මම දැන් ලොකු දුවකගේ අම්මා කෙනෙක් -වත්සලා දියලගොඩ

gossiplanka image 2
 


රූපවාහිනිය ලංකාවට ආපු අලුත ආලින්දයේ සිනමාව වටා ප්‍රේක්ෂකයෝ අසුන්ගත්තේ දිමුතු මුතු, යශෝරාවය, මවකගේ ගීතය, බුමුතුරුනු වැනි ඉතා අලංකාර ටෙලිනාට්‍ය පෙළහරක් සමගයි. ඒ කියන්නේ මීට දශක තුන හතරකට පළමුව 80 සහ 90 දශකය ගැනයි. එයට පසුකාලීනව වුණත් හරිම අලංකාර ටෙලි එකතුවකින් ටෙලි කලා කෙත අස්වද්දන්න සොඳුරු නිර්මාණ සමූහයක් එක පොකුරට ආවා. ඒ එක්කම හරි අපූරු නළු නිළි කැලකුත් ටෙලි තිරයට එන්න ගත්තා. ඒ ලස්සනම ලස්සන ටෙලි වසන්තය හැඩ කරපු එක් නිළි කෙල්ලක වුණේ වත්සලා දියලගොඩයි.

මුතු කිරිල්ලි, සෙනෙහසට ආදරෙයි, අමා වැනි ජනප්‍රියම ටෙලි කතා තුළින් ඈ ප්‍රේක්ෂක සිත් තුළට දුන් මතකය තවමත් එලෙසමයි. ඒ අමතක නොවූ මතකය නිසාමයි ඇය සමග පුංචි කතාබහක යෙදෙන්න හිතාගෙන මේ විදියට ආවේ.


කොහොමද වත්සලා ඉතින් ඔබේ අලුත් තොරතුරු?

වරදක් නැහැ. මම ඉතාම සතුටින් ජීවිතය ගෙන යනවා.

කලා කටයුතුවලින් බොහෝ විට බැහැර වූ ජීවිතයක් ඔබ දැන් ගෙවන්නේ?

එහෙමම කියන්නත් බැහැ. චැට් ෂෝවලට, විවිධ උත්සව අවස්ථාවලට ආරාධනා ලැබුණාම මම ඒවා භාරගන්නවා. ඒ අතර ළඟ එන අවුරුදු උත්සවය වෙනුවෙන් නිර්මාණය වෙන විශේෂාංග කිහිපයකටත් පසුගිය දවසක සහභාගි වුණා.

ටෙලිනාට්‍ය රංගනය අතහැර දාලා වගෙයි ඉන්නේ?

ටෙලිනාට්‍ය රංගනයෙන් නම් ඈත්වෙලා නැහැ. ටෙලිනාට්‍ය තුන හතරකටම පසුගිය අවුරුද්දේ රංගන දායකත්වයෙන් සහභාගි වුණා. දෙකක්ම විකාශය වී අවසන්. තව එකක් විකාශය වීමට ආසන්නව තියෙනවා. ඒ නාට්‍යයට තවමත් නමක් දාලා නැති නිසා ඒ ගැන යමක් කියන්න විදියක් නම් නැහැ.

රංගනයෙන් දායකව සිටින අලුත් ටෙලි නිර්මාණය ගැන කියනවා නම්?

අලුතෙන් නම් ටෙලිනාට්‍ය කිසිවකට ආරාධනා ලැබිලා නැහැ. එහෙමටය කියලා මේ දවස්වල ආරාධනා ලැබෙන්නෙත් නැහැ.

ආරංචිය තියෙන්නේ ඔබ ටෙලිනාට්‍ය රිජෙක්ට් කරනවා කියලයි?

ඔව්. මටය කියලා රංගනයේදී මම හදාගත්ත සීමාවක් ඇතුළතයි මම ඉන්නේ. අන්න ඒ සීමාවෙන් පිට මම ටෙලි රංගනයෙහි යෙදෙන්නේ නැහැ. ටෙලිනාට්‍ය භාරගැනීමක් කරන්නෙත් නැහැ.

ඒ සීමාව හදාදුන්නේ වත්සලාගෙ හස්බන්ඩ්ද?

අයියෝ, කීයටවත් කවමදාවත් එයා මගේ රංගන ජීවිතයට හෝ කලා කටයුතුවලට අත දාන්නේ නැහැ. නීති දාලත් නැහැ. මට නීති දාගන්නෙ මමමයි.

හොඳ ෆැමිලි ලයිෆ් එකක් ගෙවන නිසාද ඒ නීති ඔයාම දාගෙන තියෙන්නේ?

ඒ ගැනත් හිතන්න ඕනෙ. මොකද මම දැන් ලොකු දුවකගේ අම්මා කෙනෙක්. මගේ දූට හානියක් නොවන විදියට තමයි මට ගැළපෙන චරිත තෝරාගන්නෙ. එතැනදී අඳින ඇඳුම පැලඳුම ගැන පවා මම හිතනවා. අනෙක් කාරණය කාලවේලාවල පහසුව. ගෙදරින් වැඩි කාලයක් ඈත් වෙලා ඉන්න වෙන රූගත කිරීම් එනවා නම් කොහොමත් භාරගන්නේ නැහැ.

වත්සලා යම් මිලක් අනුවලු චරිතයකට ගිවිසුම් ගහන්නේ?

ඔව්. කලා ශිල්පිනියන් වූ අපි හැමෝටම යම් මිලක් තියෙනවා. මම විතරක් නෙවෙයි. අපිට වැඩිය බොහෝ ප්‍රවීණයන් පවා ඒ මිල මතයි ටෙලි පිටපතක් භරගන්නේ. විශේෂයෙන් ටෙලිනාට්‍ය කලාවට මීට දශක දෙක තුනකට කලින් ආව හැමෝම තමන්ටය කියලා මිලක් හදාගෙන තියෙනවා. මමත් රංගන දායකත්වය දෙන්නේ ඒ මිල අනුවයි.

අලුත් රැල්ල අනුව ඇවිත් ඉන්න නවකයන්ට එහෙම මිලක් නැහැයි කියන එකද වත්සලා කියන්නේ?

මට ඒ ගැන කතා කරන්න නම් අයිතියක් නෑ සහ එය මට අදාළ කාරණයක් නෙවෙයි. තමාට මිලක් නියම කරගන්නවද නැද්ද කියන එක අදාළ වෙන්නේ නවකයන්ට පමණයි. හැබැයි අපි අපේ මිල ගණන් අපිව හොයාගෙන එන නිර්මාණකරුවන්ට ඉදිරිපත් කළාම ඒ මිල ඔවුන්ට ගෙවන්න හැකියාවක් නොතිබුණොත් අපෙන් රිජෙක්ට් වෙච්ච චරිතය අඩු මිලට එහෙමත් නැත්නම් නිෂ්පාදකවරුන් නියම කරන මිලකට රඟපාන්න නවකයන් කැමැති වෙනවා.

එහෙම අඩු මිලකට ඔබේ චරිතය වෙනත් අයකු භාරගැනීම සදාචාරාත්මක නැතැයි ඔබ සිතනවද?

ඒ ගැන කතා කරන එකත් මට අදාළ නැහැ. මේ ගැන මේ විදියට කතා කළේ චරිත රිජෙක්ට් කරන එක හේතුවක් එය බව කියන්න ඕනෙ නිසා සහ අපි වෙනුවට එම චරිත භාරගන්න පිරිසක් ඉන්නවා කියන එක පහදන්නයි. නවකයන්ට ඒ ගැන වරදක් කීම හෝ දොස් පැවරීමක් මගේ උත්තරය තුළ නැහැ.

ඔබ චරිත පසුපස හඹා යන නිළියක් නොවන කතාව එදා ඉඳන්ම ප්‍රසිද්ධව තිබුණා?

ඔව්. එදා වගේම අදත් ඒක එහෙමයි. ටෙලිනාට්‍ය ඉල්ලලා යන ක්‍රමය හෝ අහවල් චරිතයට මාව ගන්න කියලා කිසිම නිෂ්පාදකවරයකු හෝ අධ්‍යක්ෂවරයකු පසුපස ගිහින් ඉල්ලන ක්‍රමයක් හෝ වත්සලා දියලගොඩ වූ මගේ රංගන කලාව තුළ තිබුණේ නැහැ.

මීට දශක කීපයකට පළමුව ටෙලි කලාව තිබුණේ බොහෝ අලංකාර තැනක?

සත්තකින්ම ඒක ටෙලි වසන්තයක්ව තිබුණා. ගුණාත්මක සම්භාව්‍ය ගණයේ ටෙලි නිර්මාණ විතරක් නෙවෙයි, වාණිජ රැල්ල අනුව හැදෙන සරල ටෙලි කතා වගේම ප්‍රහසනය දනවන ටෙලි කතා පවා හැදුණේ යම් ප්‍රමිතියකටයි. අපට ලැබෙන චරිතය ගැන එය අධ්‍යක්ෂණය කරන නිර්මාණකරුවා විසින් සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරනවා. නාට්‍යයක් වගේම අපේ චරිතවලත් මුල මැද අග කොයි වගේද කියන කාරණය ගැන එයට සම්බන්ධ වෙන හැම ශිල්පියෙක්ම දැනගෙන හිටියා. නාට්‍යයේ කොටස් ගණන ගැන පවා එහෙමයි. එතැනදි අපට පුළුවන්කම තිබුණා අපට ආරාධනා ලැබෙන ඊළඟ ටෙලියට දින වෙන්කරගන්න. අන්න ඒ තරම් පිළිවෙළකටයි ඒ කාලේ ටෙලිනාට්‍ය කලාව තිබුණේ. අද මොකක්ද මේ වෙලා තියෙන්නේ? ඇත්තටම කියන්න කනගාටුයි. ගුණාත්මක නිර්මාණ කීපයක් ඇරෙන්න බහුතරයක් ටෙලිනාට්‍ය කිසිම එල්ලයක් නැති අයාලේ ඔහේ යන ගමනකට මැදිවෙලා. හරියට ස්ක්‍රිප්ට් එකක් නැහැ. රඟපාන, රූගත කරන දර්ශනය ගැන නළුවා හෝ නිළිය දන්නේ නැහැ. කියන්න ඕනේ දෙබස් ටික කටපාඩම් නැහැ. එයට කිසිම සූදානමක් නැහැ. යන්නන් වාලේ ඔහේ යනවා. ඒ කාලේ එක සීන් එකක් ඉවර වුණාම ඊළඟ සීන් එක මොකක්ද කියන එක ගැන වුණත් අපට දැනුම සහ අවබෝධයක් ලැබෙනවා. අද තත්ත්වය ඊට වඩා හුඟක් වෙනස්. වෙන්නෙ මොනවද කියලා තේරුම් ගන්නත් බැහැ, වැටහීමකුත් නැහැ.

මීට හේතුව කුමක්ද? වරද කොතැනද?

කාටද ඇඟිල්ල දික්කරන්නේ කියන එක වටහා ගන්න බැහැ. කවුද වැරැදි, වගකිව යුත්තේ කවුද කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි මීට විසඳුමක් අවශ්‍යයි.

රූපවාහිනී සේවාවල ආයතන ප්‍රධානීන් මීට වගකිව යුතු බව බොහෝ දෙනා කියනවා නේද?

මම එහෙම කා ගැන හෝ සඳහන් කරන්නේ නැහැ. වගකිව යුත්තන් කවුරු හෝ වේවා මීට ඉක්මන් විසඳුමක් අවශ්‍ය බව කියන්න වෙනවා.


මල්මි කෞෂල්‍යා

gossiplanka image 1
Previous Post Next Post