ගෙවින් අභිෂේක් කියන්නේ ප්‍රවීණ නළු චින්තක කුලතුංගගේ ලොකු පුතා. හැබැයි ඔහු ටෙලි තිරයට පිවිසෙන්නේ තාත්තා නළුවෙක් නිසා මමත් නළුවෙක් වෙන්න ඕනෙ කියන තරු දරුවෙකුගේ ක්‍රමයට නම් නෙවෙයි. යෞවනයෙක් වුණාට එන්නම් වාලේ රංගනයට ප්‍රවිෂ්ට නොවෙන ගෙවින් විශිෂ්ට ගණයේ ප්‍රවීණයන් යටතේ නාට්‍ය හා රංග කලාව හදාරනවා. ‘අ’ යන්නෙ ඉඳලම හරි ලකේට නළුකමට පිවිසෙන මේ කඩවසම් තරුණයා ප්‍රවීණ නිර්මාණකරුවන්ගේ ආරාධනාවන් සමග ප්‍රේක්ෂකයන්ගේ හදවතට වදින චරිතයන්ට මැදිවෙනවා. රංගනයට ආව අලුතම හොඳම නැගී එන නළු සම්මානයටත් නිර්දේශ වෙනවා. මේ දවස්වල ‘ආලේ’ ටෙලිය හරහා නොහික්මුණු චරිතයක් රඟන ගෙවින් ‘මව්රට’ හරහා හදවතින්ම කළ ආරාධනය වෙනුවෙන් සුහද පිළිසඳරකට එක්වුණේ මෙලෙසයි.
ඉතින් ගෙවින් කොහොමද මේ දවස්වල ජීවිතේ?
වරදක් නැහැ. ෂූටින් ඩබින් අතර කාලය ගෙවෙනවා. ඒ අතර ව්‍යාපාර කටයුතු සහ අධ්‍යාපන කටයුතු නිසා විදේශගත වන අවස්ථාද තියෙනවා.
මේ දවස්වල වැඩිපුරම බිසී වෙලා ඉන්නේ ‘ආලේ’ ටෙලිය නිසා?
ඔව්. ඒක දිගටම වගේ රූගතකිරීම් කෙරෙන නිසා ටිකක් විතර බිසී කිව්වොත් හරි.
කොහොමද ප්‍රතිචාර? ඔබ රඟපාන්නේ නැහැදුණු තරුණයකුගේ චරිතයක්?
ඔබ හිතන්නේ ආලේ ටෙලියේ සහේල්ගේ චරිතය නිසා ප්‍රේක්ෂකයෝ මට දොස් කියනවා කියලද?
ආරංචියක් තියෙනවා ඇතැම් අය එහි දොස් දකිනවා කියලා?
සම්පූර්ණයෙන්ම බොරු ආරංචියක්. සහේල්ගේ චරිතය ගැන මට ලැබෙන්නේ හොඳ ප්‍රතිචාර. ඒ කියන්නේ සහේල්ගේ නොහික්මුණු ගති පැවතුම් හෙළාදකින ප්‍රේක්ෂකයන් මම ඒ චරිතයට කරන සාධාරණත්වය ගැන සතුටු වෙනවා. මොකද කියනවා නම් සහේල් කියන්නේ ගෙවින් අභිෂේක් නෙවෙයි. මා රඟන තවත් එක් චරිතයක් පමණයි. සහේල් නිසා
මට කවුරුන් හෝ වෛර කරනවා කියන්නෙත් හොඳ ලකුණක්. ඒ ලකුණ තුළ මා දකින්නේ මම එයට අවැසි රංගන ප්‍රතිභාව තුළ හොඳින් ජීවත් වුණා කියන එකයි.
බොහෝ ජනප්‍රිය තරු සහේල් වැනි චරිත භාරගන්නේ නැහැ?
වෙන්න පුළුවන්. ඒක ඔවුන්ගේ මතයයි. හැබැයි ඒ මතය මම අනුමත කරන්නේ නැහැ. රංගන ශිල්පියෙක් කියන්නේ සුදු-කළු ස්වභාවය තුළ සුදනාගෙ චරිතය විතරක් අරගෙන නොහික්මුණු හෝ නපුරු චරිත රිජෙක්ට් කරන කෙනෙක් නෙවෙයි. කරන්න පුළුවන් නම් එහි යමක් තියෙනවා නම් මම ඒ චරිතය භාරගෙන එය මට හැකි උපරිමයෙන් කරනවා. රංගන ශිල්පියකු සතු මෙහෙවර එයයි. ‘පිත්තල කොන්ඩෑරුම’ ටෙලියේ ‘සුළං මහමෙරක’ සහ ‘පීතෘ’ යන ටෙලිනාට්‍යවල මා රඟපෑ චරිත විවිධාකාරයි. ඒ සියලු චරිත රංගනයන් ගැන ප්‍රේක්ෂකයන් සතුටට පත්ව සිටියා. එතැනදී මම හිතනවා මම එය හොඳටම කළා කියලා. මගේ ආත්මතෘප්තිය එයයි. නරක චරිත රිජෙක්ට් කරලා හොඳ චරිත විතරක් භාරගත්තා කියලා මට එහෙම තෘප්තිමත් වෙන්න බැහැ.
‘සුළඟ මහමෙරක’ ටෙලිනාට්‍යයේ චරිතය වෙනුවෙන් ඔබ සම්මානයක් සඳහා නිර්දේශ වුණා?
ඔව්. හොඳම නැගීඑන නළුවාගේ සම්මානය වෙනුවෙන් ‘සුළඟ මහමෙරක’ චරිතය නොමිනේට් වීම එදා මට විශාල ගෞරවයක් ලෙස දැනුණා.
‘පීතෘ’ ටෙලිනාට්‍යයේ ශානකගේ චරිතය වෙනුවෙන් ඔබට ඒ සම්මානය ලැබුණා?
‘පීතෘ’ ටෙලිනාට්‍යය කියන්නේ මගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයයි. රංගනයට පිවිසුණු අලුතම වාගේ තරුණ නළුවකුට ආනන්ද අබේනායක සර් වගේ අග්‍රගණ්‍ය ප්‍රවීණ ශිල්පියකුගෙන් ආරාධනාවක් එනවා කියන්නේ ලොකු භාග්‍යයක්. අනෙක නාමල් ජයසිංහ තිරපිටපත ලියාපු, ආනන්ද අබේනායක සර් අධ්‍යක්ෂණය කරන ටෙලිනාට්‍යයක රඟපාන්න මටත් චාන්ස් එකක් එනවා නම් මොන තරම් දෙයක්ද කියන හීනයක මමත් ඒ කාලේ හිටියා. ඉතින් එහෙම හීනෙක ඉන්න කෙනකුට ඒ හීනේ හැබෑ වුණා කියන්නේ ලොකුම වාසනාවක්නේ. ‘පීතෘ’ එකේ ශානකගේ චරිතයට මාව තෝරාගත්තා කියන කෝල් එක එනකොට වුණත් මට අදහාගන්න බැරි වුණා. ‘පීතෘ’ ටෙලිනාට්‍යයේ රඟපෑ කාලය තුළ මට දැනුණේ මම විශ්වවිද්‍යාලයකට හෝ ඇකඩමියකට රංගනය ගැන හදාරන්න ආවා වගෙයි. ප්‍රවීණයන් පිරිවරාගෙන ඔවුන්ගේ සහාය සහ මඟපෙන්වීම මත මම ශානකගේ චරිතය තුළ අගේට ජීවත් වුණා.
ඒ පන්නරය තුළ ඔබ කළ මෙහෙවර අවසානයේ සම්මානනීය වුණා?
2022 සුමති ටෙලි සම්මාන උළෙලේ හොඳම නැගීඑන නළුවාට හිමි ඒ සම්මානය දෝත දරාගෙන ගෙදරට ගොඩවුණේ පුදුම සතුටකින් සහ ලොකු ආඩම්බරයකින්. අම්මයි තාත්තයි පවුලේ අනෙක් මගේ බාල සහෝදර සහෝදරියන් හමුවේ ඒ සම්මානය රාක්කෙන් තියනකොට හිතට ලොකු ගැම්මක් දැනුණා.
එදා ඒ අකීකරු කොණ්ඩය වැව්වේ ශානකගේ චරිතය වෙනුවෙන්මද ගෙවින්?
නැහැ. ආරාධනාව එනකොටත් කොණ්ඩය වවලයි තිබුණේ. හැබැයි චරිතය ලැබුණේ කොණ්ඩය සහ රැවුල වවලා හිටපු ඒ පෙනුමටයි.
හැමෝම හොයන්න ගත්තා මේ කඩවසම් කොලු ගැටයා කවුද කියලා?
එහෙම විමසිලිමත් බවක ප්‍රේක්ෂකයන් සිටින බව දැනගන්න ලැබුණා. ලොකු සතුටක් තෘප්තියක් දැනුණා මාව එහෙම හොයන එක ගැන.
ඒ තරම් කඩවසම් බවක් දුන්න කොණ්ඩෙයි රැවුලයි කපා දැම්ම හේතුව?
ප්‍රවීණ නිර්මාණ ශිල්පී රනිල් කුලසිංහගේ ටෙලිනාට්‍යයක් වෙනුවෙන් කොණ්ඩෙයි රැවුලයි කපන්න සිද්ධ වුණා.
හිතට අමාරුවක් දැනුණේ නැද්ද ලස්සනට තිබුණු අකීකරු කොණ්ඩය විනාඩි ගණනකදි කපලා දානකොට?
රංගනය සහ යම් චරිතයක් වෙනුවෙන් ඒ වගේ කැපකිරීම් කරන්න වෙන එක සාමාන්‍යයි. මට කියලා එහි වෙනසක් නැහැ. අනෙක අහලා දැකලා තිබුණා බොහෝ ප්‍රවීණයන් විවිධ අවස්ථාවල තමන්ට ලැබෙන චරිත වෙනුවෙන් කළ කැපකිරීම් ගැන. ඉතින් කොණ්ඩෙයි රැවුලයි කපපු එක ඒ වගේ සිදුවීම් අතර බොහොම සාමාන්‍යයි.
රංගනයට ආවේ ඔබ චින්තක කුලතුංග කියන ප්‍රවීණ කලාකරුවාගේ පුතා වූ නිසාද?
එහෙමම කියන්න බැහැ. මොකද තාත්තා මට නිතරම කියන සහ මතක් කරන කාරණයක් තිබුණා. ඒ තමයි මමම මගේ මාර්ගය, මගේ අනන්‍යතාව මත ගොඩනගාගත යුතුයි කියන එක. මමත් එය හිතට ගත්තා. මගේ මගක යන්න පුරුදු වුණා. හැබැයි මගේ තාත්තාගේ මගපෙන්වීම හරි අගේට එතැනදි ලැබුණා.
සිනමාවට ප්‍රවිශ්ට වීමේ වාසනාවත් ඔබ කෙලෙසක හෝ උදාකර ගත්තා?
ටෙලි සිනමාවට එන බොහොමයක් දෙනා සිනමාවට ප්‍රවිෂ්ට වීමේ සිහිනය තුළ ඉන්නවා. ඔබ කිව්වා වගේම එය හැබෑ කරගැනීමේ වරම මට අහම්බයෙන්ම ලැබුණා. දැනටමත් මම චිත්‍රපට තුනක රඟපාලා තියෙනවා. ‘ගෞතම බුද්ධ’ තිරගත වුණා. ‘හාඩ් ඔෆ් කලම්බෝ’ නමැති විදේශීය චිත්‍රපටයේ චරිතයක් රඟපෑමේ භාග්‍යය මට ලැබුණා. එය තවමත් තිරගත වුණේ නැහැ. තව ‘අන්තරාවී රේඛාව’ චිත්‍රපටයද ඉදිරියේදි තිරගත වීමට නියමිතයි.
ළඟකදි ඔබ චිත්‍රපටයකට අලුතින් දායකව සිටින බව ආරංචි වුණා?
ඔව්. ලංකාවේ ජනප්‍රියම නළුවකු සමගයි මම ඒ සඳහා ගිවිසුම් අස්සන් කළේ. එහි විස්තර දැනට රහසක්ව තබාගන්න කැමැතියි.
අලුතින්ම රඟපෑ ‘නොකවුට්’ ටෙලිය ගැනත් කියමුද?
ඒ ගැන කතා කරන්නම ඕනෙ. එය බොක්සිං ක්‍රීඩකයකු වටා ගෙතුණු හරි අපූරු කතාවක්. සති අන්තයේ මාර්තු මැද සිට එය ජාතික රූපවාහිනියෙන් විකාශය වෙනවා. ප්‍රවීණ කලා ශිල්පී රසික සුරවීරගේ විශේෂ ආරාධනාවකට අනුව ඒ චරිතය මට හිමිවෙන්නේ.
සමහර ටෙලි චරිත ඔබ අතින් රිජෙක්ට් වෙනවලු?
ඒ ගැන මම මෙහෙම කියන්නම්. මම නිතරම වගේ ව්‍යාපාර සහ අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වෙනවා. ඒ හින්දම භාරගත්ත චරිත මග දාලා යන පුරුද්දට මම අකැමැති නිසා සමහර ටෙලිනාට්‍ය මගෙ අතින් රිජෙක්ට් වෙනවා. අනෙක චරිත ගොඩක් බදාගෙන ටෙලි සිනමාවේ ජනප්‍රියම නළුවා වීමේ හීනය තුළ ඉන්න මම උත්සාහ කරන්නේ නැහැ. මේ වනවිට මම රඟපාන්න අරන් අවුරුදු 14ක් වෙනවා. හැබැයි කරලා තියෙන්නේ ටෙලි 10ක් 11ක් විතරයි. හැබැයි මට ඒ ගැන දුකක් නැහැ. මම භාරගන්නේ හිතට හරියන යමක් කරන්න පුළුවන් අතළොස්සක් පමණයි.
අවසානෙට කියන්න යමක් ඔබට ළෙන්ගතු ප්‍රේක්ෂකයෝ වෙනුවෙන්?
හැමදාමත් සතුටින් ඉන්න. ආදරයට ආදරය කරන්න. ‘නොකවුට්’ ටෙලිය සහ තව නිර්මාණ හරහා එන වෙනස්ම ගෙවින් කෙනෙක්ව දකින්න බලාපොරොත්තුවෙන් ඉන්න.