අපේ ෆැන්ටසි එක තියෙන්නේ සිනමාවේ -එස්. අයි. සමරක්කොඩි

gossiplanka image 2
 


වේදිකා නාට්‍යය රංගන ශිල්පියෙක් විලස රංගන දිවිය ආරම්භ කරමින් කලා ක්ෂේත්‍රය තුළ වෙනස්ම චරිතයන්ගෙන් ප්‍රේක්ෂකයන් ආමන්ත්‍රණය කළ ප්‍රවීණ කලාකරුවෙකු සමඟයි මේ කතා බහ. ලාංකීය පළමු ‘වන් ටේක්‘ චිත්‍රපටය සහ ලාංකීය පළමු දෙබස් වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන ඔහු, නමින් එස්. අයි. සමරක්කොඩි.


ඔබ රංගනයේ යෙදෙන නවතම ටෙලි නාට්‍යය විකාශය කිරීම ඇරඹුණා නේද?


ඔව්, ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශනය වන සිහින වරුසා යන ටෙලි නාට්‍යයේ රූගත කිරීම් නිසා ටිකක් කාර්යබහුලයි.


වේදිකාවෙන් රංගන ශිල්පියෙක් ලෙස පැමිණි ඔබට, කලා ක්ෂේත්‍රයට ආරාධනා ලැබෙන්නේ කොහොමද?


මගේ පළමු වේදිකා නාට්‍ය රංගනය වුණේ හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ කතාව. ඒ වගේම ප්‍රේමකුමාර් කරුණාරත්න සර්ගේ නාට්‍ය වැඩමුළුවලදී ඔහුගේ නාට්‍යවලටත් සහභාගි වුණා. ජනප්‍රියම නාට්‍යයක චරිතයක් ලෙස මම කළේ හුණුවටයේ කතාවේ ජොසප්පුවාගෙයි ගිලන් මිනිසාගෙයි චරිත. ඒ චරිතවලට මම කරන සාධාරණයත් සමඟ ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය, චිත්‍රපටවලට ආරාධනා ලැබුණා. එහෙම තමයි ක්ෂේත්‍රය තුළ මගේ ගමන ආරම්භ වෙන්නේ.


ඔබ රඟන මායාවී ටෙලි නාට්‍යයේ “සපුමල්ගේ” චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


සපුමල්ගේ චරිතයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිවෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේද ඒ චරිතය පිළිබඳව ගොඩක් කතා කරනවා. සපුමල් හරි ආදරණීය චරිතයක්. ඉතින් මේ චරිතය මනාව රචනා කරන මහේෂ් රත්සර මද්දුමආරච්චි, අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා, නිෂ්පාදක ලලිත් නිසා තමයි මේ චරිතය ගොඩනැඟෙන්නේ. ඒත් සමඟ මම චරිතයට සාධාරණයක් කරනවා කියලා හිතෙනවා. ඒ නිසාම මට අපේ රටේ මෙන්ම විදේශීය ප්‍රේක්ෂකයන්ගේද ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිවෙනවා.


විවිධාකාරයේ චරිත නිරූපණයන් ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට එන ඔබ මේ වෙනස් චරිත නිරූපණයන් ගැන මොකද හිතන්නේ?


විවිධ වෙනස් වූ චරිත මට හම්බවෙනවා. මම හිතන්නේ ඒක මගේ පෙර පිනක් වෙන්න ඇති කියලා. සපුමල්, ඩෙන් කුටුවා, අල්පොන්සු, හීනා, බටේ මේ සියලු චරිත විවිධාකාරයේ වෙනස් චරිතයන්. ඒ වගේම විකාශනය වීමට නියමිත සිහින වරුසා ටෙලි නාට්‍යයේ මට හිමි චරිතය මා මින් පෙර රංගනයන් දැක්වූ චරිතයන්ට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. චරිතාංග නළුවෙක් වශයෙන් අවශ්‍ය වන්නේ එකිනෙකට වෙනස් චරිත වල රංගන හැකියාවන්. විවිධාකාරයේ චරිතයන්ගෙන් රංගනයන්වලට සහාභාගී වූ නිසාවෙන් ක්ෂේත්‍රය තුළ ඒකාකාරීව කොටු වුණේ නැහැ කියලා මට හිතෙනවා.


ඔබ අධ්‍යක්ෂණය කළ ‘හෙලෝ‘ චිත්‍රපටය ගැනත් කතා කරමු


ලංකාවේ පළමු වන් ටේක් චිත්‍රපටය වන ‘හෙලෝ‘ අධ්‍යක්ෂණය කළේ මම. වන් ටේක් කියන්නේ ඇක්ෂන් කියලා කට් කියන තුරු කිසිම සංස්කරණයක් නොවී මුළු චිත්‍රපටයම රූගත කර අවසන් කරන එක. හෙලෝ වේදිකා නාට්‍යයේ රංගනයත් සමඟ ඒ හා කතා පුවතක් සහිත චිත්‍රපටයක් නිර්මාණය කළ හැකි බව මට හිතුණා. චිත්‍රපටය තිර රචනය කළේ චාලක රණසූරියත් සමඟ. වසර අවසානය වන විට චිත්‍රපටය තිරගත කිරීමට හැකි වේ යැයි විශ්වාසයක ඉන්නවා. හෙලෝ කියන්නේ දුරකතනය නිසා පවුල් ජීවිතය විනාශ වෙන මුළු ලෝකයටම පොදු මාතෘකාවක් තියෙන චිත්‍රපටයක්.


චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙස ඔබ සිනමාව දකින්නේ කොහොමද?


අපේ ෆැන්ටසි එක තියෙන්නේ සිනමාවේ. රූපවාහිනියට වඩා මම වැඩියෙන්ම ඇලුම් කරන්නේ වේදිකාවට සහ සිනමාවට. සිනමාව කියන්නේ පුළුල් තිරයක ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන් තැනක්. මිනිසුන්ගේ අත්දැකීම් විවිධ තේමා ඔස්සේ මුළු ලෝකයටම කතා කරන්න පුළුවන් ක්ෂේත්‍රයක්. එක් එක් ශ්‍රානරවල නිර්මාණ අද සිනමාව තුළ දකින්න පුළුවන්. අධ්‍යක්ෂවරයෙකුට සිනමාව කියන්නේ කියා නිම කළ නොහැකි විෂය පථයක්. ඉදිරියේදීත් මට සිනමාව තුළ අධ්‍යක්ෂවරයෙක් රංගන ශිල්පියෙක් විදිහට වැඩ කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.


ඔබ තවමත් වේදිකා නාට්‍ය ශිල්පියෙක්ද?


ඔව්. මම තවමත් වේදිකා නාට්‍යය රංගන ශිල්පියෙක්. හුණුවටයේ කතාව, කුවේණි, කැලණි පාලම, මාරක ළිඳේ සවාරියක් වේදිකා නාට්‍ය මේ දිනවල වේදිකාගත වෙනවා. මම ඒවාට සම්බන්ධ වෙනවා. ලංකාවේ පළමු දෙබස් නැති වේදිකා නාට්‍ය කරන්නෙත් මම. ඒ “ලව් ඇන්ඩ් ලයිෆ්” වේදිකා නාට්‍ය. ළඟදීම තවත් අලුත් වේදිකා නාට්‍යයක් කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. කවදාවත් වේදිකාව නම් අතාරින්නේ නෑ. ඒ සමඟ හැමදාම ඉන්නවා.


වේදිකාවත්, පුංචි තිරයක් ජයග්‍රහණය කළ ඔබ මෙතෙක් සිනමාවට දැක්වූ දායකත්වය?


මම රංගන ශිල්පියෙක් විදිහට සිනමා නිර්මාණ කිහිපයකට දායක වෙලා තියෙනවා . ඊට අමතරව ලොකුම දායකත්වය තමයි ලංකාවේ පළමු වන් ටේක් චිත්‍රපටය ‘හෙලෝ‘අධ්‍යක්ෂණය කිරීම. එහි ප්‍රධාන චරිතයන්ගෙන් එකකටත් මම සහභාගි වෙනවා. ‘හෙලෝ‘ චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් සහ රංගනයෙන් තමයි සිනමාවට මුල්ම දායකත්වය ලබා දෙන්නෙ.


ක්ෂේත්‍රයට එන නවක කලාකරුවන්ට ඔවුන්ගේ හැකියාවන් ප්‍රගුණ කරගන්න යමක් පැවසුවොත්?


තමන්ගේ සහජ හැකියාවන් කුසලතාවයන් වඩාත් දියුණු කරමින්, ඒ පිළිබඳව මනා අධ්‍යයනය කරමින්, ක්ෂේත්‍රයට එන්න. රංගන ක්ෂේත්‍රය ඉතාම සුන්දරයි. එහි රඳා පවතින්න නම් හොඳ අධ්‍යයනයක් තියෙන්න ඕනි. මනා දැනුමකින් ක්ෂේත්‍රයට ආවා නම් ඔබට ක්ෂේත්‍රයේ වැජඹෙන්න පුළුවන්.


රංගනය වෙනුවෙන් ඔබ ලබා ගත් ඇගයීම් මොනවාද?


මම හොඳම නළුවා, හොඳම සහය නළුවාට හිමි සම්මාන දිනාගෙන තියෙනවා. රාජ්‍ය මට්ටමින් හොඳම සහය නළුවාට නිර්දේශ වෙලා තියෙනවා. ඒ ” මායා බන්ධන” නාට්‍යයේදී. ඊට අමතරව මගේ “කොන්ක්‍රීට් ආදරය” කෙටි නාට්‍යයට ජූරියේ විශේෂ රංගන කුසලතාවක් හම්බෙලා තියෙනවා. එසේම “ලව් ඇන්ඩ් ලයිෆ්” වේදිකා නාට්‍යයෙන් යෞවන සම්මාන සහ රාජ්‍ය සම්මාන ජයග්‍රහණය කරලා තියෙනවා. එහිදී 2017 දී ඉන්දියාවේ දිල්ලි ෆෙස්ටිවල්, 2018 කේරළ නාට්‍ය උලෙළ 2023 බොස්නියාවේ ජාත්‍යන්තර සම්මාන උත්සවය යනාදියේදී සම්මානයන් ලබාගෙන තියෙනවා.


ඉදිරි වැඩ කටයුතු සහ බලාපොරොත්තු මොනවාද?


අලුතින් වේදිකා නාට්‍යයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තුවක් තියෙනවා. ඊට අමතරව මේ වසර තුළ මම අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය විකාශනය කිරීම, “හෙලෝ” චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම ලොකු බලාපොරොත්තුවක්. ඒ නිර්මාණයන් තිරගත කිරීමෙන් අනතුරුව නව නිර්මාණ රැසක් මගේ ප්‍රේක්ෂකයන් අතර බිහි කිරීමට ආසාවෙන් ඉන්නවා.

gossiplanka image 1
Previous Post Next Post