කොටු ටෙලිනාට්‍යයේ සිතූගේ චරිතය ඔස්සේ ප්‍රේක්ෂක ඔබ හමුවට එන තිළිණි කෞෂල්‍යා දක්ෂතා රැසකින් පිරිපුන් රංගන ශිල්පිනියකි. නිළියක්, හඬකැවීම් ශිල්පිනියක්, නිවේදිකාවක් මෙන්ම විටෙක තිරපිටපත් රචනයේද යෙදෙන ඇය අද අප හා කතාබහට එක්වූවාය.
කොහොමද තිළිණි මේ දවස්වල වැඩ කටයුතු?
කොටු ටෙලිනාට්‍යයේ වගේම ජහුටා නාට්‍යයේත් රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒත් එක්කම දෙරණේ ජොනී ටෙස්ට් කාටූන් එකේ සූසර් ටෙස්ට හඬකවනවා. ගුරු වෘත්තියත් එක්කත් මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. ඒ අතරේ මියුසික් වීඩියෝ එකකුත් කළා. ළඟදිම ඒකත් බලාගන්න පුළුවන්.
හඬකැවීම් ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයට පිවිසෙන ඔබ කොහොමද මේ තරම් දුරක් ආවේ?
මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ හඬකැවීම් ශිල්පිනියක් විදිහට අතුල සර්ගේ මඟ පෙන්වීම යටතේ. බෞද්ධයා නාළිකාවේ සිට ජාතික රූපවාහිනිය දක්වා නිවේදිකාවක් විදිහටත් කටයුතු කරනවා. මේ අතරේ තමයි මට “මල් පිපෙන කාලේ” ටෙලි නාට්‍යයට ආරාධනා ලැබෙන්නේ. IMPAS ඇකඩමිය හරහා සද්ධාමංගල සූරිය බණ්ඩාර, චේතනී විජයතුංග මිස්, ප්‍රසන්න මහගමගේ ප්‍රවීණයන් යටතේ රංගනය හදාරනවා. ඒත් එක්කම මට “කෝලම් කුට්ටම” නාට්‍යයට ආරාධනා ලැබෙනවා. ඒ විදිහට තමයි මම ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ.
රංගනයට ආධුනික වුවත් කලාව තුළ ඔබ මල්ටි ටැලන්ටඩ් නේද?
හරි ටීවී යූටියුබ් නාලිකාවේ විකාශනය වුණු ශෝෂල් ඩ්‍රමා එකෙන් තමයි මාව ජනප්‍රිය වෙන්නේ. මං කලාවට සම්බන්ධ වෙන්නේ හඬ කැවීම් ශිල්පිනියක් විදිහට. දැනට මම විවාද විනිසුරුවරියක් වශයෙන් පාසල් විවාද විනිශ්චය කරනවා. ස්ක්‍රිප්ට් ලියනවා, රඟපානවා, නිවේදනය කරනවා, හඬකැවීම් කටයුතුත් කරන අතරේ විවාද විනිශ්ච කටයුතුවලත් නියැළෙනවා.
කොහොමද සිතූට ලැබෙන ප්‍රතිචාර?
සිතූට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මොකද සිතූ කියන්නේ ගොඩක් අහිංසක චරිතයක්. මගේ ජීවිතේ මට ලැබුණු හොඳම චරිතයක් තමයි සිතූ. මුල් කාලේ ටිකක් අභියෝගාත්මක දර්ශන කීපයක් තිබුණා. ඇත්තටම සතුටුයි සිතූට ලැබෙන ප්‍රතිචාරවලට.
රංගන ශිල්පිනියක් වීම කුඩා කාලේ ඉඳන් තිබුණ හීනයක්ද?
රංගනයට එන්න මට හීනයක් තිබුණේ නෑ. පාසල් කාලේ ගොඩක් කළේ විවාද, නර්තන වැඩ. ඒ නිසා මට නාට්‍ය හා රංග කලාව ගැන ලොකු අවධානයක් තිබුණෙ නෑ. හැබැයි අතුල රන්සිරිලාල් සර් හරහා හඬ කැවීම්, නිවේදනය ඉගෙන ගන්නවා. සර්ගෙ මගපෙන්වීම යටතේ වේදිකා නාට්‍යය කළා. කවදාවත් රංගන ශිල්පිනියක් වෙයි කියලා හීනයක් හිතේ නොතිබුණාට අහම්බෙන් හරි දෛවය අද මාව මෙතනට ගෙනත් තියෙනවා.
නවක රංගන ශිල්පිනියක් විදිහට වර්තමාන කලා ක්ෂේත්‍රය දකින්නේ කොහොමද?
ගොඩක් හොඳයි. රංගනය හදාරන්න හොඳ අවස්ථාවන් තියෙනවා. ඉස්සර රඟපාන්න එනවා කිව්වම තියෙන විරෝධය දැන් නැහැ. මේ වෙද්දී ක්ෂේත්‍රයට එන්න මාර්ග ගොඩක් විවර වෙලා තියෙනවා. මොන විදිහට ආවත් රංගනය ඉගෙන ගෙන ආවොත් කවදහරි දවසක ක්ෂේත්‍රය තුළ පැවැත්මක් හදාගන්න පුළුවන් කියලයි මං හිතන්නේ.
මෙතෙක් නිරූපණය කළ චරිත පිළිබඳව ඔබ තෘප්තිමත්ද?
ඔව්. ලැබුණු හැම චරිතයක් ගැනම මම සෑහෙන්න තෘප්තිමත්. හැබැයි එක්තරා චරිතයක් තියෙනවා මම කතා කරන්න අකමැතියි. පසුගිය කාලයේ යූටියුබ් නාළිකාවක කරපු චරිතය ගැන නම් තෘප්තිමත් නැහැ. මොකද සමහර නිර්මාණ ඇතුළේ අපිව වැරදි විදිහට සමාජගත කරන්න උත්සාහ කරනවා. එහෙම තැන්වලදි හරි පරිස්සම් වෙන්න ඕන කියන තැන මම ඉන්නවා.
ඉදිරියේදී ඔබව දකින්න පුළුවන් නිර්මාණ ගැනත් මතක් කරමු?
ටෙලිනාට්‍ය තුනක රූගත කිරීම් ඉවරයි. මියුසික් වීඩියෝ එකක් කළා. ඒවා ඉදිරියේදී බලාගන්න පුළුවන්.