ආසාව නිසා පොඩි ට්‍රයි එකක් දැම්මා -ඉෂිනි විජේසිංහ

gossiplanka image 1
 

ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ රංගනයෙන් මෙන්ම ලේඛනයෙන්ද ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් ඉෂිනි විජේසිංහ, ක්ෂේත්‍රයේ තමාටම අනන්‍ය වූ මාවතක් තැනූ ශිල්පිනියකි. ලේඛන කලාවට සහ තිරරචනයට ඇති ළැදියාව නිසාම රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය, අද වනවිට ටෙලිනාට්‍ය සහ සිනමාව හරහා සිය අනන්‍යතාව සනිටුහන් කර හමාරය. තම පවුලෙන් සහ ආදරණීයයන්ගෙන් ලැබෙන ශක්තිය පෙරදැරිව, ජීවිතය වලාකුළක් මෙන් සැහැල්ලුවෙන් විඳින ඇය, ලේඛිකාවක් මෙන්ම රිදී තිරය හැඩකරන රංගන ශිල්පිනියක ලෙසද සිය ගමන සාර්ථකව ඉදිරියටම රැගෙන යයි. සිය කලා ජීවිතයේ අත්දැකීම් සහ ඉදිරි බලාපොරොත්තු පිළිබඳ ඇය අප සමග කළ සුහද කතාබහයි මේ. Sri Lanka Latest News


ඉෂිනි කොහොමද මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ?

මේ දවස් ටිකේ නම් ඇත්තටම හරිම සතුටින් ඉන්නවා.

ඉතින් රංගනයට අවතීර්ණ වුණේ කොහොමද?

මම රංගන ක්ෂේත්‍රයට එන්නේ 2023 අයි.ටී.එන්. නාලිකාවේ අවුරුදු කුමාරි තරගයත් එක්ක. මට ඇත්තටම එන්න පුළුවන් දුර වෙන්නේ අවසන් දොළොස් දෙනාට විතරයි. හැබැයි ටික කාලයක් ගියාට පස්සේ මට ස්ක්‍රීන් ටෙස්ට් එකකට කතා කරනවා ජානු ටෙලිනාට්‍යයෙන්. මම හරිම ආදරයෙන් මතක් කරනවා එහි අධ්‍යක්ෂතුමා හසුන් සමීර සර්වත් ඒ වගේම සුමෙත් අයියවත් හරිම ආදරෙන් මතක් කරනවා. ඉතින් එයාලා තමයි මට කතා කළේ. එහෙම තමයි මම මේ ක්ෂේත්‍රයට එන්නේ.

රංගන ශිල්පිනියක් ලෙස මෙතෙක් පැමිණි ගමන ගැන කිව්වොත්?

මට හරිම සතුටුයි ඒ ගැන කතාකරන කොට සහ මතක් කරන කොට. මොකද මං මහන්සි වුණා. පුංචි ආසාවක් නිසා ට්‍රයි කරන්න ඕනේ කියලා හිතලා තමයි මම උත්සාහ කළේ ඉතින් ඒක අද වෙනකොට සාර්ථක වෙලා තියෙනවා. මට ඒක ගැන ගොඩක් සතුටුයි.

‘ජානු’ ටෙලිනාට්‍යයේ නෝරාගේ චරිතය ගොඩක් ජනප්‍රිය වුණා…

ඇත්තටම කියනවා නම් මට ඒ සම්බන්ධව කියන්න වචන ඇත්තටම නැති තරම්. තාමත් ගොඩක් අය දැක්කහම සහ මාව හඳුනා ගත්තොතින් අනිවාර්යෙන්ම මට කතා කරන්නේ ‘ජානු’ එකේ නෝරා නේද ඔයා කියලා. ඉතින් ඒක මට මාර සතුටුයි. මට ඒක කවදාවත් අමතක වෙන්නැති චරිතයක්. මට මාර ආදරයක් ලැබුණා ඒ චරිතය හරහා මට ඒකට මාරම සතුටුයි.

මුල්ම සිනමා අත්දැකීම රිදී තිරයෙන් දකින කොට මොනවාද හිතුණේ?

ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් වෙලා හිටපු මට එක පාරටම සිනමාවට එන්න ලැබෙයි කියලා හිතුණේ නැහැ. නීරා චිත්‍රපටයෙන් මාව දකින කොට ඉස්සෙල්ලාම හිතුණේ මේ මම නේද කියලා. ඉතින් ඒ මොහොතේදී සිනමා රංගන ශිල්පිනියක් වීම ගැන මට නිහතමානී ආඩම්බරයක් සහ සතුටක් දැනුණා.

අමතක නොවන ආදරණීය හමුවීම් එහෙම ඇති නේද?

මම දකින්නේ හැම පුද්ගලයෙක්ම ජීවිතේට හමුවෙන එක හරිම ආදරණීයයි කියලා. ඒ කියන්නේ කාලයක් යනකොට මගේ ජීවිතය දේ වෙනස් වෙන්න පුළුවන් තව කෙනෙක් ජීවිතය ඇතුළු වෙන්න පුළුවන්. හැබැයි මම දකින විදිහට හැමෝම හම්බවෙන ලොකු හේතුවක් තියෙනවා. ඉතින් මං ඒ හැම හමුවීමකම ආදරණීය බවක් දකින්න කැමති කෙනෙක්. මගේ ජීවිතේ එහෙම බැලුවොත් එහෙම හැම හමුවීමක්ම හරි ආදරණීයයි.

මියුසික් වීඩියෝවලත් ඉෂිනිව දැන් නිතරම දකිනවා…

මියුසික් වීඩියෝස් නම් මම දැනට නමයකට විතර දායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් ඒ අතරින් වැඩිපුර දායකවෙලා තියෙන්නේ ඩිලූ බීට්ස්ගේ. එයාගේ මියුසික් වීඩියෝස් තුනකට මම දායකත්වය ලබා දුන්නා සහ ඉස්සරහටත් එයා මට කතා කරලා තියෙන්නේ මියුසික් වීඩියෝස්වලට. ඉදිරියේදී එයාගේ මියුසික් වීඩියෝස්වලින් මාව බලාගන්න පුළුවන් වෙයි.

රංගනයට මෙන්ම ලේඛනයටද ඉෂිනි ඉතාම දක්ෂයි. ඉතින් කොහොමද ලේඛන කටයුතු?

රංගන ක්ෂේත්‍රයට එන්නත් ප්‍රධානතම හේතුව මගේ ලිවීම. මොකද මම හරි ආසාවෙන් හිටියා තිර රචනයක් කරන්න. ඒක නිසා තමයි ඇත්තටම රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයට එන්න ප්‍රධානම හේතුව. ඒ වගේම ලේඛන කටයුතු ගැන කතා කරෝතින් එහෙම මම ගිය අවුරුද්දේ පොත් ප්‍රදර්ශනය අල්ලලා පොතක් කළා ‘ප්‍රාණාන්තර’ කියලා. මේ අවුරුද්දට තව පොතක් කරන්න හිතාගෙන ඉන්නවා. දිනපොතක් වගේ පොතක් වැඩිපුර විස්තර කියන්නේ නැහැ. බලාගෙන ඉන්න අනිවාර්යයෙන්ම ඒක ඉස්සරහට කරන වැඩක්.

හෙට දවස ගැනත් යමක් කියමු නේද?

ප්ලෑන්ස් කීපයක් හදාගෙන ඉන්නවා දැනට. හැබැයි ඒ දේවල් ක්‍රියාත්මක කරනතුරු රහසක් විදියට තබාගන්න එක තමයි හොඳම දේ කියලා මම හිතනවා. හැබැයි ඉස්සරහට ලොකු වැඩ කීපයක් සිද්ධ වෙනවා. මට ආදරෙ කරන මගේ ප්‍රේක්ෂකයන්ට වගේම පාඨකයන්ටත් ඉස්සරහට දැනගන්න පුළුවන් මොනවද අලුත්ම විස්තර කියලා. ඉතින් මාත් එක්ක ඉස්සර හිටියා වගේම දිගටම ඉන්න කියලා හරි ආදරෙන් මතක් කරනවා හැමෝටම.

gossiplanka image 2
Previous Post Next Post