රංගනයට පිවිසෙන නවකයන් අතරින් ඉතාමත් කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගත් රංගන ශිල්පියෙක් ලෙස තිල්ෂාන් රාජකරුණා හැඳින්විය හැකිය. සිය රංගන ගමන ආරම්භයේදීම සම්මානයකින් පිදුම් ලැබූ ඔහු අප සමඟ කතාබහට එක්වූවේය.
මේ දවස්වල ඔබ ගොඩක්ම කාර්යබහුල වෙලා. කොහොමද වැඩකටයුතු?
ඔව්. වෘත්තීයමය වැඩකටයුතු සහ රූපගතකිරීම් එක්ක මේ දවස්වල තරමක් කාර්යබහුලයි. හිරිපොදවැස්ස, විසේකාරි ටෙලිනාට්‍යවල රූගත කිරීම්වලට සම්බන්ධ වෙන ගමන් වෘත්තීය වැඩත් සමබරව කරගෙන සතුටින් යනවා.
ඔබ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද.?
ඇත්තම කිව්වොත් මේක ආසාවක් පස්සෙ ආපු ගමනක්. පොඩි කාලෙ ඉඳන්ම මට ඕන වුණේ ස්ක්‍රීන් එකක මාව දකින්න. පාසලේදී ස්ටේජ් ඩ්‍රාමා කළා. කැම්පස් එකේදි රඟසොබා කියල පවත්වපු Faculty Drama Competition එකකදි මට හොඳම නළුවා සම්මානය හිමිවුණා. ඒක තමයි රංගනට එන්න මාව මෝටිවේට් කළේ. ඊට පස්සේ වෙළෙඳ දැන්වීම් කිහිපයකට ආරාධනා ලැබුණත් පෞද්ගලික හේතුවක් මත මම රඟපාන එක නවත්වනවා. ආයෙ මම රංගනයට එන්නේ 2023 වසරේ අන්තිම කාලේ. එක්තරා ටෙලිනාට්‍යයක එක සීන් එකක,රංගන ශිල්පියො ගොඩාක් ඉන්න තැනක ඈතින් මාව පේනවා. ඒත් සපත්තු දෙක විතරයි. එතන තමයි මගේ ආයෙමත් රංගනයට පිවිසීම.
ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලයක් තුළ නිර්මාණ කීපයකටම රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා නේද?
මම මුලින්ම රඟපෑවෙ ජානු නාට්‍යයේ. ඊට පස්සේ දෑස මත මොහොතක්, see you, රොකී, මල්වාරේ, තප්පරකට්ටා, පාරාදීසේ වගේ ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණා. මේ දවස්වල විකාශය වන හිරිපොදවැස්ස, විසේකාරි ටෙලිනාට්‍යවලට රංගනයෙන් දායක වෙන්නේ ඊට පස්සේ.
ඔබේ රංගන ගමන ඇරඹෙන්නේම ඇගැයීමකින්. කොහොමද ඒ අත්දැකීම?
Reana සම්මාන උලෙළේ 2025 හොඳම නළුවා සම්මානය ලැබෙන්නේ මට. මුලින්ම රෑන ක්‍රියේෂන් ආයතනයට ස්තූතිවන්ත වෙනවා. කැමරාවක් ඉදිරියේ රඟපාලා ලබාගත්ත පළමුවැනි සම්මානය. මේ වගේ සම්මානයකින්ම මගේ ගමන ආරම්භ කරන්න ලැබීම සතුටක්. ඒ ගැන මට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක් වගේම සතුටක්.
මේ ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගැන මොකද හිතෙන්නෙ?
ඇත්තටම හිතාගන්න බැරි තරම් ආදරයක් ලැබෙනවා. රංගන ශිල්පීන් විදිහට ප්‍රේක්ෂක ආදරය තමයි අපේ වත්කම. මොකද ප්‍රේක්ෂකයන් නිසා තමයි අපි අද මෙතන ඉන්නේ. ඒ ආදරය තියන තාක් අපේ ගමන පැහැදිලියි.
ඔබේ වෘත්තිය ක්ෂේත්‍රයත් කලාවට සමිපයි නේද.?
ඇත්තටම ඔව්. භූමි නිර්මාණය පිළිබඳ විශේෂ උපාධියක් කරලා, දැනට මම scaled architecture ආයතනයේ ආකෘති සහ භූමිනිර්මාණ ශිල්පියෙක් විදිහට කටයුතු කරනවා. ඒ අතර රංගන කටයුතුවල නියැළෙනවා. මගෙ වෘත්තියත් සමඟ බැඳුණු නිර්මාණශීලී හැකියාවන් මට රංගනය තුළ චරිත නිර්මාණයේදී ගොඩක් ඉවහල් වෙනවා කියල මට හිතෙනවා. ඇත්තටම මට සතුටුයි එහෙම තැනක ඉඳගෙන මේ වගේ වෙනස්ම දේවල් කරන්න ලැබීම ගැන.
ඔබ රංගනය පිළිබඳව හැදෑරීමක් කරනවාද?
රංගනය තුළ අපි කුමන චරිතය කළත් මම දකින විදිහට අනිවර්යෙන්ම හැදෑරීමක් තියෙන්නම ඕන. රංගනය ගැන හැදෑරීමක් කරන්න මට අවශ්‍ය වෙනවා. මායිම ප්‍රඩක්ෂන් සමඟ සම්බන්ධ වෙලා ප්‍රදීප් රාමවික්‍රම සර් සහ ඔහුගෙ රංගන පාසල හරහා මම රංගනය හදාරනවා. ඒ හරහා චරිතයක් නිවැරදිව කියවන්න, අධ්‍යයනය කරන්න සහ චරිත නිවැරදිව හසුරුවන්නෙ කොහොමද කියන දේ ඉගෙන ගත්තා. තවමත් මම රංගනය ඉගෙන ගන්නවා සහ චරිත ගැන අධ්‍යයනය කරනවා.
ඉදිරියේදී සිනමා ප්‍රේක්ෂකයන්ටත් ඔබව දකින්න ලැබේවි නේද?
ඔව්, එක සිනමා නිර්මාණයක් සඳහා දායක වුණා. ඉදිරියේදී මගේ රසිකයන්ට එය නරඹන්න පුළුවන් වෙයි. ඒ වගේම තවත් සිනමා නිර්මාණයක් සඳහා ආරාධනා ලැබිල තිෙයනවා. තවම ඒක සාකච්ඡා මට්ටමේ තමයි තියෙන්නේ. ඇත්තටම සිනමාවට තමයි මම ගොඩක්ම කැමති. ඉදිරියේදී හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණොත් සතුටින් බාරගන්නවා.
කෙටි කාලයක් තුළ මෙතරම් සාර්ථක ගමනක් එන්න ලොකු සහායක් ලැබෙන්න ඇති?
මේ ආපු ගමනේ මගෙ ලොකුම හයිය වුණේ අම්මා, තාත්තා වගේම නංගී. ඒ වගේම මගේ ගුරුවරු, යාළුවො විශේෂයෙන්ම ප්‍රදීප් රාමවික්‍රම සර් ඇතුළු අපේ මායිම ප්‍රොඩක්ෂන් ටීම් එක, ප්‍රසන්න අයියා ඇතුළු සියලුම අධ්‍යක්ෂවරු. කසුන් ගම්මාන අයියා ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පීන්, ශිල්පිනියන්. මගේ රැකියා ස්ථානයේ පිරිසත් විශේෂයෙන් මතක් කරන්න ඕන.
ඉදිරියේදී දකින්න ලැබෙන නිර්මාණ ගැන කතා කළොත්?
මේ දවස්වල අලුත් ටෙලිනාට්‍යයක සහ සිනමාපටයක රූගත කිරීම් ආරම්භ කරලා තිෙයනවා. ඒ වගේම රූගත කිරීම් අවසන් කරල තියෙන සරත් ධර්මසිරිගේ ‘කඩහපොළ උන්නාන්සේ’ සහ චාමර රාජපක්ෂගේ ‘දඩස්’ චිත්‍රපට ඉදිරියට එන්න නියමිතයි.