මේ දිනවල තිරගත වන ‘ෆාදර්’ චිත්‍රපටයේ විශේෂ භූමිකාවක නියැළෙන මලීෂා උඩුවර ඩෙස්මන්ගේ නංගී ලෙස රංගනයෙන් දායක වෙමින් සිය රංගන කුසලතාව මැනවින් පිළිඹිබු කරන්නීය. කලාවේ බොහෝ අංශයන්හි දස්කම් දක්වන ඇය අද අප හා කතාබහට එක්වූවාය.
මුලින්ම මලීෂා කවුද කියල හඳුන්වලා දෙමු?
මම මලීෂා සෙව්මිණි උඩුවර. උපන් ගම දෙහිඕවිට. 5 වන ශ්‍රේණිය දක්වා පාසල් ගියේ දෙහිඕවිට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයට ශිෂ්‍යත්වය සමත් වෙලා උසස් පෙළ දක්වා ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයට ගියා.
කලාවට යොමු වුණේ කොහොමද?
මම පොඩි කාලෙ ඉඳන්ම ආස වුණේ කලාවට. ඒත් අම්මා ආස නිසා මම වාණිජ අංශයෙන් උසස් පෙළ කළා. පසුව සද්ධාමංගල සූරියබණ්ඩාර සර්ගෙ ආයතනයකින් ප්‍රසන්න මහගමගේ සර්ගෙන් රංගනය ඉගෙන ගත්තා. සද්ධා සර්ගෙ වැඩවලට දායක වුණා. පසුව සිනමාවේ වැඩක් ලැබුණේ සුසංග කහඳවල අයියා කතා කරලා ජනක ලියනගේ මහතාගේ ‘කොටකෙතන‘ චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය කරන්න. ඒ චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට තියෙන එකක්. ඒකට ගියහම ඒ චිත්‍රපටයේම චරිතයකුත් මට ලැබුණා. ඒ චිත්‍රපටයේදී හමුවුණු මගේ අම්මට හිටපු දිල්රුක්ෂි අක්කා තමයි ෆාදර් චිත්‍රපටයට මාව සම්බන්ධ කළේ.
මුල්ම නිර්මාණය මොකක්ද?
සද්ධා මංගල සූරියබණ්ඩාර සර්ගෙ කෝලම්කුට්ටම ටෙලි නාට්‍යයේ සුළු චරිතයක් කළා. නමුත් ඒක වැඩිය පෙනෙන චරිතයක් නෙවෙයි.
සිනමාවේ දායක වුණු පළමු නිර්මාණය?
ජනක ලියනගේ මහතාගේ ‘කොටකෙතන‘ චිත්‍රපටය තමයි පළමුවෙන්ම දායක වූ සිනමා නිර්මාණය. නමුත් පළමුව තිරගත වුණේ දෙවෙනියට මම සම්බන්ධ වූ චමින්ද ජයසූරිය මහතාගෙ ෆාදර් චිත්‍රපටය. ඇත්තටම මම ආසාවෙන්ම කරපු මට ලැබුණු ලොකු අවස්ථාවක් තමයි ෆාදර් ෆිල්ම් එක.
මේ වෙද්දී costume designing , Assistant directing කරපු නිර්මාණ ගැන කෙටියෙන් සඳහන් කළොත්…
මම costume designing , Assistant directing දැනට කරමින් පවතිනවා. හිරු නාලිකාවේ අන්දරේ ටෙලිනාට්‍යයේ costume, හිරු නාලිකාවේ අහස් ටෙලිනාට්‍යයේ costume, ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්මයාගේ හිත් අතර හිස්තැන් ටෙලිනාට්‍යයේ මුල් කාලයේ Assistant directing , සසංකාරා අවසාන කාලයේ Assistant directing කළා. මම පසුව විශ්වවිද්‍යාලයට යාමට තීරණය කිරීමත් සමඟ බොහෝමයක් වැඩ මට අතපසු වුණා. පසුව සමහර වැඩවල දවස් දෙක තුනේ වැඩවලට යාළුවො කතා කරන ඒවට යන්න පටන් ගත්තා. මෑතකදි හිරු නාලිකාවෙ ‘අම්මා’ ටෙලි නාට්‍යයේ costume කරන්න ගියා. ඒත් කැම්පස් වැඩ එක්ක අමාරු නිසා වෙන කෙනෙක් එතනට දාලා මම ඉවත් වුණා.
ඉදිරියේදී අපට දකින්න තියෙන නිර්මාණ මොනවද?
රඟපෑ නිර්මාණවලින් නම් ජනක ලියනගේ මහතාගේ කොටකෙතන චිත්‍රපටය විතරයි එන්න තියෙන්නේ. කතා කරපු සමහර ඒවට යන්න බැරි වුණා. මම costume එහෙම කරපු නිසා ඒ වැඩවලට ගිහින් හිටිය නිසා ගොඩක් ඒවා මඟහැරුණා.
චරිතයක් භාර ගන්න කලින් මොනවද බලන්නේ
මට ලැබෙන්නේ මොන වගේ චරිතයක්ද, කා එක්ක ද මට රඟපාන්න තියෙන්නේ සහ ඉන්න ආටිස්ලා කවුද කියන එක බලනවා.
රංගනයේදී සීමාවන් තියෙනවද?
ලොකුවට ඇඟ පේන ඒව අඳින්න ආස නැහැ මම. ඒ වගේම වැඩිහිටියන්ට පමණයි නිර්මාණවලට සම්බන්ධ වෙන්න කැමති නෑ
දිගටම රඟපාන්නද කැමැත්ත?
රඟපාන්න ආසාවෙන් තමයි ආවේ. ඒත් ගොඩක්ම කරන්න වුණේ costume designing , Assistant directing වැඩ. ඒ නිසා වැඩි කාලයක් ඒ දේට යොමු කරන්න වුණා.
වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්නද කැමැත්ත?
රංගන ශිල්පිනියක් වෙන්න මගේ හිතේ එදා ඇති වුණු ආසාව තාමත් ඒ විදියටම තියෙනවා.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
අම්මාගෙන් සහ අප්පච්චිගෙන් ලොකු සහයෝගයක් හම්බෙනවා. ඒ සහයෝගය නිසා තමයි මට නිදහසේ මේ කලා වැඩකටයුතු කරගෙන යන්න ඉඩ ලැබිලා තියෙන්නේ.
අනාගත බලාපොරොත්තු ගැන කතා කරනවා නම්?
බලාපොරොත්තු නම් ගොඩක් තියෙනවා. රංගන ශිල්පිනියක් වෙන ගමන් ව්‍යවසායකයෙක් වෙන එක තමා බලාපොරොත්තුව.