හේමාල් අයියා එක්ක සිනමාවේ පළමු අත්දැකීම ලබා ගන්න හැකිවීම වාසනාවක් -තීවක මාලිංග

gossiplanka image 1
 

මේ දිනවල විකාශය වන තරු ආදරේ ටෙලි නිර්මාණයේ තීවකගේ භූමිකාවට පණ පොවන ඔහු නමින් තීවක මාලිංගය. ආදරණීය මිනිසෙක්හි නිම්න ලෙස ඔබ හමුවට එන්නේද ඔහුය. පුංචි තිරයට පමණක් සීමා නොවී මේ වනවිට රිදී තිරයේ ද දස්කම්පාන ඔහු අද අප හා කතාබහට එක්වීය.


තීවක මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක් වෙන්නෙත් තීවක නිසා. කොහොමද ඒ අත්දැකීම?


මේ දවස්වල විකාශය වන ‘තරු ආදරේ’ ටෙලි නිර්මාණයේ සඳගෝමිගේ හොඳම යාළුවො දෙන්නගෙන් එක්කෙනෙකු වන තීවකගේ චරිතයට පණ පොවනවා. චරිතයේ නමත් මගේ නමම වීම අහම්බයක්. සඳගෝමි ගොඩක්ම කැමති මියුසික් ෆීල්ඩ් එකෙන් ඉදිරියට යන්න. එතනදි ඔහුට එන බාධක සතුරු කරදර මැඬපවත්වා ගන්න උදවු කරන්නෙ තීවක. අනෙක් යාළුවා හතුරොත් එක්ක එකතු වෙලා සඳගෝමිට මඩ ගහද්දි තීවක ඒවා නවත්තන්න උත්සාහ කරනවා. සඳගෝමිගේ ආදර සබඳතාවලට උදවු කරන්නෙත් තීවක. ඒ විදිහට තමයි තීවකගේ චරිතය ගලාගෙන යන්නේ.


තීවකට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ප්‍රතිචාර ඇත්තටම හොඳයි. යාළුවන්ගෙන්, නෑදෑයන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සුපර් මාකට් එකකට ගියත් සමහරු ළඟට ඇවිත් අහනවා ඔයා නේද තීවක කියලා. ඔයාගේ රඟපෑම් නියමයි කියනවා.


එතකොට ඔබ මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නේ තරු ආදරෙත් එක්කද?


ඔව් ඊට අමතරව ජයප්‍රකාශ් සිවගුරුනාදන් සර්ගේ ‘ආදරණීය මිනිසෙක්’ ටෙලි නිර්මාණයේ වැඩ කටයුතුත් කරගෙන යනවා. ජාතික රූපවාහිනියේ සති අන්තයේ විකාශය වන හරිම ලස්සන කතාවක්.


ආදරණීය මිනිසෙක්හි නිම්න ගැන කතා කරනවා නම්?


නිම්නට ගොඩක් දෙනා හරි කැමතියි. ඒ දර්ශනවලට, කැමරා ෂොට්වලටත් ප්‍රතිචාර ලැබෙනවා. සමස්ත නිර්මාණයටම බොහෝ දෙනෙක් කැමතියි.


ඔබේ පියාත් දක්ෂ වේශ නිරූපණ ශිල්පියෙක්. ඔබ ක්ෂේත්‍රයට එන්නෙත් ඔහුගේ ආභාසයෙන්ද?


මට ක්ෂේත්‍රයට එන්න පාර කපල දුන්නේ මගේ තාත්තා. තාත්තා නැත්නම් ඇත්තටම මං අද මෙතන නැහැ. ඔහු ප්‍රවීණ අංග රචනා ශිල්පී මනෝජ් ලක්සිරි. ක්ෂේත්‍රයේ ජනප්‍රිය මන්නා කියලා. මගේ මහප්පා රූපවාහිනියේ හිටපු අංග රචනා ශිල්පී අංශයේ ප්‍රධානී රංජිත් තිලකසිරි.


ඔබ ක්ෂේත්‍රයට පිවිසි අතීතයත් සිහිපත් කරමු?


2017 වසරේ හිරු නාළිකාවේ විකාශය වුණු පත්තිනි ටෙලි නිර්මාණයට තමයි මුලින්ම දායක වෙන්නේ. පත්තිනි දේවියගේ සහෝදරයාගේ යාළුවෙක් විදිහට. සිටුවරයෙක් විදිහට ලබපු ඒ අත්දැකීම තමයි මගේ පළමුවැනි රංගන අත්දැකීම. ඊට පස්සේ රූපවාහිනියේ මංසල ටෙලි නිර්මාණයේ නපුරු පාලිගේ තරුණ කාලයට පණ පෙවුවා. ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වුණු ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ රාග ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්නේ ඊට අවුරුදු හයකට පස්සේ. ඒ සිවා සර් එක්ක වැඩ කරපු දෙවැනි අවස්ථාව. මෘදුකාංග ඉංජිනේරුවරයකුගේ චරිතයක්. සිවා සර් එක්ක නිර්මාණයකට දායක වෙනවා කියන්නේ වෙනමම අත්දැකීමක්. ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.


පහුගිය දවස්වල ඔබ සිනමාවටත් සම්බන්ධ වුණා නේද?


ඔව්. ජයන්ත චන්ද්‍රසිරි සර්ගේ දේවි කුසුමාසන සිනමාපටයේ පෘතුගීසි සොල්දාදුවෙක් විදිහට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ලොකුවට ගලාගෙන යන චරිතයක් නොවුණත් නවකයෙක් විදිහට මට ලබා ගන්න හැකිවුණු අත්දැකීම් ගැන කියල නිම කරන්න බෑ. ඔහු වගේ ලෙජන්ඩ් කෙනෙක් යටතේ පොඩි චරිතයකින් හරි අත්දැකීමක් ලබාගන්න හැකි වීම මගේ වාසනාවක්. ඔහු කියන දේ අහගෙන ඉන්නවා, කියන දේ කරනවා කියන්නෙත් අපි වගේ නවකයන්ට ලොකු දෙයක්. ඒ වගේම සිනමාවේ පළමු අත්දැකීම විදිහට හේමාල් රණසිංහ අයියා එක්ක රඟපාන්න ලැබීමත් මගේ වාසනාවක්. ඔහුගෙන් ලැබුණු සහයෝගයත් උපරිමයි. අනෙක් ජ්‍යෙෂ්ඨයන්ගෙනුත් ඒ වගේම සහයෝගයක් ලැබුණා. ඒ ලැබුණු අවස්ථාව මගේ රංගන ජීවිතේට ලොකු පන්නරයක්.


ඉදිරියේදීත් තීවක දිගටම සිනමාවේ දකින්න ලැබේවිද?


බුද්ධික ජයරත්නගේ සැප්තැම්බර් සිනමාපටයට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒකත් මට විශේෂ අත්දැකීමක් වුණා. බුද්ධික ජයරත්න, නදීශා හේමමාලි, අශාන් ඩයස් වගේ ප්‍රවීණයන් රැසක් රංගනයෙන් දායක වෙනවා. ඒකෙ බුද්ධික ජයරත්න එක්ක සටන් ජවනිකාවකට මුහුණ දෙන්න සිදුවීම අමතක නොවන අත්දැකීමක්. මේ වෙද්දි එය රූගත කරලා ඉවරයි. ඉක්මනින්ම තිරගත වේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් අලුත් ටෙලි නිර්මාණයකටත් ආරාධනා ලැබිලා තියෙනවා.


තීවක වෙළෙඳ දැන්වීම් කලාවේත් ජනප්‍රිය චරිතයක් නේද?


කලාව පැත්තෙන් ගත්තොත් මගේ මේන් රෝල් එක විදිහට කරන්නේ රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටීම. ප්‍රධාන චරිතයෙන් විතරයි මං සම්බන්ධ වෙන්නේ. ඊට අමතරව මියුසික් වීඩියෝවලටත් රංගනයෙන් දායක වෙනවා. මගේ යාළුවෝ පිරිසක් කරන යූටියුබ් නාළිකාවකින් සෝෂල් මීඩියා හරහාත් මං ප්‍රේක්ෂකයන් අතරට එනවා.


ඔබේ තාත්තා වගේම මහප්පාත් වේශ නිරූපණයේ දක්ෂයන්. තීවක ඇයි ඒ පැත්තෙන් ඉදිරියට නොගියේ?


මං කවදාවත් ඒ පැත්තට යන්න උත්සාහ කළේ නැහැ. මං රැකියා කිහිපයක්ම කළා. එකවුන්ටන්ට් කෙනෙක් විදිහට, මාකටියර් කෙනෙක් විදිහට වගේම මේ වෙද්දි සෝෂල් මීඩියා කන්ටෙන්ට් ක්‍රියේටින් කම්පැනි එකක විධායක තනතුරක් දරනවා. රංගන කටයුතුවලට රැකියා ස්ථානයෙන් ලොකු සහායක් ලැබෙනවා.


පෞද්ගලික තොරතුරු ටිකකුත් දැනගන්න කැමතියි?


මං පදිංචි වෙලා ඉන්නේ මුල්ලේරියාවේ. මගේ ගෙදර ඉන්නේ අම්මයි, තාත්තයි, නංගියි මායි විතරයි. රැකියාවේ කටයුතු කරන ගමන් රංගන කටයුතුවලටත් සම්බන්ධ වෙනවා.


තීවකට ආදරය ගැනත් අත්දැකීම් ඇති?


ආදරය කියන්නෙ ලොකු වගකීමක්. ඒ වගේම විවාහය කියන්නේ ඕනම කෙනෙකුගේ ජීවිතේ දෙවැනි උපත කිව්වත් හරි. ඒ නිසා ඒ තීරණේ ගනිද්දි ගොඩක් හිතන්න ඕන. ආදරණීය අත්දැකීම් ලබලා තියෙනවා. නමුත් දැන් ආදරවන්තයෙක් නෙවෙයි. පොළොවේ පය ගහලා ඉන්න පුළුවන්, ඕනෙම තැනකට ඔරොත්තු දෙන, මාව තේරුම් ගත්ත ගැහැනු ළමයෙකුට මං කැමැතියි.


Previous Post Next Post