ඇය ගැන වැඩි කතා ඕනෑ නැහැ. හඳුන්වාදීම් අවශ්‍ය වෙන්නෙත් නැහැ. නමුත් මේ ලාංකීය සිනමාවේ අනාගත බලාපොරොත්තුවක්. ඇය ප්‍රේක්‍ෂකයන් ඉදිරියේ පෙනී සිටින අලුත්ම සිනමා නිර්මාණය, ‘ද වයිෆ්’ මේ දිනවල රටපුරා සිනමාහල්වල තිරගත වෙනව. උදාරි වර්ණකුලසූරිය සමග මේ කතාබහ ඒ වෙනුවෙන්.
උදාරි, වයිෆ් ගැන රසිකයො මොකද කියන්නෙ?
ඇත්තටම වයිෆ්ට රසිකයන්ගෙන් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනව. මීට කලින් මමයි හේමාලුයි ප්‍රධාන චරිත කළේ දේවි කුසුමාසන චිත්‍රපටයේ. ඊටත් කලින් ක්‍ෂීර සාගරය කැළඹිණ සහ ආදරණීය කතාවක් යන අපි දෙන්නගෙ සංකලනයෙන් හැදුන චිත්‍රපට ඔක්කොම ගත්තාම මට හිතෙනව ද වයිෆ් සිනමාපටයට රසිකයන් වැඩිපුර ආදරය කරනවද කියල.
‘නිර්මලා’ ගැන ඔබේ අදහස මොන වගේද?
මුලින්ම ශමීර නාඔටුන්න මහත්මයාට ස්තූතිවන්ත වෙනව මාව නිර්මලාගේ චරිතය සඳහා තෝරා ගැනීම ගැන. මොකද මට වර්තමාන සමාජයේ චරිතයක් කරන්න ලැබුණෙ ගොඩක් කාලෙකින්. දේවි චරිත, ළමාතැනී චරිත එන පැරණි කාලයේ කතන්දර හරි ෆැන්ටසි කතන්දර හරි තමයි මට වැඩිපුර ලැබුණෙ. ඉතිං ඒ අතර ලැබුණ මේ චරිතයත් එක්ක මම හිතනව නිර්මලා හරහා නූතන සමාජයේ ඉන්න සෑම කාන්තාවක්ම නියෝජනය වෙනව කියල. ඒ වගේම පිටපත කියවාගෙන යද්දිත් මට හිතුනෙ අපි හැමෝගෙම ජීවිතවල හැඟීම්වල කොටසක් මේ චිත්‍රපටය තුළ තියෙනව කියල.
නිර්මලා තුළින් උදාරිවත් දකින්න පුළුවන්?
ඔව්, නිර්මලා තුළ යම් ආකාරයකින් උදාරිත් ඉන්නව.
රූගතකිරීමකදි අකරතැබ්බයකුත් වුණා?
ඔව්, මෙහි එක කොටසක් තියෙනව ෆෝන් එකේ පාස්වර්ඩ් දාපු එක ගැන හේමාලුයි මමයි රණ්ඩුවෙන. එතැනදි මගේ නියපොත්තක් ගැලවිල යනව. ඒ වගේම නිර්මලාගේ චරිතය හැසිරවීමේදී සමහර තැන් තිබුණා මට නුහුරු දේවල්. එකක් තමයි මගේ පෞද්ගලික ජීවිතේ යම් අවස්ථාවල යම් යම් කතාබහ ඇතිවෙද්දි උඹ, බං, තමුසෙ වගේ වචන, කුණුහරුප වගේ දේවල් මම කියන්නෙ නැහැ. නමුත් මෙහිදී පිටපතේ හැටියට එන ආවේගයත් එක්ක මට කියන්න සිද්ධ වුණා. ඒ නිසා ශමීර මහත්මයාගේ උදව්වත් එක්ක ඒක මම කළා. ඉතිං මම හිතනව නිර්මලාගේ චරිතය වෙනුවෙන් ඔහු බලාපොරොත්තු වුණ සාධාරණය ඉටු වුණා කියල.
තිරයේ පෙම්වතා සහ පෙම්වතිය ලෙස හේමාල් සහ ඔබ හතර වතාවක් එකට වැඩකරනව?
ඔව්, ඇත්තටම අපි දෙන්නගෙ සම්බන්ධතාව නිසා අපිට අපිව දැන් හොඳට හුරුයි. අලුත් කෙනෙක් එක්ක අලුතින් හුරුවෙලා චරිතයකට අවතීර්ණ වෙනවට වඩා හුරුපුරුදු කෙනෙක් එක්ක චරිත නිරූපණය පහසුයි. ද වයිෆ් නිර්මාණයේ මාධවගේ හෝ නිර්මලාගෙ යම් තාත්විකත්වයක්, සාර්ථකත්වයක් දකිනව නම්, ඒ අපි දෙදෙනාගේ අන්‍යොන්‍ය අවබෝධය සහ දෙදෙනාට දෙදෙනා උදව් කිරීම නිසයි.
අධ්‍යක්‍ෂවරයාගේ ප්‍රතිචාරය මොන වගේද?
අධ්‍යක්‍ෂවරයා ඉතාමත් සතුටු වුණා. මං හිතන්නෙ ඔහු බලාපොරොත්තු වුණ ආකාරයටම අපි දෙදෙනාගේ චරිත ගොඩනැගුණා.
තිරගත වෙන්න තියෙන නිර්මාණ මොනවද?
ජැක්සන් ඇන්තනී මහත්මයාගෙ එකගෙයි සොකරි සහ එතුමාගේම දේවි සම්බුලා සහ සම්බුලා යන නිර්මාණ තිරගත වෙන්න තියෙනව. ඒ වගේම විශේෂ අවස්ථාවක් තියෙනව මම දමිළ සිනමාවට සම්බන්ධවෙන. එහි රූගතකිරීම් ආරම්භ කිරීමට නියමිතව තියෙනව.
මේ විශේෂ අවස්ථාව ගැන කියමු?
මෙහි අධ්‍යක්‍ෂවරයා වෙන්නෙ ලී මුරලි මහත්මයා. ද වයිෆ් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය නරඹපු ඔහු චිත්‍රපට සංස්ථාවෙන් මගේ නම්බර් එක හොයාගෙන ඔහුගෙ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න කියල මට ආරාධනා කරනව. නිර්මාණය ලාංකික වුණාට ප්‍රඩක්ෂන් එක සිදුවෙන්නෙ ඉන්දියාවෙන්. රටවල් පහක රූගතකිරීම් සිදුකිරීමට නියමිතව තියෙනව. ඇක්ට්‍රස් බේසිස් ෆිල්ම් එකක් වන මෙහි සීරියල් කිලර් කෙනෙක් වටා ගෙතෙන්නෙ. ඒ චරිතය කරන්නෙ මම.
නිර්මලා උදාරිගෙ ජීවිතේ ලොකු වෙනසක් ඇතිකරල?
මම මේ තරම් කේන්තියෙන් ඉන්නව ප්‍රේක්‍ෂකයන්වත් දැකල තිබුණෙ නැහැ. ඉතින් මම හිතනව මේ කේන්තිය නිසාම මට වෙනස් නිර්මාණයකට ආරාධනා ලැබුණ කියල. මිනීමරුවකුගෙ රෝල් එකක් මම කවදාවත් කරල නැහැ. නමුත් රංගන ශිල්පිනියක් හැටියට චරිතාංග නිළියක් වෙන්න මටත් මේක හොඳ අවස්ථාවක්. අපේ රටෙන් මේකට සම්බන්ධ වෙලා ඉන්නෙ මම විතරයි.
මේක අභියෝගයක්?
ම්ම්ම්ම්… මෙතනදි මට තියෙන ලොකුම අභියෝගය වෙන්නෙ භාෂාව. අධ්‍යක්‍ෂවරයාට විතරයි සිංහල පුළුවන්. මට දමිළ බැහැ. ඉතිං මාසයක විතර කාලයක් තියෙනව මට පුහුණු වෙන්න. මගේ තාත්තට දමිළ භාෂාව හොඳින් පුළුවන්. අවශ්‍ය වුණොත් තාත්තවත් මේ ගමනට එකතුකර ගන්නව.
වෙනත් රඟපෑම් වැඩකටයුතු මොනවද?
මේ දවස්වල ධනංජය සිරිවර්ධනගෙ ‘තාප්පෙන් පැන්නා’ කියන එපිසෝඩ් හතළිහක කෙටි ටෙලි නාට්‍යයක රූගතකිරීම් කටයුතු සිදු කරනව.
දැන් ටෙලි නාට්‍යයවලට වැඩිය සම්බන්ධ වෙන්නෙ නැද්ද?
මගේ දුව ඉන්නෙ විදේශ රටක නිසා සහ චිත්‍රපටවලට සම්බන්ධ වෙන නිසා මෙගා ටෙලිවලට නම් සම්බන්ධ වෙන්න පුළුවන්කමක් නැහැ.
දුව කියන්නෙ නැද්ද අම්මා ළඟ ඉන්න කියල?
කවදාවත් එයා මට ඒ බලපෑම කරල නැහැ. ඒ ගැන මම හරි සැනසීමෙන් ඉන්නෙ. ඇය මට කිව්වනම් අම්මා මං ළඟ නෑනෙ කියල, මට මං ගැනම වරදකාරී හැඟීමක් දැනෙයි. සැමියාත් ඒ වගේමයි. ඔවුන් දෙදෙනාගේම සහයෝගය නිසයි උදාරි වර්ණකුලසූරිය කියන කෙනාව ප්‍රේක්‍ෂකයන්ට දකින්න ලැබෙන්නෙ.
උදාරි රංගන ශිල්පිනියක් නොවුණා නම්?
මම පොඩි කාලෙ ආසා වුණේ නර්ස් කෙනෙක් වෙන්න. උසස් පෙළට විද්‍යා විෂයයන් කළෙත් දොස්තර කෙනෙක් වෙන්න නෙමෙයි. ඒ වගේම පුංචි කාලෙ ඉඳන්ම මම මියුසික් කළා. කනට ඇහෙන ඕනෑම සින්දුවක් පියානෝ එකෙන් ප්ලේ කරන්න පුළුවන්. ඒ නිසා මම බොහෝ දුරට මේ වෘත්තීන් දෙකෙන් එකක් කරයි. රංගන ශිල්පිනියක් වුණේ තාත්තගෙ තනි තීරණයකට.