මම භාවනා කරනවා – කුසුම් රේණු

gossiplanka image 1
 

‘දරුවෙක් වෙනුවෙන් අම්මෙකුට මොනවද කරන්න බැරි’ කියලයි අපි කතාවට කියන්නේ. ඇත්තටම දරුවෝ වෙනුවෙන් අම්මලා මොනතරම් දේවල් කරනවාද?. තමන්ගේ දරුවා මොන වැරැද්ද කළත් ‘අනේ මගේ පුතානේ’ කියලා අම්මලාගේ හිත උණුවෙනවානේ. අපේ සමාජයේ මේ වගේ අම්මලාගේ කතා නම් ඔයාල කොයිතරම් අහලා දැකලා ඇතිද?. අද අපි ඔයාලට කියන්න යන මේ අම්මාගේ කතාවත් ඒ වගේම කතාවක්. හැබැයි මේ අම්මා නම් හොයන්නේ තමන්ගේ දරුවා වෙනුවෙන් සාධාරණත්වයක්. තමන්ගේ ‘ෂේන් පුතා’ කරලා තියෙන වැරැද්ද නොසොයා ඔහුගේ මරණයට සාධාරණයක් ඉල්ලන ‘විශාඛා මැඩම්ගේ’ කතාව තමයි මේ දිගහැරෙන්නේ. ඔයාලට විශාඛා මැඩම්ගේ කතාව දැනගන්න ඕනෑ නම් ළඟම තියෙන සිනමාහලකට ගොඩවෙන්නම වෙනවා. මොකද එයාව හම්බවෙන්න පුළුවන් වෙන්නේ මේ දවස්වල සිනමාහල්වල. ආදායම් වාර්තා අලුත් කරන ධර්ම යුද්ධය 2 චිත්‍රපටයෙන් විතරයි. මෙතැනින් එහාට දිගහැරෙන විශාඛා මැඩම්ගේ කතාව ඔයාලට කියන්න අපිට කුසුම් රේණුව අමතන්න සිද්ධවුණා. මොකද ඇය තමයි විශාඛා මැඩම්ට එහෙමත් නැතිනම් අපි මුලින්ම කතාවුණු තම දරුවා වෙනුවෙන් උපරිම සාධාරණයක් බලාපොරොත්තුවෙන ෂේන් සමරනායකගේ අම්මා.


මේ ඇගේ කතාවයි.


ධර්ම යුද්ධයේ විශාඛා මැඩම්ට මොන විදිහේ ප්‍රතිචාරද මේ වෙනකොට ලැබෙන්නේ?


ඔව් ඉතිං.. ප්‍රතිචාර සම්බන්ධයෙන් ගත්තොත් නම් අන්තිම නරකයි. විශාඛාට මිනිස්සු කැමැති නෑනේ. විශාඛා කියන්නේ හරිම දුෂ්ට, අහිංසක පවුලකට හිරිහැර කරන කෙනෙක් හැටියට තමයි ප්‍රේක්ෂකයන් දකින්නේ. එතකොට විශාඛාගේ පැත්තෙන් කුසුම් රේණු තවත් අම්මා කෙනෙක්. මොන වැරැද්ද කළත් තමන්ගේ දරුවා හරි කියන තැනනේ ගොඩක් වෙලාවට අම්මලා ඉන්නේ. ඉතිං ඇත්තටම හොඳ ආදර්ශයක් තියෙනවා. ජීවත් වෙනවා කියන්නේ අපේ අම්මා කෙනකුට තියෙන යුතුකම් හා වගකීම් කියන එක මඟහැරුණු මොහොතකදී සිද්ධවෙන දේවල්නේ ඔය කතාබහ කරන්නේ. තාත්තාගේ වචනයට ඇහුම්කන් දෙන්නේ නැතිව තාත්තා මොනවා කිව්වත් ළමයා කියන දේ හරිමයි කියන තැන විශ්වාසයේ ඉඳලා සිද්ධවෙන අපරාධයක්. එතකොට මම හිතනවා මේ නිර්මාණය දෙමාපියන්ට ඇස්ඇරෙන්න හොඳ තැනක් කියලා. අම්මා කියන තැනට ආවහම කවුරුත් එහෙමයි.



ඒ කියන්නේ මේ දවස්වල හරියට බැණුම් අහනවා?


ඔව්. බැණුම් තමයි. බැණුම් එක්කලා රංගනය පිළිබඳව හිතලා කතාබහ කරන අයත් ඉන්නවා. දැන් ඕක ජීවිතේම කොටසක් කරගෙන බලන අයත් ඉන්නවා. ප්‍රේක්ෂකයන් දෙකොට්ඨාසයක් ඉන්නවානේ. එතකොට මාව දන්න, මගේ රංගනය ගැන දන්න අයගෙන් රංගනය පිළිබඳව හරි ඉහළ ප්‍රතිචාර තියෙනවා. ඒ ගැන සතුටුයි. අනෙක් අය කියනවා ‘අනේ කොහොමද ඔයා ඔච්චර නපුරු වුණේ. අපි දන්නවා ඔයා එහෙම නපුරු චරිතයක් නෙමෙයි කියලා’. ඉතිං එහෙම ප්‍රතිචාරත් තියෙනවා. හැබැයි ගොඩක් අය කියන්නේ ‘මෙහෙම නපුරු අම්මාකෙනෙක් කියලා මුහුණුපොතේ පවා දාලා තියෙනවා මම දැක්කා. ළමයා හරියට හදාගත්තා නම් ඔහොම අඬන්න වෙන්නේ නැහැ’ කියලත් කියනවා. ඇත්තටම ප්‍රේක්ෂකයා නිර්මාණ එක්ක කොච්චර බැඳිලා ඉන්නවා ද කියලා ඒකෙන් තේරෙනවා. ඉතිං හරි සතුටුයි.


ධර්ම යුද්ධය 2 සිනමා නිර්මාණයේ රංගනය පිළිබඳව තියෙනනේ මොනවගේ අත්දැකීම්ද?


ඇත්තම කියනවා නම් ජැක්සන් නැති හින්දා හරිස්චන්ද්‍රගේ චරිතය කරන්නේ කවුද කියන කාරණාවනේ එන පළමුවැනිම ප්‍රශ්නය. ඊට පස්සේ ඒක කරන්නේ බිමල් කිව්වාට පස්සේ හිතට පොඩි අස්වැසිල්ලක් එනවා. මොකද බිමල් පිළිබඳව විශ්වාසයක් අපි තුළ තියෙන නිසා. ඕක තමයි ඇත්ත තත්ත්වය.


හරිස්චන්ද්‍ර තමයි මෙහි කතානායකයා. ජැක්සන් ඇත්නනී රංගධරයා සහ බිමල් ජයකොඩි කියන දෙදෙනා වටා හරිස්චන්ද්‍රව දෝලනය වීම ඔබ කොහොමද දකින්නේ?


මම කොයිම වෙලාවකවත් පුද්ගල චරිතත් එක්ක මගේ චරිතයට ප්‍රවිෂ්ට වුණේ නැහැ. එක පැත්තකින් ජැක්සන් කියන්නේ අපේ හොඳම මිතුරානේ. එතකොට දර්ශනය තලයේදී සැමියා වුණත් ශ්‍රියන්ත අයියා එක්ක රඟපානකොට වුණත් රංගනයට පුද්ගල චරිත බලපාන්නේ නැහැ. හැබැයි දෙන්නෙක් කියන එක නෙමෙයි ආවේ. මොකද හරිස්චන්ද්‍ර කියන පුද්ගලයාගේ තියෙනවානේ අනන්‍යතාවයක්. දරුවන්ට ආදරය කරන, දරුවෝ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන්, පුංචි මෝඩකමකුත් තියෙන, හැබැයි කපටිකමකුත් තියෙන චරිතයක්. ඒ මෝඩකම ඇතුළෙම තමයිනේ එයා ගේම ගහන්නේ. ඒවාත් එක්කලා සංසන්දය කරලා රංගනයට ගියා මිසක් ඇත්තටම මම, මේ ජැක්සන්.. මේ බිමල්.. කියන සිතුවිල්ලෙන් රංගනයට ගියේ නැහැ. කොයිම වෙලාවකවත් මට එහෙම හැඟීමක් ආවේ නැහැ. මොකද එහෙම වුණානම් මගේ චරිතයේ තියෙන ස්වභාවයත් එක්කලා අපිට මේ රංගනය කරගන්න බැරිව යනවා. දැන් මම පෞද්ගලිකව ගත්තොත් මටත් තියෙනවා ඔතන පැති දෙකක ප්‍රශ්නයක්.



ඒ මොකක්ද?


තමන්ගේ දරුවා තමයි. කෙනකුට හානියක් වෙලා තියෙනවත් තමයි. හැබැයි ඒ දරුවා පිළිබඳව අම්මා හරියට නොදන්නාකම මිසක්වත් ඇත්තටම හිතුවොත් ඒ වගේ තලයක ඉන්න අම්මා කෙනෙක් ලැජ්ජාවට පත්වෙන්න ඕනෑ අරවගේ හැසිරුණු දරුවෙක් හැදීම සම්බන්ධයෙන්. අම්මා ඒ ගැන දන්නේ නැහැනේ. එයා විශ්වාස කරනවා එයාගේ දරුවා හරි කියලා. ඕනෑම අම්මා කෙනෙක් එහෙමයි. එතැනදී මට හිතෙනවා ඒ අම්මාත් හරි අසරණයි කියලා. තමන්ගේ දරුවා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරගන්නනේ බලන්නේ.


අනෙක් කාරණාව, දෙයක් කරගන්න ලොකු හැකියාවක් තිබිලත් මට සාධාරණයක් දරුවා වෙනුවෙන් කරගන්න බැරිවුණා කියන වේදනාව සහ ලැජ්ජාව වගේ එකකුත් තියෙනවානේ. ඉතිං මේ සැරේ මගේ චරිතයේදී ගියසැරේට වැඩිය නපුරුකම පාලනය කරන්න ඕනේ නැති තත්ත්වයක් තිබුණා. මොකද එයාට රැකගන්න තනතුරක් නැහැ. එයා මොකක් හරි මොනවා හරි කරලා තමන්ගේ දරුවා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරගන්න තමයි උත්සාහ කළේ. ඒ ඇතුළේ ඉඳලා තමයි මම මගේ රංගනය ඉදිරිපත් කරන්නේ. ඒක බිමල් ද ජැක්සන් ද කියන එක මට අදාළ වුණේ නැහැ.



කුසුම් රේණුගේ මේ දිනවල රංගන කාර්යයන් සිදුවන්නේ කොහොමද?


ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම චිත්‍රපටය වන සමහරු සහ සමාගම කියන චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා සූදානම් වීමට එහි පිටපත පරිශීලනය කරමින් ඉන්නේ. ජයන්තගේ වැඩක් හින්දා ඒක කරන්න බොහොම සතුටින් ඉන්නේ. ඊළඟට වේදිකා නාට්‍ය ටික වේදිකාගත වෙමින් පවතිනවා. මගේ පෞද්ගලික ජීවිතය ගත්තොත් මම ඉතිං දරුවන්ට බැඳිලා ඉන්න අම්මා කෙනෙක්නේ. ඉතිං ගොඩක් වෙලාවට දරුවෝ වෙනුවෙන්, ගෙදර වෙනුවෙන් තමයි කාලය වැයකරන්නේ.


දැන් වැඩිපුර නිර්මාණ භාරගන්නේ නැතිද? නැතිනම් තෝරාබේරා ගැනීමක් සිදුකරනවාද?


වැඩිපුරම කරන්නෙත් නැහැ. මට දැන් ඕනෑ නිදහසේ ඉන්න. ඇත්තම කතාව කියනවා නම් ආධ්‍යාත්මික පැත්තට කාලය ටිකක් වැඩිපුර යොමුකරන්න ඕනෑ නිසා, මගේ භාවනා වැඩසටහන්වලට කාලය ඕනෑ හින්දා මම ටිකක් හිතලා මතලා තමයි වැඩකටයුතු භාර අරගෙන කරන්නේ.


දැන් වැඩිපුර ආධ්‍යාත්මික පැත්තට යොමුවෙලා කියන කතාව ඇත්තක්ද?


ඇත්තටම ඔව්. මම දැන් වැඩිපුර භාවනා කරනවා. ඒක මගේ පොඩි කාලේ ඉඳලා තිබුණ හීනයක්. ඉතිං දැන් මම හිතනවා යුතුකම්, වගකීම් මගේ ජීවිතයේ සෑහෙන දුරට ඉෂ්ට කරලා ඉන්න කෙනෙක් කියලා. දැන් මම මගේ පැත්ත ගැනත් හිතන්න ඕනෑ කියලා හිතනවා.


රඟපෑවා ඇති කියලා වගේ එකක් හිතෙනවාද?


සමහර වෙලාවට එහෙමත් හිතෙනවා. (සිනාසෙමින්).


පසුගිය දවස්වල ඔබේ සැමියා ශ්‍රියන්ත මෙන්ඩිස් වෙනුවෙන් හරි අපූරු උත්සවයක් සංවිධානය කළා. බිරිඳගේ යුතුකම් කොටස ඉෂ්ට කරන්නද ඒ වගේ දෙයක් කළේ?


අන්න හරි. ඔයා ඒක හරියටම තේරුම් ගත්තා. මට මගේ ජීවිතයේ යුතුකම් සහ වගකීම් කියලා කොටසක් තියෙනවා කියලා හිතිලා තියෙනවා. එතකොට සමහර වෙලාවට ඇත්තටම අවංකවම කතාකළොත් සමහර තැන්වලදී මම දැඩි නීති පනවලා තියෙන්න පුළුවන්. මම පාලනයක් කරන්න උත්සාහ කරලා තියෙන්න පුළුවන්. හැබැයි සම්පූර්ණයෙන් මගේ පාලනයට නතුවෙන කෙනෙක් නෙමෙයි ශ්‍රියන්ත. නමුත් යම්තාක් දුරට මා තුළින් ඕක එපා, අරක එපා කියලා හරි ගමනක් ගෙනිහිල්ලා තිබුණා නම් මමයි ඒ ගෙනිච්චේ. ඔන්න උත්සවය සංවිධානය කරලා එයාට ඒක ගෞරවනීය විදිහට පනස් වසර සමරන්න අවස්ථාව දෙන්න. ඉතිං මම හිතනවා ඒක මගේ යුතුකම කියලා. මම අනෙක් ඒවා කළා වගේම එයා වෙනුවෙන් ඒ දේත් කරලාදෙන එක මගේ යුතුකම කියලා මම විශ්වාස කළා. ඉතිං මම හරියට ඒක කළා.


මහත්තයා වෙනුවෙන් ඒ යුතුකමක් ඉෂ්ට කළාට පස්සේ බිරිඳ විදිහට මොනවගේ හැඟීමක්ද ආවේ?


ඇත්තටම මම ජීවිතේ ගොඩක් වෙලාවට අරමුණක් ඇතිව ගමන් කරන කෙනෙක්. ඔහේ ආවට ගියාට ජීවිතේ ගමන් කරන කෙනෙක් නෙමෙයි. මම යමක් කරන්නේ අර්ථයක් ඇතිවයි. ඉතිං එතකොට මගේ පෙර ඉඳලාම සූදානම තිබුණා මෙයා වෙනුවෙන් යමක් කරනවාමයි කියලා. ඒක මම ශ්‍රියන්තටවත් හිතාගන්න බැරිතරමට පුදුමසහගත වන විදිහට කළා. මොකද එයා ගේ ඇතුළේ හිටියාට ගොඩාක් දේවල් දන්නේ නැහැ. උළෙල මෙන්න මේ වෙලාවේ ඉඳලා මේ වෙලාවට, අහවල් තැන කියලා දැනගෙන හිටියා. හැබැයි එයා දැනගෙන හිටියේ නැහැ මොනවාද වෙන්නේ කියලා. එයා මාත් එක්ක සමහර වෙලාවට රණ්ඩුවෙලා තියෙනවා ‘මේ මට කියන්නේ නැතිද?, එකපාරටම මම කොහොමද සූදානම් වෙන්නේ කියලා’. හැබැයි මම කිව්වා ‘නෑ, එකපාරටම නෙමෙයි, සූදානම් වෙන්න වෙලා තියලා කියනවා’ කියලා. බයවෙන්න එපා ඉන්න කියලත් කිව්වා. මොකද මගේ සහ සංවිධායක මණ්ඩලයේ අදහස වුණේ ‘අපි මොකුත්ම නොකර හිටියොත් කිසිදු ප්‍රශ්නයක් ජීවිතයේ නැහැ, එයා ආපු විදිහටම එයාගේ රංගන කලාව කරගෙන යයි’. හැබැයි යමක් කරන්න ගිහිල්ලා ඒක එයාට හානිකර විදිහට කළොත් ඒක එයාගේ අනාගත ජීවිතයට බලපානවා. ඒ නිසා අපි කරන දේ ඉතා පරිස්සමෙන් කරන්න ඕනෑ කියන තැන හිටියා. ඉතිං මම විශ්වාස කරනවා ආපු ප්‍රතිචාරත් එක්ක මම ඒ වැඩේ හරියට කළා කියලා.


ආදරණීය බිරිඳක්, ආදරණීය කලාකාරිනියක්, ආදරණීය මවක් විදිහට ජීවිතය ගැන පසුවිපරමක් සිදුකළොත් මොකද හිතෙන්නේ ?


ඇත්තටම මම හිතනවා මගේ පැත්තෙන් හිතනකොට අපි මිනිස්සු හැටියට, කාන්තාවක් හැටියට තියෙනවානේ යම්කිසි යුතුකම් වගකීම් කොටසක් මේ රට වෙනුවෙන් සිද්ධකරන්න. ඉතිං මම හිතනවා මට සාපේක්ෂව මගේ තරමට, මට පුළුවන් විදිහට මම ඒ හැමදේම කළා කියලා. අනික තමයි මම මිත්තණියක්. මට හොඳ මිනිපිරියක් ඉන්නවා. එහෙම බැලුවහම මගේ ජීවිතයේ ඒ කඩඉම් ඇතුළේ කාලයට අවශ්‍ය වෙලාවට මගේ යුතුකම් වගකීම් ඉෂ්ට කරලා තියෙනවා කියන සතුටක් මා තුළ තියෙනවා. මොකද මම හරියට ප්ලෑන් කරලා සැලැස්මකට අනුව තමයි හැමතිස්සේම වැඩකරලා තියෙන්නේ. අපි කිසිම දෙයක් ණය ගනුදෙනුවකින් කරලා නැහැ. ණය ගනුදෙනුවකින් යමක් කළා නම් ඒ මම දැනට ජීවත්වෙලා සිටින නිවස හැදීම විතරයි. බැංකු ණයක් අරගෙන අපි ජීවත්වෙලා ඉන්න නිවස හදන්න සිද්ධවුණා. ඊට අමතරව අපි ජීවිතේ ණයක් වෙලා කිසිම දෙයක් කරලා නැහැ. ඒ ඔක්කෝම කරලා තියෙන්නේ අපි සැලසුම් කරලා, එකතු වෙලා කාලය කළමනාකරණය කරගෙන තමයි. මම හිතනවා මේ වෙනකොට මම කාටවත් බරක් නැති, කාටවත් ණයක් නැති, ජීවිතයේ බොහෝම පැහැදිලි අරමුණෙන් හා සැහැල්ලුවෙන් ගෙවන කෙනෙක්. පුළුවන් හැමවෙලාවෙම කාටහරි උදව් කරනවා. කාගේ හරි හිතක් හදනවා. කාටහරි ආදරය දෙනවා. එහෙම සතුටින් ජීවත්වෙන වෙන කෙනෙක්.


රංගන ජීවිතයේදී මේතාක් ලැබුණු ආරාධනා ගැන මොනවගේ අදහසක්, හැඟීමක්ද තියෙන්නේ?


මම හරි ආසයි මෙහෙණින් වහන්සේ කෙනෙක් විදිහට රඟපාන්න. හැබැයි මට කවදාවත් ලැබිලා නැත්තෙත් ඒ චරිතය තමයි. ඉතුරු අනෙක් ලැබුණු චරිත හැම එකක් ගැනම මට සතුටක් තියෙනවා. මම ඒවාට සාධාරණය ඉෂ්ට කරලා තියෙනවා. ඊළඟ කතාන්දරය තමයි, මගේ ජීවිතයට ලැබුණු වටිනාම චරිතය විහාරමහා දේවිගේ චරිතය. මම අදටත් මතක් කරමින් සතුටුවෙන අවස්ථාවක් ඒක.


ජීවිතයේ විවිධ කලාවලදී විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකාගාරයට ගොඩවෙනවා. ඔබේ ප්‍රේක්ෂකාගාරය ගැන මොනවගේ අදහසක් ද ඔබට තියෙන්නේ?


ඉතිං මම මුලින්ම ප්‍රේක්ෂකායා හමුවට එන්නේ නෝනාවරුනි මහත්වරුනි කියන නිර්මාණයේ මධුරි කියන ප්‍රහසන චරිතය එක්ක. ඉතිං මට හිතෙනවා එදා පටන් අද වෙනකම් මට කිසිම විදිහකින් ඒ ප්‍රේක්ෂක ආදරය අඩුවෙලා නැතිවෙලා නැහැ. ඒක බොහොම ලස්සනට ගලාගෙන යනවා. මම කරන හැම චරිතයක්ම ප්‍රේක්ෂකාගාරය ආදරයෙන් වැලඳගන්නවා. මම විශ්වාස කරනවා ඒ චරිතවලට මම සාධාරණයක් ඉෂ්ට කරලා ඇති කියලා. ඕක දැනෙන්නේ වේදිකාවත් එක්ක ගමනක් යනකොටයි. වේදිකා රංගනයේදී තමයි අපිට මුණගැසෙන ප්‍රේක්ෂකයන්ගේන් බොහෝම උණුසුම් ප්‍රතිචාර හම්බවෙන්නේ. ඒ වෙලාවට ඒ වේදිකා නාට්‍යවල, චිත්‍රපටවල, ටෙලිනාට්‍යවල චරිත අල්ලලා කතාබහ කරනවා. ඒක හරි සතුටක්.


Previous Post Next Post