මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශනය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන ‘බැද්ද අද්දර‘ ටෙලි නාට්‍යයේ නෙලුම්ගේ චරිතය බොහෝ දෙනකුගේ අවධානය දිනාගෙන ඇත. කවුද මේ නෙලුම්? මේ බොහෝ දෙනාට ඇතිවී තිබෙන ගැටලුවකි. අද අප හා කතාබහට එක්වන්නේ නෙලුම්ගේ භූමිකාවට පණ පොවන මදාරා සෙව්වන්දිය.
බැද්ද අද්දර ගැන මොකද හිතෙන්නේ?
බැද්ද අද්දර ඉක්මනින් ප්‍රේක්ෂකයා අතරට ගිය නාට්‍යයක්. ගැමි සුන්දරත්වයත් එක්ක එදිනෙදා ජීවිතයේ ගැමි පරිසරයේ කම්කටොලුවලට මුහුණ දෙන ජනතාවගේ පීඩනය දුක ගැන කතාවෙන නාට්‍යයක්. ඉතින් ඒ ගැමි පරිසරයේ කර්කශභාවය පෙන්වන නිසා මිනිස්සු ගොඩක් කැමති වෙලා තියෙනවා නාට්‍යයට. ඒ ගැන ගොඩක් සතුටුයි.
ටෙලි නාට්‍යයට එකතු වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
මාව යෝජනා කරලා තිබුණේ තිරපිටපත් රචක සමන්ත කුමාර ගමගේ අයියා. ඊට පස්සේ බුද්ධික ලොකුකැටිය, නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා මට කතා කරලා චරිතය ගැන විස්තර කිව්වට පස්සේ තමයි මම ඒ චරිතයට කැමති වෙන්නේ.
නෙලුම්ගේ චරිතය ඔබට දැනෙන්නේ කොහොමද?
මදාරාට හාත්පසින්ම වෙනස් නෙලුම්ගේ චරිතය. නෙලුම් කියන්නේ අහිංසක, නොපෙන්නුවාට පවුලට ගොඩක් ආදරය කරන කෙනෙක්. විශේෂයෙන් ආච්චිට සහ අක්කට. ඒ වගේම එයා අක්ක කියන දේවල් ගොඩක් අහනවා. ප්‍රේක්ෂකයන්ට නොපෙණුනාට එයාගෙ හිතේ තියෙනවා අක්කා නිසා තමයි එයා ගමනක් යන්න ඕනි කියලා. ඇත්තටම නෙලුම් කියන්නේ මට ගොඩක් දැනුණු ළෙංගතු චරිතයක්.
නාට්‍යයේ අනෙක් පිරිසෙන් ඔබට ලැබෙන සහයෝගය කොහොමද?
ඇත්තටම අධ්‍යක්ෂකවරයා, තිර පිටපත් රචක සමන්ත අයියා, රංගන ශිල්පීන් ශිල්පිනියන් ඇතුළු ටීම් එකේ හැමෝගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණා. හැමෝම ආදරෙන් මතක් කරන්න ඕනි. මොකද අපි නිර්මාණයකට සහභාගි වෙලා ඒක කරගෙන යද්දී අපිට ගොඩක් වැදගත් වෙන්නේ ඒ ලැබෙන සහයෝගය. එතකොට තමයි අපට හරියටම අපේ චරිතය කරන්න පුළුවන් වෙන්නෙ.
ඉදිරියේදී රඟපෑමට කැමැත්තෙන් ඉන්න චරිත තියෙනවා ද?
එහෙම විශේෂ චරිතයක් නැහැ. ලැබෙන හැම චරිතයක්ම ආස චරිතයක් කරගෙන ඒ චරිතය හදාරමින් ඉස්සරහට යන එක තමයි මගේ බලාපොරොත්තුව.
රංගන කටයුතු සාර්ථක කර ගන්න පවුලෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු?
ඇත්තටම මුල ඉඳලම පවුලෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලියි. ඉතින් එයාලා මම රංගනයෙන් දායක වන නිර්මාණ බලලා රස විඳිනවා.
පුංචි තිරයෙන් රිදී තිරයට එන්න අදහසක් නැද්ද?
පුංචි තිරයට වගේම රිදී තිරයටත් මම ගොඩක් ආසයි. ආදරය කරනවා. තවම මට සුදුසු අවස්ථාවක් ලැබුණේ නැහැ රිදී තිරයට එන්න. ගැළපෙන නිර්මාණයක් මට ලැබුණොත් අනිවාර්යයෙන්ම එකතු වෙන්න මම මග බලාගෙන ඉන්නවා.
ඉදිරියේදී කරන්න ඉන්න අලුත් වැඩ ගැනත් කියමු?
මගේ පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්නවා. ඒ වගේම මගේ වෘත්තියේ මනෝ උපදේශනය වැඩත් කරගෙන ඒ වගේම රංගන කටයුතුත් මම මට ගැළපෙන නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒකාකාරී චරිත කරන්න මට කැමැත්තක් නෑ. මට වෙනස් විදිහේ ගැළපෙන නිර්මාණ මට ලැබෙනවනම් ඒවා භාර අරගෙන ඉදිරියට යන්න තමයි මගේ බලාපොරොත්තුව.
මදාරා සෙව්වන්දිට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට මොකක් ද කියන්න තියෙන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි මට ආදරය කරන ගොඩ දෙනෙක් එදිනෙදා මට හම්බ වෙනවා. මම හරිම ආදරෙයි ඒ ප්‍රේක්ෂකයන්ට. මොකද ආදරය කියන දේ අපිට බලෙන් ගන්න බැහැ නේ. නොමිලේම ප්‍රේක්ෂකයන් අපිට ආදරය දෙනවා කියන්නේ ඒකට ගොඩක් සතුටුයි. ඉතින් මටත් ඒ වගේ ආදරය කරන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. මට හරිම සතුටුයි. ඉතින් ඉදිරියේ දී ලස්සන හොද නිර්මාණ ඔස්සේ ඔයාලා ළඟට එනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ.
ක්ෂේත්‍රයට පැමිණීමට ඉන්න නවකයන්ට දෙන පණිවිඩය මොකක්ද?
ක්ෂේත්‍රයට මමත් තවම නවකයි. මට කියන්න තියෙන එකම දේ මොන ක්ෂේත්‍රයකට ඔබ ආවත් හැදෑරීමක් කළ යුතුමයි. එහෙම නැත්තම් ආව ගැම්මෙන්ම ආයෙ පහළට බහිනවා. ඒක තමයි ඇත්ත. අපි මොන දේ කළත් හැදෑරීමක් තියෙන්න ඕනෑ. මම විශ්වාස කරන එකම දේ හැදෑරීමක් තිබුණොත් ඒ වගේම මේ විෂයට ආදරය කරොත් මේකේ අනිවාර්ය පැවැත්මක් තියෙනවා. ගොඩක් දෙනෙක් මේ ක්ෂේත්‍රයට එන්නේ ජනප්‍රියත්වයටම. එහෙම නෙවෙයි. අපි මේ ක්ෂේත්‍රයේ ඉන්නවා නම් නිතරම දැනුම අලුත් කරගන්න ඕනෑ. දක්ෂ රංගන ශිල්පියෙක් ශිල්පිනියක් වෙන්න නම් අනිවාර්යයෙන්ම හැදෑරීමක් කළ යුතුමයි.