වර්තමානයේ පුංචි තිරය වගේම රිදී තිරයත් හැඩ කරන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් ලෙස චතු රාජපක්ෂ හඳුන්වාදිය හැකිය. හෙමින් නමුත් පැහැදිලි ගමනක් යන ඇය මේ දිනවල තරු ආදරේ ටෙලි නිර්මාණයේ සැන්ඩ්‍රා ලෙසින් ඔබ වෙත එන්නීය. මේ ඇය සමඟ කළ කතාබහයි.
කොහොමද චතූ මේ දිනවල වැඩකටයුතු?
මම මගේ කලා කටයුතුවලට මුල් තැන දෙන ගමන් පෞද්ගලික ජීවිතයත් බැලන්ස් කරගෙන ගෙවනවා.
කලා කටයුතුවල කාර්යබහුලයිද කියල ඇහුවොත්?
මේ දිනවල නම් මම රංගනයෙන් දායක වන ‘තරු ආදරේ‘ ටෙලි නාට්‍යය විතරයි විකාශය වෙන්නේ. එහි අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය ධනුෂ්ක ෆර්නෑන්ඩු. තිර රචනය බුද්ධිනි ජයවර්ධන. සැන්ඩ්‍රා කියන ටිකක් නපුරු නමුත් හිත හොඳ චරිතයෙන් තමයි මම දායක වෙන්නේ. සැන්ඩ්‍රා මට ලැබුණු වෙනස් චරිතයක් වුණත් ලැබෙන ප්‍රතිචාරත් එක්ක ප්‍රේක්ෂකයන් ඉතාම ආදරයෙන් වැලඳගෙන තියෙනවා කියල හිතෙනවා. ඒ ගැන මට සතුටුයි.
කලාවට පිවිසුණු ඒ අතීතය නැවත සිහිපත් කළොත්?
2016 වසරෙදි මම පෞද්ගලික ආයතනයක සේවය කළා. එතනදි එක්තරා රූපවාහිනී නාළිකාවක වැඩ කරන අනුර ජයසේකර අයියා කැමරා ෂොට් එකකදී මාව දැකල රඟපාන්න කැමැතිද කියලා ඇහුවා. නමුත් මුලින්ම මට කැමැත්තක් තිබුණෙ නැහැ. ඊට මාසෙකට විතර පස්සේ වී. සිවදාසන් සර් ඔහුගේ චිත්‍රපටයක ස්ක්‍රීන් ටෙස්ට් එකකට කතා කළා. ඒකෙ ප්‍රධාන චරිතයේ මිතුරියගේ චරිතයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එතන තමයි මගේ රංගන ජීවිතයේ ආරම්භය.
ඔබට සිනමාව ගැන තියෙන්නෙ මොන වගේ අත්දැකීම්ද?
කැමරාවක් ඉදිරියේ පළමු අත්දැකීම ලබන්නේ ‘පාටක් නැති ආදරයක්‘ කියන චිත්‍රපටයේ. ඒ වෙද්දි මට කැමරා ෂොට්ස්, කැමරා ඈන්ගල්ස් තියා කොහොමද කැමරාවකට මුහුණ දෙන්නේ කියලවත් අවබෝධයක් තිබුණෙ නැහැ. අනෙක් අය දිහා බලාගෙන ඉඳලා මමම තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. අද වෙද්දි මම චිත්‍රපට පහකට පමණ දායක වෙලා තියෙනවා. පාටක් නැති ආදරයක්, ගිරිවැසිපුර, කිඩ්නැප් , ද ගේම් සහ ගගන කියන චිත්‍රපට.
රංගනයට පිවිසීමේදී පවුලේ අයගෙන් ලැබුණු සහයෝගය කොහොමද?
මම රංගනයට පිවිසෙනවට මගේ පවුලේ අය මුලින් ලොකු කැමැත්තක් දැක්වුවේ නැහැ. නමුත් රඟපාන්න එපා කිව්වෙත් නැහැ. අම්මා සහ අප්පච්චි හැම වෙලාවෙම කිව්වේ පරිස්සම් වෙලා ගරුත්වය රැකගෙන කරන දෙයක් කරන්න කියලා. පස්සේ එයාල මගේ නිර්මාණ දැකලා සතුටු වෙලා මගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක කරගන්න සුබ පැතුවා.
මේ තාක් කළ චරිතවලින් අභියෝගයක් වුණු චරිත තිබුණද?
මෙතෙක් රඟපාපු හැම චරිතයක්ම මට අභියෝගයක්. මොකද අපි එතැන කරන්නෙ අපි නොවන වෙනමම චරිතයක්. ඉතින් ඒ වගේ වෙනම කෙනකුට පණ පොවන එක අභියෝගයක් තමයි.
චතුට තියෙන්නෙ කලාව තුළ හෙමින් යන ගමනක්?
ඇත්තටම ඔව්. මොකද මට එක රැයකින් පායලා එක රැයකින් බැහැලා යන තරුවක් වෙන්න ඕනේ නැහැ. 2016 වසරෙ ඉඳලා මේ වෙනකන් ආවේ ඉතා හෙමින් ගමනක්. අද මාව දන්න බොහෝ පිරිසක් වගේ ම නොදන්න පිරිසකුත් ඉන්නවා. පුංචි තැනක ඉඳන් මේ තැනට ආවට එදාට වඩා අද මං සතුව ලොකු අත්දැකීම් සම්භාරයක් තියෙනවා.
කලා කටයුතුවලට ඔබේ සැමියාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
චරිතයක් තෝරගනිද්දි මුලින්ම මට ඒ චරිතය කරන්න පුළුවන්ද බැරිද කියන එක බලනවා. ඊට පස්සේ තමයි හස්බන්ඩ්ගෙන් අහන්නේ. ඔහු දන්නවා මට කරන්න බැරි චරිත මම තෝරගන්නෙ නැහැ කියලා. ඔහු මට චරිත තෝරා ගන්න උපරිම නිදහසක් දීලා තියෙනවා. ඒක තමයි මට එයාගෙන් ලැබෙන ලොකුම සහයෝගය.
ඉදිරියේදී ඔබව දැකගන්න පුළුවන් අලුත් නිර්මාණ ගැන කතා කළොත්?
අලුතින් ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම මේ අවුරුද්දේ ලැබෙන මට ගැළපෙන ඕනෑම චරිතයකට මගේ දායකත්වය ලබා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
අවසානයට ප්‍රේක්ෂකයන්ටත් කියන්න යමක් ඇති?
විශේෂයෙන්ම කියන්න ඕන, වසර ගණනාවක් තිස්සේ මගේ රංගන ජීවිතයට වගේම පෞද්ගලික ජීවිතයේ දේවල්වලටත් ආදරය කරන පිරිසක් මා වටා රැඳිලා ඉන්නවා. ඔවුන්ගෙන් ගොඩක් ප්‍රශංසා ලැබෙනවා. ඉදිරියටත් ඔවුන්ගේ ආශීර්වාදය මට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.