කස්සාට නරක ප්‍රතිචාර ඇත්තෙම නැහැ -අනුදිස කොඩිතුවක්කු

gossiplanka image 1
 

කස්සා ගැන මේ දිනවල කතා නොකරන කෙනෙක් නැති තරම් . ඔහු අපට හමුවන්නේ ‘ජහුටා’ ටෙලිනාට්‍යයෙනි. විශේෂයෙන් තරුණියන්ගේද ආකර්ෂණය ලබා ගනිමින් සිටින ‘කස්සා’ හෙවත් කඩවසම් තාරුණ්‍යයකට හිමිකම් කියන අනුදිස කොඩිතුවක්කු මෙසේ රසඳුන හා එක්විය .


‘කස්සා’ අපූරු නමක්….


ඔව්, මේ දවස්වල මගේ සැබෑ නමට වඩා මිනිස්සු මාව හඳුනන්නේ ‘කස්සා’ කියලා . යාළුවොත් කතා කරන්නේ ‘කස්සා’ කියලා. ඒ චරිතය ඇතුළේ තිබෙන දේට මිනිස්සු හරිම ආදරෙයි. හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ‘කස්සා’ට තිබෙනවා.


පළමු ටෙලි නාට්‍ය රංගනයට මෙතරම් ප්‍රතිචාර ලැබෙයි කියා සිතුවාද?


ඇත්තෙන්ම නැහැ . ‘ජහුටා’ මගේ පළමු ටෙලි නාට්‍ය රංගනය . කස්සා චරිතයට ඔක්කොම ලැබෙන්නේ සුබවාදී ප්‍රතිචාරමයි. නරක ප්‍රතිචාර ඇත්තෙම නැහැ. ඒ ගැන නිහතමානීව ආඩම්බරයි . චරිතය ඇතුළේ වූ නිහතමානීත්වයට ප්‍රේක්ෂකයා ආදරය කරනවා


කොහොමද කස්සාට ආරාධනා ලැබෙන්නේ?


සද්ධා මංගල සූරියබණ්ඩාර සර්ගෙන් රංගනය හදාරන්න ගියා. එහිදී දැනගන්න ලැබුණා මේ චරිතයට තිර පරීක්ෂණයක් පවත්වනවා කියලා. එහෙම තමයි මට මේ අවස්ථාව ලැබුණේ .


කස්සාත් අනුදිසත් අතර සමානකම් ඇති?


ඔව්, ගොඩක් සමානයි .මට ඒක කස්සා නිරූපණයට පහසු වුණා .රංගනයේදී අනුදිසව සම්පූර්ණයෙන් වෙනස් කරන්න මට වුවමනා වුණේ නැහැ . දෙදෙනාගේ හැසිරීම් රටා, කතා විලාසය බොහෝ සමානයි. තමන් තමන්වම නිරූපණය කිරීම සමහර අවස්ථාවලදී අපහසු වුණා


බොහෝ අය සිතාගෙන ඉන්නේ චතුරංග කොඩිතුවක්කුයි ඔබයි සහෝදරයෝ කියලා?


මේක බොහෝ අය අහන ප්‍රශ්නයක් . ඒකට හේතුව අපි දෙන්නම කොඩිතුවක්කුලා නිසා වෙන්න ඇති . අපි අතරේ ඥාතීත්වයක් නැහැ . චතුරංග කොඩිතුවක්කු කියන්නේ ප්‍රේක්ෂකයන් ආදරය කරන, ක්ෂේත්‍රයේ නිර්මාණ රැසකට දායක වූ නළුවෙක් . මම ඔහුගෙන් බොහෝ දේ ඉගෙනගත්තා බලා සිටීමෙන්. මේ වෙද්දී ඔහුගෙන් මම සෑහෙන පන්නරයක් ලබා තිබෙනවා . ඔහු මට බොහෝ දේ කියා දී තිබෙනවා . අපි දෙන්නා අතර ඒ සම්බන්ධතාව ලොකු බැඳීමක් කියා මා සිතනවා . සහෝදයෝ කිව්වත් වැරදි නැහැ කියා හිතනවා . සහෝදර බැඳීමක් අපි අතර තියෙන්නේ .


‘නොසිතූ ඇමතුම’ හි ප්‍රධාන චරිතයක් ඔබට ලැබෙනවා?


ඔව්, ළහිරු වෙඩිපුල් ආරච්චි අයියා තමයි මේ වෙබ් සීරීස් එක ඩිරෙක්ට් කරන්නේ. එහි මගේ චරිතයේ නම රමිල. මේක ලස්සනම ලස්සන වෙනස් තාලයේ වැඩක්. මේකෙන් මටත් සෑහෙන අත්දැකීම් ලැබුණා. මෙහි ප්‍රවීණ පිරිසක් සමඟ ප්‍රධාන චරිතයක් නිරූපණයට අවස්ථාව ලැබීම මගේ භාග්‍යයක්. ත්‍රාසය, කුතුහලය, විනෝදය ඇතුළත් මේ නිර්මාණය ලංකාව ඇතුළේ වෙනස්ම පෙරළියක් කරාවි කියා සිතනවා. ඉකුත් 14 වැනිදා නොසිතූ ඇමතුම රිලීස් කළා.


සිනමාවට ආරාධනා ලැබුණේ නැද්ද?


තවම නම් නැහැ. සිනමා රංගන ශිල්පියෙක් වීම මගේ ලොකුම සිහිනයක්. ඒ වෙනුවෙන් මම මහන්සි වෙනවා, කැපවෙනවා. ආරාධනාවක් ලැබුණොත් සතුටින් භාරගන්නවා.


පාසල් කාලයේත් කලා කටයුතු කළාද?


05 වසරේදී වගේ තමයි මුලින්ම වේදිකා නාට්‍යයක රඟපෑවේ. ඉංග්‍රීසි නාට්‍ය කිහිපයක්ම කළා. සා. පෙළට නාට්‍ය හා රංගකලාව හැදෑරුවා. ඉන්පසු ‘මැක්බර්ත්’ නමින් ඉංග්‍රීසි ඩ්‍රාමා එකක් කළා. ඒකට සමස්ත ලංකා පළමු ස්ථානය හිමිවුණා.


අවුරුදු කුමරාටත් කිරුළු පැලඳුවා කියල දැනගන්නට තියෙනවා?


ඔව්, සමාජ මාධ්‍යයේ දැක්ක පෝස්ට් එකකට අයදුම් කරලා තරගයට ඉදිරිපත් වුණා. එහිදී නොසිතූ විදිහට මම, අවුරුදු කුමාරාහි ජයග්‍රහණය ලැබුවා. එහිදී මට ලොකු පන්නරයක් ලැබුණා. මම බොහෝ දේ ඉගෙනගත්තා. ආසාව වැඩිවුණා. හොඳ ප්‍රතිචාර ආවා. මට යමක් කළ හැකියි කියා ආත්මවිශ්වාසයක් ඒ තරගය නිසා මට ඇතිවුණා


පසුගිය දාක ධම්ම දිසානායකයන් ‘කස්සා’ චරිතය හා ඔබේ රංගනය අගය කර තිබුණා?


ඔව්, ඔහු තමන්ගේ ෆේස් බුක් Page එකේ වීඩියෝවක් පළකර ‘කස්සා’ චරිතය ගැනත් මගේ රංගනය ගැනත් අගයලා තිබුණා. ඒ වගේ උගත්, වැදගත් සමාජයේ සම්භාවනාවට පාත්‍රවූ කෙනෙක්ගේ ඇගයීමට ලක්වීම ගැන ඉතා සතුටුයි. ඔහු මගේ පෙනුම ගැන විශේෂ සඳහනක් කර තිබුණා. චේගුවේරාගේ පෙනුමට මා සමීපයි කියා ඔහු කියා තිබුණා. චේගුවේරා කියද්දී මගේ ඔළුවේත් තිබුණේ ඔහුගේ මැදිවියේ රූපයක්. ධම්ම දිසානායක සර් කියූ නිසාම චේගුවේරාගේ තරුණ අවධියේ ෆොටෝස් මා සොයා බැලුවා. එහිදී ඔහුගේ තරුණ වියේ පෙනුම මට සමාන බව දැකගන්න ලැබුණා


‘කස්සා’ට තරුණියන්ගේ ආකර්ෂණය ලැබෙනවා වගේම ඔබටත් තරුණියන්ගේ ආකර්ෂණය නැතිවෙන්න බැහැ?


ඔව්, කස්සාගේ චරිතය ලියවෙන විදිහ අනුව එහෙම ආකර්ෂණයක් නම් තිබෙනවා. සැබෑ දිවියේත් තරුණියන්ගේ ආකර්ෂණය ලැබෙනවා. නැත්තේ නැහැ. මම එය හඹායන්නේ නැහැ. සාමාන්‍ය විදිහට ඒවා මටත් ලැබී සහ නොලැබී තිබූ අවස්ථා තියෙනවා. ඒක සාමාන්‍යයි.


ඉගෙනීම කටයුතුත් තවම කරගෙන යනවා නේද?


මම දැනට පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉංජිනේරු තාක්ෂණය හදාරමින් ඉන්නවා


පවුලේ විස්තර කීවොත්?


පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, අක්කා, මම. අපි පුංචි පවුලක්. අම්මා ගුරුවරියක්. පියා පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙක්. රජරට විශ්වවිද්‍යාලයෙන් උපාධිය ගත්ත අක්කා දැන් විධායක නිලධාරිනියක්. කලාදිවියට ලොකුම ශක්තිය ලැබෙන්නේ මගේ පවුලෙන්. මාව මේ තැන ඉන්නවා දකිද්දි , මිනිස්සු මට ආදරය කරනවා දකිද්දි එයාලා මාරම සතුටක් ලබනවා. මා ගැන පවුලේ අයට ආඩම්බරයි. මට උපරිම සහායක් දෙන්නේ. පවුලේ අය නැත්නම් මට මේ ගමන යන්න බැරිවෙනවා. ඒවගේ පවුලක උපත ලබන්න මම වාසනාවන්ත වුණා

gossiplanka image 1
Previous Post Next Post