වෙනස් දේවල් විඳින්න ගොඩක් කැමැති -ඡායා නවරත්න

gossiplanka image 2
 

විවිධ නිර්මාණ හරහා අලුත් මුහුණු නිරන්තරයෙන්ම අපි දකිනවා. පසුගියදා ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ඉතා සාර්ථක ලෙස නිමාවට පත්වුණු ‘මම සහ ඔබ’ ටෙලිනාට්‍යයේ ‘තරුෂි’ ගැනයි මේ කතාබහ. ඡායා නවරත්න නම්වන ඇය ‘මව්රට’ ‘හාට්’ වෙනුවෙන් ප්‍රථම වතාවට ජාතික පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන්නේ මේ විදියට.

ඡායාගේ පළමු අත්දැකීම කොහොමද?

මම රංගනයට පිවිසෙන්න හිතපු කෙනෙක් නෙවෙයි. හැබැයි මට මෙය වෙනස්ම අත්දැකීමක් වුණා. ‘මම සහ ඔබ’ ටෙලිනාට්‍යයේ තරුෂි චරිතය හරහා මාව ගොඩ දෙනෙක් හඳුනාගත්තා. සමහර අයටත් පුදුම හිතුණා මම රඟපානවා කියලා දැනගත්තාම. මම ගොඩක් කැමැති වෙනස් දේවල් අත්විඳින්න. වතුරට බහින්නම ඕනෙ පීනන්න පුළුවන්ද බැරිද බලන්න. ඉතින් මමත් සියලු දෙනාගේ සහාය ඇතිව තරුෂිට සාධාරණයක් කරන්න උපරිම උත්සාහ කළා. මටත් තරුෂි චරිතය හරහා රංගනය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. පළමු පියවර නිසා අඩුපාඩු ඇති කියලා මම හිතනවා.

ඔබට රංගනයට පිවිසෙන්න අවස්ථාව ලැබුණේ කොයි විදියටද?

මම පෞද්ගලික ආයතනයක සේවය කරනවා. ඒ ආයතනයේ අධ්‍යක්ෂ ප්‍රසාද් දිසානායක සර් තමයි ‘මම සහ ඔබ’ ටෙලිනාට්‍යය නිෂ්පාදනය කළේ. ඔහුගේ ආරාධනාවක් පරිදි තමයි මට මේ අවස්ථාව ලැබුණේ. ඔය විදියට තමයි මම තරුෂි වුණේ.

පවුලේ අයගෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද ඔබ රඟපාන්න යනවා කියලා කියද්දී ලැබුණේ?

මගේ අම්මා කිව්වේ මොන දේ කළත් කමක් නැහැ පරිස්සම් වෙන්න කියලා. අනෙක අම්මා ලොකු දෙයක් කිව්වෙත් නැහැ. ආයතනයේ ප්‍රධානියාගේ ආරාධනාවක් නිසා අම්මට බියක් තිබුණෙත් නැහැ.

ඔබේ ආදරණීය පියා සංගීත අධ්‍යක්ෂවරයෙක් නේද?

ඔව්. මගේ තාත්තා තමයි සුනිල් නවරත්න. තාත්තාත් කලාවට සම්බන්ධයි. තාත්තා අද හිටියා නම් ගොඩක් සතුටු වෙයි මගේ රංගනය දැකලා.


ඡායා අභියෝගවලට මුහුණ දෙන්න කැමැති කෙනෙක් කියලා අපි දන්නවා?

අලුත් පාරවල් හදාගෙන මම ඉදිරියට යන්න කැමැතියි. ඒ එන අභියෝග ජයගන්න තමයි මම උත්සාහ කරන්නේ. ‘මම සහ ඔබ’ ටෙලිනාට්‍යයට සම නිෂ්පාදනයෙන් පවා මම සම්බන්ධ වුණා. ඒත් සර්ගේ ආරාධනාව නිසා. පස්සේ තමයි රඟපාන්න අවස්ථාව ලැබුණේ.

දිගටම රංගනය වගේම නිෂ්පාදනය පැත්තෙන් ඉදිරියට යන්න අදහසක් තියෙනවද?

තවම මම එහෙම ලොකුවට හිතලා නැහැ. මගේ ආයතනයෙන් කලා කටයුතු වෙනුවෙන් උපරිම සහාය ලැබෙයි. මොකද අපේ සර් ආයතනයේ වැඩ කරන සියලු සේවකයන්ට උදව් කරන කෙනෙක් දක්ෂතා පැත්තෙන් ඉදිරියට යන්න.

‘මම සහ ඔබ’ සමග ගෙවපු කාලය කොහොමද?

ගොඩක් සුන්දරයි. මගේ ජීවිතයට අලුත් අත්දැකීම් ගොඩක් එකතු කරගන්න ලැබුණා. ඒ වගේ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් එක්ක මට වැඩකරන්න ලැබුණා. ඒ වගේම ඒ සියලු දෙනාගෙන්ම මගේ ගමනට ලැබුණු ආශීර්වාදය මට ගොඩක් වටිනවා. ජීවිතයේ කිසිදා අමතක නොවන මතක සටහන් රැසක් ‘මම සහ ඔබ’ තුළින් ජීවිතයට එකතු වුණා.

gossiplanka image 1
Previous Post Next Post