ආදරවන්තයන්ගේ දින ‘පානා ඔය රූ ඡායා’ නමින් අලුත්ම වැඩකින් ඔබ හමුවට ආ ගංගු ප්‍රශානා රංගනය, ගායනය මෙන්ම නර්තනයට ද දක්ෂ රංගන ශිල්පිනියකි. සිය කලා දිවියේ තොරතුරු ඇය අප හා මෙසේ බෙදාගත්තාය.
ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ඔබ අලුත්ම වැඩක් කළා. ඒ ගැන කතා කරනවා නම්?
ඔව්. ඒක හිතාගන්නවත් බැරිතරම් වෙනස් ආකාරයේ නිර්මාණයක් කිව්වත් හරි. මගේ උපන්දිනය යෙදෙන්නේ හරියටම ආදරවන්තයින්ගේ දිනයේ. ඒ නිසාම මගේ අලුත්ම මියුසික් වීඩියෝව ‘ පානා ඔය රූ ඡායා ‘ එදාටම එළිදැක්වීමට කටයුතු කළා. රංගනයෙන්, ගායනයෙන් වගේම නර්තනයෙනුත් මගේ දායකත්වය ලබාදුන්නා.
‘පානා ඔය රූ ඡායා’ නිර්මාණ දායකත්වය ගැන කීවොත් ?
වීඩියෝව කළේ සොඳුරු කුමාරගේ. මියුසික් කළේ Epicmotion Production එකෙන්. බොහෝ පිරිසකගේ සහයෝගය ලැබුණු නිසා මේ වැඩේ ලස්සනට කරන්න පුළුවන් වුණා.
මෙය රසවිඳින්න ආසාවෙන් ඉන්න අයට මොකක්ද කියන්න තියෙන්නේ?
මගේ උපන්දිනය දවසේ රිලීස් වුණු මගේ අලුත්ම නිර්මාණය රසවිඳලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.
පසුගියදා එළිදැක්වුණු ‘ සඳ තනිවෙලා ‘ ගැනත් මතක් කරමු?
මේ අවුරුද්දේ මුලින්ම රිලීස් කළේ ‘සඳ තනිවෙලා’ මාෂප් එක. ‘ සඳ තනිවෙලා’ එක්ක තව සින්දු දෙකක මික්ස් එකක් යන්නේ. ඔක්කොම සින්දු තුනයි. පරණ සින්දුවලට ආස කරන අය වෙනුවෙන්මයි ඒ නිර්මාණය කළේ. මගේ යූටියුබ් චැනල් එකට, facebook එකට ගියොත් ඔයාලට ඒක බලන්න පුළුවන්. ‘ සඳ තනිවෙලා ‘ මාෂප් එක මම ඉතාම කැමැත්තෙන් හා සතුටින් කළ නිර්මාණයක්. ඒ නිර්මාණයට මමත් ගොඩක් ආදරෙයි. මොකද මම පරණ ගීතවලට ගොඩක් ආස කරන කෙනෙක් . නිර්මාණයට දායක වුණු හැමෝටම ස්තුති කරනවා .
මියුසික් වීඩියෝවලට නැඹුරු වුණේ කොහොමද ?
මුලින්ම මම කළේ මියුසික් වීඩියෝවල රඟපාන එක. පසුව මගේම නිර්මාණවලට දායකත්වය දුන්නා . ඒක මගේ රසිකයන් අතර රැඳීසිටින්න ලොකු අවස්ථාවක් කියලා මම සිතනවා.
කලා ක්ෂේත්‍රයට ආවේ කොහොමද ?
පාසල් කාලයේ ඉඳන්ම මම කලාවට සම්බන්ධ වුණා. මුලින්ම සම්බන්ධ වුණේ ඩාන්සර් කෙනෙක් විදිහට. 2013 දී තෙසඳ බුදවත්ත ආයතනයේ පාහිම්පත් තිබ්බා. 2014 රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේදී දක්ෂතම ළමා නිළිය සම්මානය ලැබුණා. එතැන තමයි මගේ ඇක්ටින් ෆීල්ඩ් එකේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. ඊටත් පස්සේ තමයි මම ප්‍රසිද්ධ වේදිකාවට එන්නේ. වේදිකා නාට්‍යවලින් තමයි මම මුලින්ම ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ ටෙලිනාට්‍ය රංගනයට එකතු වුණා. ඒ මගේ පළමුවැනි ටෙලිනාට්‍යය ‘කතන්දර ගෙදර’.
මේ වෙද්දි ඔබ ටෙලිනාට්‍ය රංගනයේ යම් දුරකට ඇවිත් නේද ?
ඔව්, ‘ අසංවර වැස්සක්, ඇයි අපි සුදු ද , බඹරෙක් ඇවිත් ‘ වගේ තෝරා ගත් නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායක වුණා.
‘බඹරෙක් ඇවිත්’ හි සමන්මලී ගොඩක් ජනප්‍රිය වුණා . ?
චරිත් අබේසිංහගේ ‘බඹරෙක් ඇවිත්’ ටෙලිනාට්‍යයේ සමන්මලී කියන්නේ මගේ රංගනයේ ලොකු වෙනසක් කළ චරිතයක්. මම ආසම විදිහේ ගැමි චරිතයක්. ප්‍රේක්ෂකයන් අතර ‘සමන්මලී’ ගොඩක් කතාබහට ලක්වුණා.
‘ඒක තමයි මේක ‘ කියන්නෙ මොකක්ද?
ඒ මං රංගනයෙන් දායක වුණු මේ අවුරුද්දේ තිරගත වීමට නියමිත සුරංග ද අල්විස්ගේ අලුත්ම සිනමාපටය.
රංගනයේදී සීමාවන් දාගෙනද ඉන්නේ ?
තරමක් දුරට. නමුත් නිර්මාණය අනුව එය වෙනස් වෙන්න පුළුවන් .
මෝස්තර නිරූපණයත් ආගන්තුක නැහැ නේද ?
ඔව්. නිරූපණ අවස්ථා කිහිපයකටම දායකත්වය ලබා දී තිබෙනවා. ඒවටත් හොඳ ප්‍රතිචාර ලැබුණා.
ගායන හැකියාව ගැනත් කතා කරමු?
පුංචි කාලෙ ඉඳන්ම තරගවලට ගිහින් ගායන අංශයෙන් ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ජන ගායනා, යූත් එකේ තරගවල ජයග්‍රහණ ලබා තිබෙනවා. මගේම නිර්මාණවලින් ප්‍රසංග වේදිකාවට ගොඩවුණා. මගේම ගීත නිර්මාණ දෙකක් දැනට කළා. තුන්වැනි නිර්මාණය තමයි ‘ පානා ඔය රූ ඡායා’ කියන්නේ. කවර්ස් තුනක් කළා
ප්‍රේමාරාධනාත් ලැබෙනවා ඇති ?
ප්‍රේමාරාධනා නම් අනන්තයි .
කලාවට අමතරව වෙනත් රැකියාවක් කරනවද ?
ඔව්, මගේම සැලොන් එකක් කරගෙන යනවා.
පවුලේ අය ගැන කීවොත් ?
මට ඉන්නේ අම්මයි, අප්පච්චියි, අක්කයි, මල්ලියි. මං හිතනවටත් වඩා පුදුමාකාර සහයෝගයක් ඔවුන්ගෙන් මගේ මේ ගමනට ලැබෙනවා. එයාලත් කලාවට ගොඩක් ළැදි අය. මම හිතනවා අප්පච්චිගේ හැකියාවන්ගේ ආභාසය තමයි මටත් තියෙන්නේ කියලා . අදටත් ආසම ගායකයා මගේ අප්පච්චි.
ඉදිරි නිර්මාණ මොනවාද ?
‘පානා ඔය රූ ඡායා’ වලින් පස්සේ තවත් විශාල වැඩ කොටසක් කරන්න සැලසුම් කරමින් ඉන්නවා . ඒවත් ඔයාලට හෙමිහිට රසවිඳින්න පුළුවන් වේවි .
අනාගත බලාපොරොත්තු එහෙමත් ඇති ?
කලා ක්ෂේත්‍රයට රංගනයෙන් හා ගායනයෙන් වැඩි දායකත්වයක් ලබා දෙන්න තමයි බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් මම මගේ උපරිමය ලබාදෙනවා.