දක්ෂයෝ එකතු වුණොත් තාත්තයි පුතයි වුණත් හිට් කරන්න පුළුවන් -චන්දික නානායක්කාර

gossiplanka image 2
 


ප්‍රේක්ෂක ආදරේ ආකර්ෂණය වඩාත් ඉහළින් ලබන්නට වාසනාවන්ත වූ අයෙක් ගැන කතා කරන්නයි මේ සූදානම. එකිනෙකට වෙනස් වූ චරිත තුළින් ප්‍රේක්ෂකයින් අතරට එන චන්දික නානායක්කාර කියන්නේ පුංචි තිරය තුළ වෙනස්ම චරිතයන්ට දායක වුණු අයෙක්. චන්දික මේ කාලයේ නම් වඩාත් කතාබහට ලක්වෙන්නේ රොන් සොයා හි නාලක සර්, එහෙමත් නැත්නම් ආදේශ්ගේ තාත්තා ලෙසින්, අද වෙද්දී නම් එකිනෙකට වෙනස් වූ චරිත දෙකකින් ප්‍රේක්ෂකයින් අතරට එන චන්දික නානායක්කාරගේ වතගොත හොයන්නයි මේ සූදානම.


නාලක සර්, එහෙමත් නැත්නම් ආදේශ්ගේ තාත්තා හරි ජනප්‍රියයි නේද?


මම තාත්තා කෙනෙක් විදියට මින් පෙර හොඳට බැණුම් අහපු මනුස්සයෙක්. ඔබට මතක නම් ස්වාධින රූපවාහිනීයේ විකාශය වූ අමා නාට්‍යය. එහිත් මගේ භූමිකාව වුණේ තාත්තා කෙනෙකුගේ චරිතයක්. නමුත් එතැනදී මගේ මූණට ඇති තරම් බැන්නා. ඒ නාට්‍යය තුළ විවිධ ස්වරූප ගත්තු තාත්තලා හතර පස් දෙනෙක්ම හිටියා. එහෙම බැන්නට අවසානයේ දී ඒ ටෙලි නාට්‍යය අවසන් වුණේ හැමෝගෙම නෙතට කඳුළක් එක් කරමින්. එහි අවසානයේ සටහන් වුණේ, මේ සියලු පියවරු උත්සාහ කළේ සිය කුටුම්බය ආරක්ෂා කර ගැනීමට බවයි. ඒ හැම තාත්තම උත්සාහ කළේ තමාගේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. අද වෙද්දී රොන් සොයා නාට්‍යයේ තාත්තට ආවම මට කියන්න තියෙන්නේ මේ හැම තාත්තම එකයි.


මෑතකදී මම සහභාගි වූ ආර්ට් සෙන්ටර් වැඩසටහනේදීත් ගිහාන් එක්ක මම කිව්වා අපේ තාත්තා ගැනත්. තාත්තා හරියට කෑවද ඇන්දද කියන එකවත් මම හරියට දන්නේ නැහැ.


රොන් සොයා නාට්‍යය පටන් ගන්න කාලේ ප්‍රධාන වූ චරිත ගැන නෙවෙයි දැන් සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වෙන්නේ. මෙහි එන තාත්තා සහ පුතාගේ සංවාද. ඒ නිසාම චන්දිකට ලැබෙන ප්‍රතිචාර ගැන විවිධ වෙන්න ඇති.


මේ වෙලාවේ මගේ නාට්‍ය කිහිපයක් විකාශය වෙනවා. නමුත් වැඩි දෙනා කතා කරන්නේ ආදේශ්ගේ තාත්තා ගැන. එහෙම නැත්නම් මේ හොඳ තාත්තා ගැන. මම පහුගිය කාලේ ගොඩක් පැති වලට ගියා.


ජගත් බෙනරගම අධ්‍යක්ෂණය කරන, “ඔබ සහ මම” හි ත් ඔබ තවත් තාත්තා කෙනෙකුගේ චරිතයක් කරන්නේ.


ඔව්. ලකී මුදලාලි කියන්නෙත් තාත්තා කෙනෙක්. ඒ තාත්තා හැබැයි රොන් සොයා හි නාලක සර්ට වඩා වෙනස්. තමුන්ගේ ජිවිතේ දිනන්න උත්සාහ කරපු මැණික් ව්‍යාපාරිකයෙක්.


එකම කාලය තුළ එකිනෙකට වෙනස් චරිත කරන එකත් ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි, මෙගා නාට්‍යය නිසා රූපගත කිරිම් අතරතුරනේ විකාශය වෙන්නෙත්, මේක අභියෝගයක් නෙවෙයි ද?


ඒක මගේ රැකියාව නිසා මම ඒ දේ කරන්න ඕනේ. දැන් අවුරුදු විසි ගාණක් විතර ඉඳලා ඉබේම පුරුදු පුහුණු වෙලා තියෙනවා. ඔයා අහන ප්‍රශ්නේ තියෙන බැරෑරුම්ම තැන තමයි, අද එකක රඟපාලා හෙට තව එකක රඟපාන එක. මම අමා නාට්‍යය කරන කාලෙත් අද හාමුරුවන්ගේ චරිතේ කරලා හෙට අමා එකේ සැර තාත්තා කරන්න වුණා. එතැනදී නම් අපිට සහයෝගය දෙන්න අපේ කණ්ඩායම ඉන්නවා. අධ්‍යක්ෂවරයාගේ සිට සමහර වෙලාවට ශබ්ද පරිපාලනය කරන කෙනා පවා උදවු කරනවා.


චන්දික කියන්නේ චරිත තෝරා බේරාගෙන රඟපාපු කෙනෙක් ද?


මම කවදාවත් ලොකුවට එහෙම තෝරා බේරාගෙන රඟපාපු කෙනෙක් නෙවෙයි. මම හැමවිටම බැලුවේ මට ලැබෙන චරිතය මට කරන්න පුළුවන් ද කියන එක විතරයි. මට මේ කාලේ උසස් පෙළ ශිෂ්‍යයෙක්ගේ චරිතයක් දුන්නොත් මම කරන්නේ නැහැ. එහෙම හැරුණු කොට මම චරිත තෝරා බේරා ගැනීමක් කළේ නැහැ. හැබැයි මම මගේ කාලය තුළ මට කළ හැකි නාට්‍ය ප්‍රමාණය පමණයි භාර ගත්තේ. අදටත් මම ඒකාංගික නාට්‍යයවල සිට අවසානයක් නොපෙ­‍ෙනන කොටස් 500කට එහා යන නාට්‍යවල වුණත් රඟපානවා.


ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන මොකද හිතෙන්නේ..


චන්දික නානායක්කාර කිව්වම සමහර වෙලාවට එකපාරටම ප්‍රේක්ෂකයින්ට මතක් වෙන්නෙත් නැතුව ඇති. නමුත් මම කළ චරිත තුළින් ප්‍රේක්ෂකයන්ට මතකයි. අමා එකේ සැර බ්‍රිගේඩියර්, ඉතින් ඊට පස්සේ එකේ සුනන්ද දොස්තර මහත්තයා. දැන් රොන් සොයා හි ආදේශ්ගේ තාත්තා. ඒ වගේ මගේ මොකක් හරි වාසනාවකට මම කරපු චරිත මිනිසුන්ගේ මතකයේ රැඳෙන චරිත බවට පත් වුණා. ඒ නිසා සමහර කාලවලදී මගේ නාට්‍යය විකාශය නොවුණත් මට ප්‍රේක්ෂක ආදරේ ලැබුණා. මම විශ්වාස කරන දෙයක් තමයි ජනප්‍රියත්වය කියන දේ තියෙන්නේ රූප තිරයේ ඇතුළේ නෙවෙයි එළියේ කියලා. මම පාරට ගියාම ලැබෙන ප්‍රතිචාරය තමයි මම හැමවෙලේම විශ්වාස කළේ. අපි හදා ගන්න කෙටි කාලීන ජනප්‍රියත්වයට වඩා, දවසින් දවස එක්කෙනා බැගින් ඇතිවන බැඳීම ඒ ආදරණීයකම කවදාවත් නැති වෙන්නේ නැහැ.


ඉදිරියේ එන්න තියෙන නිර්මාණ මොනවද?


ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතාගේ ගගන චිත්‍රපටය, කුමාර තිරිමාදුරගේ ඕල්ඩ් මෑන් චිත්‍රපටය, සමීර හසුන්ගේ සුදු පුතා චිත්‍රපටය සහ සමීරගේම තව ලස්සන ටෙලි නාට්‍ය වැඩක් එන්න තියෙනවා ආදරයට බ්‍රේක් නැහැ කියලා. ඊට අමතරව කරපු ටෙලි නිර්මාණ කිහිපයක්ම තියෙනවා.


අධ්‍යක්ෂණයට එන්න අදහසක් නැද්ද?


අධ්‍යක්ෂණය කියන එක ගැන නම් දැනට බලාපොරොත්තුවක් නැහැ. මේ වෙලාවේ ක්‍රියාකාරී වෙලා ඉන්න අධ්‍යක්ෂවරුන්ගෙන් 90%ක් එක්කම වගේ මම වැඩ කරලා තියෙනවා. මට ඒ අධ්‍යක්ෂවරුන්ට තියෙන විනය, හික්මීම තාම නැහැ කියලා හිතෙන්නේ.

gossiplanka image 1
Previous Post Next Post