පුංචි තිරයේ වගේම රිදී තිරයේත් අපට හමුවන ඔහු, විටෙක පාසල් යන දඟකාරයෙකි, තවත් විටෙක ප්‍රේමවන්තයෙකි. මේ දිනවල විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයක් හරහාම ප්‍රේක්ෂක අවධානය දිනාගත් තිෂාක්‍ය කුමාරතුංග සමග අප කළ කෙටි පිළිසඳරක් මේ…Sri Lanka Latest News
කවුද මේ තිෂාක්‍ය කියන්නේ?
හරිම විනෝදයෙන් කාලය ගතකරන්න කැමැති කෙනෙක්. හැබැයි ඉතින් අවශ්‍ය වෙලාවට වැඩක් සීරියස් විදිහට කරන්නත් මම දන්නවා. සරලවම කිව්වොත් ජීවිතය විනෝදයෙන් වගේම වගකීමෙන් ගතකරන චරිතයක්.
රංගනයට පිවිසි මුල්ම අවස්ථාව මතක් කළොත්?
මගේ රංගන ජීවිතේ ආරම්භය පාසල් වේදිකාවෙන් ලැබෙන්නේ. එහිදී මට ගුරුහරුකම් දුන්නේ තිස්ස ගුණවර්ධන සර්. හැබැයි මම මුලින්ම කැමරාවක් ඉදිරියට එන්නේ ‘හෝගානා පොකුණ’ සිනමා නිර්මාණය හරහා. මුළු රටක්ම මාව හඳුනාගන්න පටන් ගත්තේ ඒ චිත්‍රපටය හරහාය.
‘කෙවින්’ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තම කිව්වොත් ජනතාවගෙන් නම් හොඳක් අහන්න ලැබෙන්නේ නැහැ. මොකද කෙවින් කියන්නේ කිසිම කෙනකුට ඇහුම්කම් නොදෙන, දඩබ්බර පාසල් ශිෂ්‍යයෙක්. ඒ නිසා මිනිස්සු ඒ චරිතයට ගොඩක් බණිනවා. හැබැයි මට ඒ ගැන තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. මොකද මිනිස්සු බණින්නේ මම ඒ චරිතයට උපරිම සාධාරණයක් කරපු නිසා.
‘කෙවින්’ කියන්නේ තරමක් සංකීර්ණ චරිතයක්. ඒ වෙනුවෙන් වුණු සූදානම මොන වගේද?
මම මීට කලින් මෙවැනි චරිතයක් කරලා තිබුණේ නැහැ. අධ්‍යක්ෂ නිමන්ත ප්‍රසාර අයියා තමයි මට මේ ගැන කිව්වේ. මුලින්ම පාසල් මැරයෙක් විදිහට තමයි මම මේ චරිතය ගොඩනැඟුවේ. මගේ සැබෑ පවුල් පරිසරය හරිම ආදරණීයයි, ඉතින් ඒකෙන් මිදිලා මෙවැනි දඩබ්බර චරිතයක් කරන්න තේරුමක් තිබ්බේ නෑ. අපේ ටෙලිනාට්‍යයේ නිෂ්පාදන සෙට් එකේ හැමෝම ලොකු සහයෝගයක් දෙනවා මට ඒ චරිතයට සාධාරණයක් කරමින් සාර්ථකව චරිතය රඟපාන්න.
‘රොන් සොයා’ වගේම ‘හිරිපොද වැස්ස’ ගැනත් කතා කරමු?
ඒ නිර්මාණ දෙකේ මම කරන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ චරිත දෙකක්. එකක් ආදරණීය, හාස්‍ය මුසු චරිතයක්. අනෙක දුෂ්ට චරිතයක්. ගොඩක් අය දන්නේ නැහැ මේ චරිත දෙකම කරන්නේ මම කියලා. මොකද එකක මම රැවුල වවලා ඉන්නේ, අනෙකේ රැවුල කපලා. ඒ වගේම මට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගයත් එක්ක ඒ වෙනස කරන්න ලැබීම ලොකු ජයග්‍රහණයක්. ඉතින් මම ඒ චරිත දෙකටම සාධාරණයක් කරනවා වගේම වෙනස් චරිත දෙකක් කරන්න ලැබීම ලොකුම ජයග්‍රහණයක් ලෙස මම හිතනවා.
රංගනය කියන්නේ වෘත්තියද? නැත්නම් විනෝදාංශයක්ද?
ඇත්තටම මම ඒ ගැන එහෙම හිතලා නැහැ. හැබැයි මම ජීවිතේ ආසම දේ රඟපාන එක. මම මම විදිහට ඉන්න සහ වැඩිපුරම සතුටු වෙන තැන රංගනයයි. ඒ නිසා මොනම හේතුවකටවත් මම රඟපාන එක නතර කරන්නේ නැහැ.
නැවතත් සිනමාවෙන් ඔබව දකින්න ලැබෙයිද?
සිනමාවට සම්බන්ධ වෙන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මම එක නිර්මාණයකට දායක වුණා, ඒක තවම විකාශය වුණේ නැහැ. හොඳ අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම නැවතත් සිනමාව හරහා ප්‍රේක්ෂකයන් අතරට එනවා.