රනීෂ් හේවගේ මෙරට සිනමා තිරයට පෑයූ නවතම කතා නායකයා ය. ඔහු පසුගියදා තිරගත වූ නලින් රාජපක්ෂගේ “සයනයිඩ්“ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් සිනමාවට පැමිණියේය. එහෙත් ඔහු මින් ඉහත චිත්‍රපට කිහිපයකටම රංගන දායකත්වය ලබා දී ඇත. ‘සයනයිඩ්‘ හරහා ඔහු කාගේත් අවධානය දිනා ගනිමින් ප්‍රධාන චරිතයකින් සිනමාවට එක් වන්නේය. මේ නිසාම මෙවර අපේ කතා බහ සඳහා කැඳවා ගත්තේ රනීෂ් හේවගේය.
රනිල් කොහොමද සයනයිඩ් චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ?
මම ‘සයනයිඩ්‘ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ නලින් රාජපක්ෂගේ තිබෙන ඇඳුනුම්කම මත. නලින් එක්ක මම මීට කලිනුත් වැඩ කරලා තිබුණා. ඔහු තමයි මාව සිනමාවට හඳුන්වා දෙන්නේ; රේන්බෝ චිත්‍රපටය හරහා. ඒක 2016 දී තිරගත වුණා. රෝන්බෝ නිසා මට සුනිල් ප්‍රේමරත්නව හඳුනාගන්න ලැබෙනවා. ඔහු අධ්‍යක්ෂණය කළ “ටවුමේ ඉස්කෝලේ“ චිත්‍රපටය සඳහාත් මාව සම්බන්ධ කරගන්නවා.
‘සයනයිඩ්‘ චිත්‍රපටයේ සහන් ගැන ඔබට මොකද හිතන්නේ?
සහන් කියන්නේ මාධ්‍යවේදියෙක්. ඇත්තටම මේ චිත්‍රපටය 2008 වකවානුවේ සිද්ධවුණු සත්‍ය සිදුවීමක් අනුසාරයෙන් තමයි නිර්මාණය වුණේ. සහන් කියන මාධ්‍යවේදියාට යම් කාර්යභාරයක් පැවරෙනවා; ඉන්දියාවට ගිහින් යම් වාර්තාකරණයක් කරන්න. ඔහු ඉන්දියාවට ගිහින් මහාචාර්ය විශ්වජිත්ගේ සහාය ඇතිව ඒ වාර්තාකරණය කරන අතරතුර තමයි; ඉන්දියානු ඔත්තු සේවය හරහා වර්ධනාජා පෙරුමල් මහතාගේ සහ ඔහුගේ පවුලට සිද්ධ වෙන්න යන දේ ආරංචි වෙන්නේ. ඊට පස්සේ ඔහු ඒකට මැදිහත් වෙනවා.
සහන්ගේ චරිතය රඟපාද්දී ඔබට තිබුණ අභියෝග මොනවාද?
දිගටම මගේ සිනමා ජීවිතය මට ලැබිලා තියෙන්නේ වෙනස් චරිත. මේ චරිතය මට බාර දෙන්නේ රූගත කිරීම් වලට මාස හයකට කලින්. මට ඔහු කිව්වා
යම් සූදානම් වීමක් කරන්න ඕනා‘ වෙයි කියලා. ඔහු මට යුද්ධ කාලෙදි යුද්ධ වාර්තාකරණය කරපු මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම හඳුන්වලා දුන්නා. ඔවුන් සමග කතාබහ කරමින් ඔවුන්ගේ අත්දැකීම් බෙදා හදාගත්තා. ඊට අමතරව ඔහු මට කිව්වා; මගේ ශරීරයේ හැඩය වෙනස් කරගන්න කියලා. මගේ සිහින් සිරුරක් තිබුනේ. නමුත් ඔහුට අවශ්‍ය වුණේ පුෂ්ටිමත් සිරුරක් තිබෙන කෙනෙක්. අපි මේ චිත්‍රපටයේ රූගත කළේ 2018 වර්ෂයේ. මේ චිත්‍රපටයේ මට සටන් කරන්නත් සිද්ධ වෙනවා. ඒ නිසා සටන් පුහුණු වෙන්න වුණා. ජිම් එකකට ගිහින් ශරීරය හදාගන්න සිද්ධ වුණා. ඒ වගේම මට මානසිකත්වයත් ටිකක් වෙනස් වෙන්න සිද්ධ වුණා. මාධ්‍යවේදියෙක් කියන්නේ වෙනම ආකාරයකින් සෑම දෙයක් දිහාම බලන කෙනෙක්. ඒ මානසික තත්ත්වය මමත් ගොඩනගාගන්න උත්සාහ කළා. සහන් හැම වෙලේම ලංකාවේදී වගේම ඉන්දියාවෙදිත් ජනතාවට සත්‍ය ප්‍රකාශ කිරීමේ ඕනෑකමින් පසුවෙනවා. ඒක නිසා තමයි ඔහුට විවිධ අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නෙත්.
මේ චිත්‍රපටයේ බහුතරයක් දර්ශන ඉන්දියාවේ නේද ගත්තේ?
ඔව්. ඉන්දියාවේ මාස හතරක් පහක් වැනි කාලයක් ඉන්න සිද්ධ වුණා. ඒ කාලේ ඇතුළත අපට අවශ්‍ය පහසුකම් සියල්ල නලින් රාජපක්ෂ මහත්මයා සැපයුවා. මට කිසිම අපහසුවක් තිබුණේ නෑ. මේ චිත්‍රපටයේ සියයට 85 ක් පමණම දර්ශන ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයත්, ආන්ද්‍රා ප්‍රදේශ්වලත් තමයි රූගත කළේ. වැඩිපුරම දර්ශන තිබුණේ මට සහ රාජා ගනේෂන් මහත්මයාට. ලංකාවෙත් සීයට දහයක විතර රූගත කිරීම් කළා.
ඉන්දියාව කියන්නේ සාමාන්‍යයෙන් සිනමාවට ලොල් ජනතාවක් ඉන්න රටක්. ඔවුන්ට චිත්‍රපටයේ දෙමළ ද සිංහල ද හින්දි ද කියල නෑ. සෑහෙන සෙනගක් එනවා රූගත කිරීම් නරඹන්න. අපිට සෙනඟ කන්ට්‍රෝල් කර ගන්න මෙහෙට වඩා සෑහෙන්න අමාරු වුණා. ආන්ද්‍රා ප්‍රදේශවල භාෂාව දෙමළ නොවෙයි; තෙළිඟු අපි කාටවත් තෙළිඟු බැහැ. රාජා ගනේශන් මහත්මයාටත් බැහැ. ඒ නිසා අපිට සන්නිවේදන ප්‍රශ්න දැඩි විදිහට බලපෑවා. නමුත් අපිට උදව් කරන්න කට්ටියකුත් හිටියා.
කොහොම වුනත් අභියෝග රැසක් මධ්‍යයේ අපි රූගත කිරීම් සම්පූර්ණ කළා.
ඔබ සම්බන්ධ වෙන්නේ ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල නමක් ඇති දේශපාලනඥයෙකුගේ කතාවකට. ඔබ වර්ධරාජා පෙරුමාල් ගැන හෝ ඔහුගේ දේශපාලන දර්ශනය ගැන දැනගෙන හිටියද? ඒ ගැන අධ්‍යයනය කළාද?
දේශපාලනය කියන්නේ මගේ ප්‍රියතම විෂයක්. මම ඉස්කෝලෙදි විෂයක් හැටියට ඉගෙන ගත්තේ නැති වුණාට දේශපාලනය ගැන හැමවිටම අවධියෙන් ඉන්නේ. වර්ධරාජා පෙරුමාල් කියන චරිතය මට අලුත් චරිතයක් නොවෙයි. මම ඔහු ගැන දැනගෙන හිටියා. හැබැයි චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වනතුරුත් මට ඔහු හමුවෙලා තිබුණේ නෑ. නලින් රාජපක්ෂට නම් මම හිතන්නේ ඔහු වරින් වර හමු වී තිබුණා. මට හමුවෙන්න අවස්ථාව ලැබුණේ රූගත කිරීම් අවසන් වුණාට පස්සේ. මගේ චරිතයත් සමඟ ඔහුගේ චරිතයට දර්ශන තිබුණේ නෑ. මට වැඩිපුරම රඟපාන්න තිබුණේ මහාචාර්යවරයා සමඟයි. වර්ධරාජා පෙරුමාල් මහත්මයා මේ චිත්‍රපටයේ ට්‍රේලර් එක බැලුවා. ඊට අමතරව සංස්කරණය කරන තැනට ඇවිත් හිටියා. ඔහු ඒ දැකපු දෙයින් සතුටු වුණා. මේ චිත්‍රපටය නිසා වර්ධරාජා පෙරුමාල් මහත්මයා ගැන අපි නොදන්න බොහෝ දේවල් දැනගත්තා. ඔහු උතුරු නැගෙනහිර හිටපු ප්‍රධාන අමාත්‍යවරයා. ආර්.එල්.එෆ් එකේ දෙවෙනියට පත්වෙච්ච නායකයා තමයි ඔහු. පළවෙනි නායකයා වෙන්නේ පත්මනාභා මහත්මයා. පද්ම නාභා මහත්මයා එල්.ටී.ටී.ඊ එකෙන් ඉන්දියාවෙදි මැරුවා. ඒක තමයි; එල්.ටී.ටී.ඊ. එක ඉන්දියාවෙදි කරපු පළවෙනි ශශ්‍රී ලාංකිකයෙකුගේ ඝාතනය වුණේ. පද්මනාභාගෙන් පසුව තමයි වර්ධරාජා පෙරුමාල් නායකත්වයට පත්වන්නේ.
රනීෂ්ට කලාව ගැන ඇල්මක් ඇතිවෙන්නේ කොහොමද?
මම ඉපදුණේ දඹුල්ල ගලේවෙල ප්‍රදේශයේ. මගේ තාත්තා බැංකු කළමනාකරුවෙක්. එයාට අවුරුදු පහකට සැරයක් මාරු වීම් ලැබෙනවා. ඒ අනුව මම මුලින්ම ඉස්කෝලේ ගියේ හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා විද්‍යාලයට. ඊට පස්සේ මම කළුබෝවිල ශාන්ත පීතර විද්‍යාලයට ගියා. ඒ ලෙවල් කළේ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයෙන්. කලාවට සම්බන්ධ වෙන්න ප්‍රධාන හේතුව වෙන්නේ ඇත්තේ අම්මා තාත්තගේ නැඹුරුව වෙන්න ඇති. ඒ දෙන්නම චිත්‍රපට නරඹන දෙන්නෙක්. චිත්‍රපට ආභාසය ගෙදර තිබුණා. තාත්තා නිතරම චිත්‍රපට ශාලාවලටත් අපිව රැගෙන ගියා. ඉස්කෝලෙදි මම කිසිම කලා කටයුත්තකට සම්බන්ධ වුණේ නෑ. ක්‍රීඩාවට තමයි සම්බන්ධ වුණේ.
ඒ කාලෙ මට හරිම සබකෝලයක් තිබුණා. නමුත් ඒ ලෙවල් වලින් පස්සේ ලංකාවේ කම්පැනි කිහිපයක වැඩ කළා. මම ඒ ලෙවල් කළේ ගණිත අංශයෙන්. ගෙදර අයට ඕන වුණේ මාව ඉංජිනේරුවෙක් කරන්න. රැකියාව කරන කාලේ තමයි රංගනයට යොමුවුණේ. අම්මා තමයි මට දවසක් සරසවිය පුවත්පත පෙන්නලා, දිනේෂ් ප්‍රියසාද් මහත්මයාගේ සිනමා ඇකඩමියට දාන්න කිව්වේ. එතනදි තමයි මට නලින් රාජපක්ෂ හමුවෙන්නෙත්. චිත්‍රපටකරණය පිළිබඳ මුල්ම පාඨමාලාව එතැනින් කළා. පසුකාලීනව මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මම එංගලන්තයට ගියා. එහිදීත් වැඩමුළු කිහිපයක් කළා.