රංගන ශිල්පියෙක්, නිවේදකයෙක්, නර්තන ශිල්පියෙක් මෙන්ම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙකු ලෙසද ජනප්‍රිය වී සිටින ශෙහාන් මලික් බොහෝ සෙයින් ජනප්‍රියව හිඳින්නේ සමාජ මාධ්‍යවල පළවන ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ වීඩියෝ ඔස්සේය. මේ වනවිට ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය වැනි දකුණු ආසියානු රටවල රූපවාහිනී නාළිකාවල ඔහු ගැන කතාබහට ලක්වීම ද විශේෂත්වයකි. ඉදිරියේදී ජාත්‍යන්තරයේම අවධානයට ලක්වන කටයුත්තකට සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් පසුවන ඔහු අප හා කතාබහට එක්වීය.
ඔබ ගොඩක්ම ජනප්‍රිය නිවේදකයෙක්, එහෙම නැත්නම් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට. රංගන ශිල්පියා ගැන කතා කරනවානම්?
ජුරාලියා, ජහුටා, සමන්මලිය වැනි නිර්මාණවලින් පුදුමාකාර ප්‍රේක්ෂක ආදරයක් ලැබුණා. විශේෂයෙන්ම සුපුන් රත්නායකගේ LBW ටෙලි නිර්මාණයේ අවන්තගේ චරිතය ගොඩක් මිනිස්සු අතරට ගියා. එතනදි මට ආරාධනා ලැබෙන්නේ ආරාධිත රංගනයකට. නමුත් ඒ චරිතය පුදුමාකාර විදිහට වයිරල් වුණා. අවන්ත කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මමත් ක්‍රිකට් ක්‍රීඩාවත් එක්කම ඉන්න නිසයි මටත් ඒ අවස්ථාව ලැබෙන්නේ. ඇත්තම කිවුවොත් ලොකුවට දිව්ව චරිතයක් නොවුණත් LBWහි අවන්ත මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වුණා.
කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට ඔබට ජාත්‍යන්තරයේ පිළිගැනීමක් තියෙනවා කිවුවොත්?
කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට මට ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක ලොකු බැඳීමක් තියෙනවා. ක්‍රිකට් තරගත් එක්ක මං ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය වගේ රටවලට යනවා. පහුගිය අවුරුද්දේ බංග්ලාදේශයට ගිය වෙලාවේ මං ශ්‍රී ලංකාවේ නළුවෙක් කියලා දැනගෙන ඔවුන්ගෙන් මට පුදුමාකාර ආදරයක්, පිළිගැනීමක් ලැබුණා. ඔවුන්ගේ රූපවාහිනී නාළිකාවල සම්මුඛ සාකච්ඡාවලට ආරාධනා කළා. ඒ ලැබුණු ආදරේ මටත් හිතාගන්න බැරි වුණා. එක සිදුවීමක් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. කලින් දවසේ මැච් එක බලලා මහන්සියට මට හොඳටම නින්ද ගිහින් තිබුණේ. මං නැවතිලා හිටිය හෝටලයේ සේවකයෙක් ඇවිත් ඔයාව හමුවෙන්න රූපවාහිනී නාළිකාවකින් ඇවිත් ඉන්නවා. එයාලට ඔයාගේ සම්මුඛ සාකච්ඡාවක් දෙන්න පුළුවන්ද කියල අහනවා කිවුවා. රූපවාහිනී කණ්ඩායමක්ම ඇවිත් ඉන්නවා මාව ඉන්ටර්වීව් කරන්න. ඒ වීඩියෝ එක සෝෂල් මීඩියා දාලා පුදුම විදිහට වයිරල් වුණා. බංග්ලාදේශයේ මට ෆොලෝවර්ස්ල ගොඩක් ඉන්නවා. කොහේ ගියත් මාව නවත්තගෙන කතාකරනවා, සෙල්ෆි ගන්නවා. මගේ කන්ටෙන්ට් ක්‍රියේටින්වලට බංග්ලාදේශයෙන් නොසිතූ ජනප්‍රියත්වයක් ලැබුණා.
එතකොට ඔබ ක්‍රිකට් නිවේදකයෙක් බවට පත්වෙන්නේ?
මේ වෙද්දි මං සුප්‍රීම් ටීවීහි ක්‍රීඩා ප්‍රසන්ටර් කෙනෙක්. ඒ වගේම සුප්‍රීම් ටීවී නියෝජනය කරමින් ජීවිතයේ පළමු වතාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයත් (ICC) එක්ක මාධ්‍යවේදියෙක් විදිහට වැඩ කරන්නත් අවස්ථාව ලැබුණා. මට භාෂා කිහිපයක් පුළුවන්. විශේෂයෙන්ම හින්දි භාෂාව කතා කිරීමේ හැකියාව නිසා ICC එකේදි පාකිස්තාන් සහ ඉන්දීය මාධ්‍යවේදීන් දකින දකින තැන එයාලගේ නාළිකාවල සම්මුඛ සාකච්ඡාවල ක්‍රිකට් ගැන කතා කරන්න මාව සහභාගි කර ගත්තා.
ඉන්දීය- පාකිස්තාන් තරගයේදී ලංකාවට ඇවිත් හිටිය ඉන්දීය, පාකිස්තාන් මාධ්‍යවේදීන් බංග්ලාදේශයෙන් මට ලැබුණු ආදරේ දැකල තිබුණා. ඒ අත්දැකීමත් ඔවුන් විමසුවේ ඔවුන්ගේ රටේ නාළිකාවල ප්‍රචාරය කරන්න. කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට ICC ලෝක කුසලානය පුරාවටම මගේ වීඩියෝ ඉන්දියාවේ වයිරල් වෙන්න පටන් ගත්තා. ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය කියන රටවල් තුනේම නාළිකාවලට ඔවුන්ගේ භාෂාවලින් ලංකාවෙ ඉඳන් ICC ලෝක කුසලානය වාර්තා කළේ මං. ඒත් එක්කම ශ්‍රී ලංකාවේ කලාකරුවෙක්, කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට මගේ නම ජනප්‍රිය වුණා. මාර්තු 28 ආරම්භ වෙන IPL තරගාවලියට ඉන්දියාවට එන්න කියලා මේ වෙද්දි මට ආරාධනා ගොඩක් ලැබිලා තියෙනවා. නාළිකාවකිනුත් ආරාධනා කළා. ඒ නිසා මේ කාලය මට රංගනයෙන් පොඩ්ඩක් ඈත්වෙලා ඉන්න සිදුවෙන නිසා රංගනයට ලැබුණු ආරාධනා දෙකක් ගැන හිතමින් ඉන්නවා.
ඔබේ වීඩියෝ කන්ටෙන්ට්වල මොනවද තියෙන්නේ?
නර්තනය, ක්‍රිකට්, ට්‍රැවලින්, කෑම වගේ හැම පැත්තක්ම කරනවා. වැඩිපුරම ක්‍රිකට් ගැන හදපු කන්ටෙන්ට් තමයි මිනිස්සු අතරට ගියේ.
ඔබ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?
සද්ධා මංගල සූරියබණ්ඩාර සර් සහ චේතනි මිස්ගේ රංගන පාසලෙන් තමයි මං මූලිකව රංගනය ගැන හදාරන්නේ. ඒ වගේම ප්‍රදීප් රාමවික්‍රම සර් මට ගොඩක් ගුරුහරුකම් දුන්නා. මුලින්ම මං ක්ෂේත්‍රයට එකතු වෙන්නේ නිරූපණ ශිල්පියෙක් විදිහට. ඊට පස්සෙයි රංගනයට යොමු වෙන්නේ. මුල්ම රංගන අත්දැකීම ලබන්නේ ‘ආයෙමත් ආදරෙන්’ ටෙලි නිර්මාණයේ ගෝමියගේ චරිතයෙන්. ඊට පස්සේ ජුරාලියා ටෙලි නිර්මාණයේ ෂෙහාන්ට ආරාධනා ලැබෙන්නේ එහි අධ්‍යක්ෂ සුපුන් රත්නායකගෙන්. LBW ටෙලි නිර්මාණයේ අවන්ත කියන ක්‍රිකට් ක්‍රීඩකයාගේ චරිතයෙන් තමයි ගොඩක්ම මිනිස්සු මාව හඳුනගත්තේ. මගේ ක්‍රිකට්වලට තියෙන සමීපත්වය එයට හේතු වෙන්න ඇති. සමන්මලියහි සුද්දා වෙන්නේ ඊටත් පස්සේ.
ශෙහාන් කියන්නේ ජනප්‍රිය නර්තන ශිල්පියෙක්?
ඔව්. එක්තරා ඩාන්සින් රියලිටි වැඩසටහනකට ඉදිරිපත් වුණු වෙලාවේ තමයි මට නර්තන හැකියාවක් තියෙනවා කියල හඳුනගන්නේ. මේ වෙද්දි මට නර්තන කණ්ඩායමක් තියෙනවා. ඒ වගේම යූටියුබ් නාළිකාවටත් බොහෝ පිරිසක් එකතුවෙලා ඉන්නවා.
ශෙහාන් මේ වෙද්දි නිවේදනයේත් ජනප්‍රිය චරිතයක්?
මං ටීවී ස්ප්‍රීම් ආයතනයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස කටයුතු කරනවා. රිදම් කැෆේ, ස්පෝට්ස් නම් සුප්‍රීම්, රෝඩ් ටු වීක්එන්ඩ් වගේ වැඩසටහන් කරනවා. මෙවර රයිගම් සම්මාන උලෙළේ හොඳම ක්‍රීඩා වැඩසටහනට ‘ස්පෝට්ස් නම් සුප්‍රීම්‘ වැඩසටහන නිර්දේශ නාම අතරට එකතු වෙලා තියෙනවා. මාස තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත නළුවෙක්, කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්, මාධ්‍යවේදියක් කියන භූමිකා තුනම අත්දකින්න මට අවස්ථාව ලැබෙනවා.
කොණ්ඩෙත් ශෙහාන්ට ආභරණයක් වෙලා නේද?
සමහර තැන්වලදි කොණ්ඩය නිසාත් මට අවස්ථා ලැබුණා. මං ක්ෂේත්‍රයට එන්නෙම කොණ්ඩය වවලා. මං හරි ආසයි වෙනස් වෙන්න. ඉදිරියේදී හොඳ චරිතයකට අවස්ථාවක් ලැබෙනවා නම් මං කැමැතියි කොණ්ඩෙ කපන්න. ඇත්තම කිවුවොත් හොඳ කැරැක්ටර් එකක් එනකල් ඉන්නෙ මං කොණ්ඩෙ කපන්න.