නිරූපණ ශිල්පියෙකු ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි චානුක ප්‍රබුද්ධ මේ වනවිට පුංචි තිරයට නැතුවම බැරි රංගන ශිල්පියෙකු බවට පත්වෙලා. විවිධ භූමිකාවන් ඔස්සේ මේ දිනවල පුංචි තිරයේ නිතරම දකින්න ලැබෙන ඔහු අද අපේ කතාබහට එක්කරගත්තා.
චානුක කොහොමද මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ?
විසේකාරි සහ මායාවී නාට්‍ය දෙකම විකාශය වෙනවා. ඊට අමතරව මේ දිනවල නාට්‍ය පහක රූපගත කිරීම් සිදු වෙනවා. ඒත් එක්කම මං ප්‍රධාන චරිතයකින් දායක වන මගේ පළමු සිනමා නිර්මාණයේ රූපගත කිරීම් අවසන් වෙලා පසු නිෂ්පාදන කටයුතු සිදු වෙනවා. රජීව් සිවදාසන්ගේ අධ්‍යක්ෂණයක්. මේ කටයුතු එක්ක ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ.
කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ඒ ගැන නම් කියන්නත් සතුටුයි. නාට්‍ය දෙකට වගේම මගේ චරිත දෙකටත් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
මේ වෙද්දී ඔබ පුංචි තිරයට නැතුවම බැරි රංගන ශිල්පියෙක් වෙලා නේද?
ඒ ගැන නිහතමානීව සතුටු වෙනවා. ඒ දේ මම ළඟා කර ගත්තේ කැපවීමෙන්. මම දැන් මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු හයක් හතක් වෙනවා. මට ඕනේ වුණේ හෙමින් සාර්ථක ගමනක් යන්න. ඉස්සරහටත් එහෙමයි. ලැබෙන ඕනෑම චරිතයකට සාධාරණයක් කරන නිසා වෙන්න ඇති පුංචි තිරයේ චානුක ප්‍රබුද්ධ කියන නමට වටිනාකමක් ගොඩනැගිලා තියෙන්නේ.
වැඩි කැමැත්ත සිනමාවටද පුංචි තිරයටද?
රංගන ශිල්පියෙක් විදිහට ඕනෑම කෙනෙක් කැමැති රිදී තිරයටනේ. මම ඒක නැහැ කිව්වොත් බොරුවක්. මමත් ආසයි සිනමාවේ ලොකු ගමනක් යන්න. පුංචි තිරයේ වගේම සිනමාවේත් කිසිම කලබලයක් නැතුව හෙමින් ගමනක් යන්න කැමතියි. මේ වෙද්දි සිනමා නිර්මාණ කිහිපයක් එක්කම වැඩ කරගෙන යනවා. කාලයත් එක්ක මම මගේ හීනවලට යනවා.
සිනමාවෙන් ඉදිරියට යද්දී පුංචි තිරය අතහැරෙයිද?
සිනමා නිර්මාණ කොතරම් කළත් කවදාවත් මම පුංචි තිරය අතහරින්නේ නැහැ. මම ආවේ පුංචි තිරයෙන්. මාව ප්‍රේක්ෂකයින්ට දැනුණේ පුංචි තිරයෙන්. මම දෙයක් ලබාගත් තැනක් කිසිවිටෙක අමතක කරන්නේ නැහැ. සමහරවිට යම්කිසි සීමාවක් ඇති වෙයි.
රංගනය ගැන හදාරනවද?
ඔව්. මම නිරන්තරයෙන් රංගන කලාව අධ්‍යයනය කරමින් ඉන්න කෙනෙක්. අනෝජා වීරසිංහ මහත්මිය යටතේ සහ ප්‍රසන්නජිත් සර් යටතේ මම රංගනය හදාරලා තියෙනවා.
චානුක ප්‍රබුද්ධ කියන නම ප්‍රේක්ෂකයින් අතරට වැඩියෙන්ම අරගෙන ගිය නිර්මාණය මොකක්ද?
මායාවී හි සංකල්ප කියන චරිතය. සංකල්පට බොහෝ දෙනෙක් ආදරේ කරනවා.
ප්‍රේක්ෂක ආදරේ දැනේනේ කොහොමද සහ ඒ ආදරේට චානුක දක්වන ප්‍රතිචාර මොන වගේද?
මම තව තවත් හොඳට ලැබෙන චරිත රඟපානවා. මොකද ප්‍රේක්ෂක ආදරේ තමයි අපිව මේ ක්ෂේත්‍රයේ ඔසවා තබන්නේ. ඒ ආදරේට මට දිය හැකි දේ ඒක නිසා මම මහන්සි වෙලා ප්‍රේක්ෂකයින්ට දැනෙන විදිහට රඟපානවා. ඒ එක්කම මාව කොහේ දැක්කත් කතා කරන්න. ඒ අය එක්ක නිහතමානීව ගනුදෙනු කරන එක තමයි රංගන ශිල්පියෙක් විදියට මට දිය හැකි දේ.
රංගනයේදී චානුකට ඉලක්කයක් තියෙනවද?
ප්‍රේක්ෂක ආදරේ ලබන එක සහ ලැබිලා තියෙන දේට වටිනාකමක් සහ ගරුත්වයක් දෙන එක. කාලයක් යද්දි ප්‍රේක්ෂකයින් මාව ප්‍රතික්ෂේප කළොත් මේ හැමදේම අතහැරලා වෙන රටකට යනවා.
ඒ කියන්නේ වෙන රටකට යන්න අදහසක් තියෙනවද?
මම විශ්වාස කරනවා හැමදේකටම කල් ඉකුත් වෙන දිනයක් තියෙනවා කියන එක. නමුත් කලාව තුළ අපි මහන්සි වෙන්න ඕනේ ප්‍රේක්ෂකයින් අපි වටා රඳවා ගන්න. කලාව කියන්නේ හැම කෙනෙකුටම කළ හැකි දෙයක් නෙවෙයි. ඒ වගේම කලාවට එන්න හෝ කලාවෙන් සමුගන්න එක හරි පහසුයි. නමුත් පැවැත්මක් හදාගෙන රැඳෙන එක තමයි අමාරු. මම උත්සාහ කරනවා ඒ අභියෝගයට මුහුණ දෙන්න. ප්‍රේක්ෂයින් මාව පිළිගන්නතාක් මම ඔවුන් එක්ක ඉන්නවා.
ආපස්සට හැරිලා බලද්දී ජිවිතේ ගැන මොකද හිතෙන්නේ
සතුටුයි. මම බින්දුවෙන් පටන් ගත්ත කෙනෙක්. පොඩි කාලේ ඉඳන්ම නැතිවීම් වෙන්වීම් අත්වින්ද කෙනෙක්. ඒ දේවල් එක්ක දැන් මම ඉන්න තැන දිහා බලද්දී සතුටු වෙන්න පුළුවන්. ලොකු ගමනක් යන්න හොඳ දැක්මක් සහ හයියක් මට තියෙනවා. මේ වෘත්තියට ගරු කරලා මගේ දක්ෂතාවන් වැඩි දියුණු කරගෙන ඉස්සරහට යන එක තමයි මගේ එකම බලාපොරොත්තුව.