරම්භය. මම ගුවන්විදුලි සංස්ථාවේ බී ශ්‍රේණියේ ළමා ගායකයෙක්. මුලින්ම මම සම්බන්ධ වුණේ ටෙක්ස්ටයිල් ආයතනයක වෙළෙඳ දැන්වීමකට.


පෞද්ගලික විස්තර ටිකකුත් කියමු?


මම ඉන්නේ වලස්මුල්ලේ. වලස්මුල්ල ජාතික පාසලේ අට ශ්‍රේණියේ තමයි ඉගෙන ගන්නේ. ගෙදර ඉන්නේ මමයි, අම්මයි. අප්පච්චි අපෙන් හදිස්සියේ සමුගත්තා. අම්මා තමා මගේ ශක්තිය, මගේ ලෝකයම වුණේ.


කලා කටයුතුවලට පාසලෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු?


කලා කටයුතුවලට පාසලෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා. පාසලේ හැම උත්සව අවස්ථාවකදීම මට සින්දු කියන්න දෙනවා. ඒ වගේම ගායන තරගවලට සහභාගි කරවනවා. විදුහල්පතිතුමා සහ ගුරු මණ්ඩලය මට විශාල සහයෝගයක් ලබා දෙනවා වගේම යාළුවොත් පුළුවන් උපරිමයෙන් උදවු කරනවා.


මේ වෙනකොට ඔයා සම්බන්ධ වෙලා තියෙන නිර්මාණ ගැන කතා කළොත් ?


බන්දුල නානායක්කාරවසම් සර්ගේ “දිසාපති” කියන ටෙලිනාට්‍යය, තුෂානි ජයසිංහ මිස්ගේ “මීරා” චිත්‍රපටය, කීර්ති බණ්ඩාර සර්ගේ “කයිවාරුකාරයෝ” වේදිකා නාට්‍යවලට මම සම්බන්ධ වෙලා තියෙනවා. ඒවා ඉදිරියේදී දැකගන්න පුළුවන්.


මොනවද ගගනිදුට තියෙන වෙනත් හැකියාවන් ?


රංගනයට අමතරව මට ගායනය, ගිටාර් වාදනය පුළුවන්. ඒ වගේම නිවේදනයත් පුළුවන්. “මහ බෝ සෙවණේ, රුසිරු මගේ යාළු, ගලා හැලෙන දිය දහරේ” කියන මගේම ස්වතන්ත්‍ර ගීත තුනක් මේ වෙනකොට එළිදක්වලා තියෙනවා. ගායනා අංශයෙන් මම සමස්ත ලංකා පළමු ස්ථානයත් දිනා ගත්තා.


ඔයාගේ ජනප්‍රියත්වයට හේතු වුණේ?


“දෙරණ ලිට්ල් ස්ටාර්” සහ “හිරු කිඩ්ස් ස්ටාර්” වගේම සියත ටීවී සිඟිති අවුරුදු කුමරා 3 වන ස්ථානය දිනා ගැනීම මගේ ජනප්‍රියත්වයට හේතු වුණා.


රූපගත කිරීම්වලදී ගගනිදුට මුහුණදෙන්න වුණ අමතක නොවෙන සිදුවීම් මොනවද?


“දිසාපති” ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලදී මට ඇළක බැහැලා දුවන්න තිබුණා. ඒකෙදි සෙරෙප්පුවක් මඩේ එරුණා. මං ආපහු හැරිලා ඒක ගන්න බැලුවට බැරි වුණා. ඉතින් එහෙම්ම එක සෙරෙප්පුවෙන් දිවුවා. බන්දුල සර් කිවුවා ඒක පිටපතේ නැති කොටසක් වුනත් ඒ සිද්ධිය හොඳට ගළපෙනවා කියලා.


තව දවසක් වෙ‍ෙළඳ දැන්වීමක රූගත කිරීම්වලට යනකොට මගෙ කොණ්ඩේ අඩු කරන්න වුණා. කොණ්ඩෙ කපද්දි මට බැණුම් අහන්නත් වුණා, මොකද මම ටිකක් අව්වට කළුවෙලා හිටි නිසා.


තව සිද්ධියක් කියන්නම්. එක්තරා දැන්වීමක රූගත කිරීම් කෙරුවේ කිතුල්ගල මහ කැලෑවක. ඒක තමයි මම ආසම අත්දැකීම. මොකද කට්ටිය එක්ක කූඩැල්ලෝ ඉන්න මහ කැලයක් මැදින් චූටි ලස්සන දොළ පාරවල් ගොඩක් මැද්දෙන් අපි ඒ වැඩේ කළේ.


ඉස්සරහට එන්න තියෙන අලුත් වැඩ තියෙනවද?


ඔව්, ඉදිරියේදී බන්දුල නානායක්කාරවසම් සර්ගේ “දිසාපති” ටෙලිනාට්‍යය සහ තුෂානි ජයසිංහ මිස්ගේ “මීරා” චිත්‍රපටය තිරගත වෙන්න නියමිතයි. තවත් අලුත් චිත්‍රපටයකට ආරාධනා ලැබුණත් ඒක මම ප්‍රතික්ෂේප කළා. මොකද අධ්‍යාපන කටයුතුවලට මූලිකත්වය දෙන්න ඕන. ප්‍රදීපා ධර්මදාස මහත්මියගේ ගීතයක රූප රචනාවකටත් මට සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා. ඒ වගේම සංජීව සංකල්ප මහත්මයාගේ “අහසින් එහා” චිත්‍රපටයේ සින්දු දෙකක් පහුගිය දවසක පටිගත කළා. චන්දන ධර්මප්‍රිය සර්ගේ “වන්දනාව” කෙටි චිත්‍රපටයේ රූගත කිරීම්වලට ළඟදිම කතරගම යනවා.


ඔයාගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද?


ඉංජිනේරුවෙක් වෙන්න මම කැමතියි. විද්‍යාව, ගණිතය, සංගීතය විෂයන්ට ගොඩක් කැමතියි. දැනට මගේ නමින් යූටියුබ් නාළිකාවක් හදලා මට පුළුවන් විදිහට 8 ශ්‍රේණියේ විද්‍යාව පාඩම් මාලාව අනික් අයටත් උගන්වනවා.

gossiplanka image 2
Previous Post Next Post