එයාගේ ආදරේ නිසා මං ගොඩක් සතුටින් -අභිලාෂි සන්තුෂ්කි

gossiplanka image 2
 

මේ දිනවල ඔබ ‘සිහිනෙක තනිවෙලා’ ටෙලිනාට්‍යයේ ‘නිකී’ගේ චරිතයට වශීවෙලා කියලා අපි දන්නවා. අභිලාෂි සිනමාවෙන් පටන්ගත්ත ගමන මේ විදියට නිකීගේ චරිතය හරහා ප්‍රථම වතාවට පුංචි තිරයට සම්බන්ධ වීම විශේෂත්වයක්. ඉතින් ‘හාට්’ අපි හිතුවා ඔබේ ඒ අදාරණීය තාරකාව, ජනප්‍රිය රංගන ශිල්පිනී අභිලාෂි සන්තුෂ්කි සමග කතාබහක නිරත වෙන්න.


අභිලාෂි සිහිනෙක තනිවෙලා නේද?

ප්‍රේක්ෂක ආදරයත් එක්ක මම මේ දවස්වල ‘සිහිනෙක තනිවෙලා’ තමයි ඉන්නේ. ප්‍රේක්ෂක ආදරය වැඩි වැඩියෙන් ලැබිලා ප්‍රේක්ෂකයොත් ‘සිහිනෙක තනිවෙලා’ ඉන්නේ.

නිකීගේ සිහිනය කොයි කාලේ සැබෑ වේවිද?

ප්‍රේක්ෂකයන් ගොඩක් බලාගෙන හිටියේ නිකීගෙයි ආදිගෙයි ආදරය හැබෑ වෙනකම්. දැන් සිහිනය සැබෑ වෙලා. ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරය කරනවා නිකීට සහ ආදිට. ඉතින් ඒ ආදරය නිසාම මම ගොඩක් සතුටින් ඉන්නේ. සෝෂල් මීඩියා හරහා සහ මගතොටදී හමුවන රසිකයන්ගෙන් ලැබෙන ආදරයත් ඉතා ඉහළයි.

අභිලාෂි මෙවර රයිගම් සම්මාන උළෙලේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළිය ලෙස නිර්දේශ වෙලා?

ඇත්තටම මටත් එය විශේෂ අවස්ථාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. මොකද ටෙලිනට්‍යයක් සම්බන්ධයෙන් නිර්දේශ වුණු පළමු අවස්ථාව මේක. මම එහෙම ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ වෙලා තියෙන කෙනෙක් නෙවෙයි. ඉතින් ‘සිහිනෙක තනිවෙලා’ ටෙලිනාට්‍යයේ ‘නිකී’ චරිතය හරහා රයිගම් සම්මානයට නිර්දේශ වුණු එක ලොකු ගෞරවයක් වගේම ලොකු සතුටක්. නමුත් මම හිතනවා ඒ කැටගරියේ සම්මාන නිර්දේශවලට මා හා සමානව වගේම මටත් වඩා ආදරය දිනාගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියන් ඉන්නවා. මම ඒ හැමෝටම හදවතින්ම සුබ පතනවා. ඉතින් මම හිතනවා ඒ සම්මානය සුදුසුම කෙනාගේ අතට ලැබේවි කියලා. මාව රයිගම් සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය ලෙස නිර්දේශ වීමත් සතුටක්. මම සුබ පතනවා නිර්දේශ වෙලා ඉන්න සියලු දෙනාට. ඒ වගේම මාව ඒ නිර්දේශ නම් අතරට එක්කරපු ප්‍රේක්ෂක ජනතාවටත් ඒ වගේම රයිගම් සම්මාන විනිශ්චය මණ්ඩලයටත් ස්තුතිය පුදකරන්න මෙය අවස්ථාවක් කරගන්නවා.





ආදි සහ නිකී හොඳට ගැළපෙන බව ආදරණීය ප්‍රේක්ෂකයන් කියනවා. ඒ ගැන අභිලාෂිට මොකද හිතෙන්නේ?

ඔව්, එහෙම ගැළපීමක් තියෙනවා කියලා ප්‍රේක්ෂකයන් කියනවා. හිමෙත් ජයසේකර හරිම හිත හොඳ කෙනෙක්. මට මේ ක්ෂේත්‍රයේදි හමුවුණු අය අතර මම ගොඩක් අගය කරන ආදරය කරන නෙකෙක් ඔහු. මේ තරම් ප්‍රේක්ෂකයන්ට ආදි සහ නිකී චරිත දෙක දැනෙන්න සහ අපිට මේ තරම් අදහස් කියන්න අපි දෙන්නගේ ගැළපීමක් තියෙනව නිර්මාණය තුළ. ඔවුන් අපිට ආදරණීය වුණා. අපි සමග මේ නිර්මාණය සමග රැඳිලා ඉන්නවා. ඒ ආදරය නිසාම තමයි එහෙම කියනවා ඇත්තේ.

නිකී චරිතයට මේ තරම් ප්‍රේක්ෂක ආදරය ලබන්න ආදිගෙන් ලැබුණු සහාය මොන වගේද?

මට ආදි චරිතයෙන් ලොකු සහායක් ලැබුණා. ඔහු සහ මම හොඳින් කතාබහ කරගෙන චරිත දෙක ගොඩනගා ගත්තා. මට වඩා ඔහු වැඩිමහල් කෙනෙක්. ඔහුගේ අදහස් ඔහුගේ ජීවිතයේ තිබුණු අත්දැකීම් එක්ක මට ලබාගන්න ගොඩක් උපදෙස් තියෙනවා මේ ක්ෂේත්‍රය තුළදී. මම ටෙලිනාට්‍යයක මේ විදියට ආදරණීය පෙම්වතියක් විදියට රඟපාන පළමු අවස්ථාව සහ ටෙලිනාට්‍යයකින් ප්‍රේක්ෂක ආදරය ලැබෙන පළමු අවස්ථාව. මේ තරම් ආදරයක් ලබන්න මට උදව් කරන්නේ ආදි චරිතය රඟපාන හිමෙත් ජයසේකර. මම මුලින් කියපු විදියට තමයි අපි දෙන්නා ඇතුළු සිහිනෙක තනිවෙලා කණ්ඩායමෙන් ලැබුණු සහායත් එක්ක ආදි-නිකී චරිත දෙක ගොඩනැගුවේ.

‘සිංහබාහු’ සිනමා නිර්මාණය හරහා ඔබ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු බව අප දන්නා කරුණක්. දැන් ඔබ සිනමාවට ලබාදෙන දායකත්වය කොහොමද?

ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ ‘සිංහබාහු’ චිත්‍රපටය හරහා තමයි මම මගේ ගමන පටන් ගත්තේ. සිංහබාහු චිත්‍රපටයේ මම රඟපානකොට මට වයස අවුරුදු 17යි. සිංහබාහු චිත්‍රපටය නිමා කළාට පසුව ප්‍රවීණ කලාකරුවන් සියලු දෙනාගෙන්, අධ්‍යක්ෂවරුන්ගෙන්, නිෂ්පාදකවරුන්ගෙන් ලොකු ආශීර්වාදයක් වගේම ප්‍රේක්ෂකයන්ගෙන් ආදරයක් ලැබුණා. ඒ සියලු දෙනාගෙන් වගේම මගේ පවුලේ අයගෙන් ලොකු සහායක් ලැබුණා මට ඉදිරියට යන්න. මේ වෙනකොට චිත්‍රපට පහක් නිමා කරලා තියෙනවා. මේ වසරේ චිත්‍රපට කිහිපයක් තියෙනවා තිරගත වෙන්න. මේ ගෙවුණු මාස කීපය තුළත් මම චිත්‍රපට කීපයකට සම්බන්ධ වුණා. ඒ වගේම රූගත කිරීම් කෙරීගෙන යනවා. මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මම දායක වුණු සිනමා නිර්මාණ ගැන. මම හිතනවා මම රඟපෑ චිත්‍රපට සහ මම මේ දිනවල සම්බන්ධ වී සිටින චිත්‍රපට අනිවාර්යයෙන්ම අනාගතයේදී සිනමා ක්ෂේත්‍රයට හොඳ ආයෝජනයක් වේවි කියලා. ඒ වගේම ලොකු විශ්වාසයක් තියෙනවා ඒ ගැන. තවදුරටත් මම සිනමාව ගැන හොඳට ඉගෙනගෙන ගුණාත්මක නිර්මාණවලට සම්බන්ධ වෙලා සිනමා නිළියක් විදියට සිනමා ක්ෂේත්‍රයට ලොකු දායකත්වයක් ලබාදෙන එක තමයි මගේ බලාපොරොත්තුව.


වසන්ත විතාරණගේ

gossiplanka image 1
Previous Post Next Post